10. අහේතුක ක්‍රියා සිත් (3) තුන.

  1. උපෙක්ඛා සහගත පඤ්චද්වාරාවජ්ජන චිත්තය,
  2. උපෙක්ඛා සහගත මනොද්වාරාවජ්ජන චිත්තය,
  3. සොමනස්ස සහගත හසිතුප්පාද චිත්තය,

ක්‍රියා සිත් නම් කුසලාකුසලුත් නොවන විපාකත් නොවන චිත්තයෝ ය. ඔව්හු ද සහේතුක ය. අහේතුක ය යි දෙවැදෑරුම් වෙති. අහේතුක ක්‍රියා සිත් නම් යට කී හේතු වලින් එක හේතුවකුදු නොයෙදෙන චිත්තයෝ ය. ඔව්හු තුන් දෙනෙකි.

1. චක්‍ෂුරාදි ද