1. සමථ භාවනා හා විදර්ශනා භාවනා.

චිත්තපාදාදි යට පරිච්ඡෙද අටින් නාමරූපාදීන් පිළිබඳ විශේෂ විස්තර දක්වන ලද්දේ ය. ධ්‍යාන අභිඥා ලබා සමෘද්ධිමත් වනු කැමැත්තවුන් විසින් ද මාර්ග ඵල ලබා සමාධිමත් වනු කැමැත්තවුන් විසින් ද මාර්ග ඵල ලබා නිවන් අවබෝධ කරනු කැමැත්තවුන් විසින් ද ඒ නාමරූපාදීන් අතුරෙන් කිසිවක් අරමුණු කොට ගෙනැ භාවනා කළ යුතු ය. භාවනා නම් වැඩීඹය-නැවත නැවත සිහිකිරීම ය. ඒ භාවනා පිළිබඳ විශේෂ විභාග කර්මස්ථාන පාදය යන නමින් මෙහි දක්වනු ලැබේ.

භාවනා වනාහි සමථ භාවනා විදර්ශනා භාවනා ය යි ද්විවිධ වේ. සමථ භාවනා නම් කාමච්ඡන්‍දාදි කෙලෙස් හෝ විතර්කාදි ඖදාරික ධර්ම හෝ සන්සිඳුවන භාවනා ය. සමථ යන්නෙන් එකාග්‍රතා සංඛ්‍යාත සමාධිය කියවෙන බව දත යුතු. ඒ සමථ භාවනායෙන් ධ්‍යාන අභිඥා ලද හැකි ය. විදර්ශනා භාවනා නම් විශේෂයෙන් බලන භාවනා ය. විශේෂයෙන් බැලීම නම් සාමාන්‍ය ලෝකයා සේ පඤ්ච ස්කන්ධාදිය ස්ත්‍රී පුරුෂාදි වශයෙන් හෝ නිත්‍ය, සුඛ, ආත්ම වශයෙන් හෝ නො බලා ස්කන්ධාදි වශයෙන් ද, අනිත්‍ය, දුඃඛ, අනාත්ම වශයෙන් ද බැලීම ය. විදර්ශනා යන්නෙන් ප්‍රඥාව කියවෙන බව දත යුතු. ඒ විදර්ශනා භාවනායෙන් නිවන් ලද හැකි ය.

සමථ හෝ විදර්ශනා භාවනා කරන්නේ යෝගී හෙවත් යෝගාවචර ය යි කියනු ලැබේ. භාවනාවට බස්නා යෝගි ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධිකයකු විය යුතුය. පිරිසිදු සිල්වතකු විය යුතුය. ආවාසාදි දස විධ පළිබෝධයෙන් දුරු විය යුතු ය. කර්මස්ථාන දෙන කල්‍යාණ මිත්‍රයකු වෙත එළඹිය යුතු ය. භාවනාවට නුසුදුසු විහාර හැරැ පියා සුදුසු විහාරයෙක විසිය යුතු ය. කුඩා පළිබෝධ සිඳැ ලිය යුතු ය. නියමිත භාවනා විධි නොපිරිහෙළා භාවනා කළ යුතු ය.

මෙහි ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධිකයෙක් නො වැ අහේතුක ද්විහේතුක ප්‍රතිසන්‍ධි විණි නම් කෙතෙක් උත්සාහ කළ ද භාවනා සඵල නො වේ. සිල් නැත්තහුට හෝ දූෂිත සිල් ඇත්තහුට සිත එකඟ කැරැ ගත නො හැකි ය. ආවාසාදි දසවිධ පළිබොධ නම් ආවාස, කුල, ලාභ, ගණ, කර්ම, ගමන, ඥාති, ආබාධ, ග්‍රන්‍ථ, සෘද්ධි යන මේ ය. කල්‍යාණ මිත්‍රයා නම් ප්‍රිය, ගරු, සම්භාවනීය වරද දුටු විට කියන, වචනක්‍ෂම, ගැඹුරු කථා ඇති, අස්ථානයෙහි නො යොදන ආචාර්ය ය. කර්මස්ථාන වනාහි සමථ කර්මස්ථාන විදර්ශනා කර්මස්ථාන ය යි ද්විවිධ වේ. සමථ භාවනාවට ගත යුතු කර්මස්ථාන සමථ කර්මස්ථාන ය. විදර්ශනා භාවනාවට ගත යුතු කර්මස්ථාන විදර්ශනා කර්මස්ථාන ය. කර්මස්ථාන නම් යෝගී කර්මයට සුදුසු තැන් ය-අරමුණු ය. චරිත වනාහි රාග චරිත, ද්වේෂ චරිත, මෝහචරිත, ශ්‍රද්ධාචරිත, බුද්ධිචරිත, විතර්කචරිතය යි ෂඩ්විධ වේ. ද්වේෂාදිය ද ඇතත් රාගය අධික වූයේ-උත්සන්න වූයේ රාගචරිත ය. ද්වේෂචරිතාදිය ද මෙසේ ය. භාවනාවට නුසුදුසු විහාර නම් මහා ආවාස, නව ආවාස, ජරා ආවාස, මහා මාර්ගාසන්න ආවාස. ගල් පොකුණු ඇති ආවාස, පලාපත් ඇති ආවාස, මල් ඇති ආවාස, ගෙඩි ජාති ඇති ආවාස, මහාජනයා ගැවසෙන ආවාස, නගරාසන්න ආවාස, දැව දඬු ඇති ආවාස, ක්‍ෂෙත්‍රාසන්න ආවාස, විසභාග පුද්ගලයන් ඇති ආවාස, පටුන් අසල ආවාස, පටිසර ආවාස, රාජ්‍ය සීමා අසල ආවාස, විසභාග රූපාදිය හෝ අමනුෂ්‍යයන් හෝ ඇති ආවාස, කල්‍යාණ මිත්‍රයන් නැති ආවාස යන අටළොස් විහාර ය. භාවනාවට සුදුසු විහාර නම් ඉතා නුදුරු, නොළං, ගමනාගමනයට පහසු මහාජනයා නොගැවසෙන ශබ්ද කලබල නැති, මැසි මදුරු ආදී උවදුරු නැති, සිව්පස පහසු, සුදුසු කල්‍යාණ මිත්‍රයන් ඇති ස්ථාන යි. කුඩා පළිබෝධ නම්, දික් නිය, කෙස්, කිලිටි සිවුරු, අපිිසිදු සෙනසුන් ආදිය යි. නියමිත භාවනා විධි නම් කසිණ භාවනාදිය වඩන්නේ නම්, එයට සුදුසු පිළිවෙලින් මේ සම්බන්ධ විස්තර සිංහල විසුද්ධිමාර්ගයෙන් උගත යුතු යි.

යට දැක්වූ ද්විවිධ භාවනා අතුරෙන් විදර්ශනා භාවනා මතු දක්වනු ලැබේ. සමථ භාවනා මෙසේ ය. එහි ලා කර්මස්ථාන සතළිසෙකි. චරිත සයෙකි. භාවනා තුනෙකි. නිමිත්ත ද තුනෙකි.

සතළිස් කර්මස්ථාන සත් ආකාරයකින් බෙදේ.

කසිණ

10

අසුභ

10

අනුස්සති

10

අප්පමඤ්ඤා

4

ආහාර පටික්කූල සඤ්ඤා

1

චතුධාතු වවත්‍ථාන

1

ආරුප්ප

4

සමථ කර්මස්ථාන

40

චරිත සය

රාග චරිත, ද්වේෂචරිත, මෝහචරිත, ශ්‍රද්ධාචරිත, බුද්ධි චරිත, විතර්කචරිත මෙය යට ද දැක්විණි.

භාවනා තුන.

පරිකර්ම භාවනා, උපාචාර භාවනා, අර්පණා භාවනා

නිමිත්ත තුන.

පරිකර්ම නිමිත්ත, උද්ග්‍රහ නිමිත්ත, ප්‍රතිභාන නිමිත්ත, විස්තර පිළිවෙලින් දක්වනු ලැබේ.

ප්‍රශ්න.

  1. භාවනා යනු කිම? ඒ කී වැදෑරුම් ද? කවරේ ද?
  2. ද්විවිධ භාවනායෙන් ලැබිය හැකි ඵල කවරේ ද? යෝගී හෝ යෝගාවචර යනු කවරෙක් ද?
  3. යෝගියෙකු පිළිබඳ ඇතිවිය යුතු ගණ කවරේ ද?
  4. සතළිස් කර්මස්ථාන බෙදා දක්වනු.
  5. චරිත සය ද භාවනා තුන ද නිමිත්ත තුන ද දක්වනු.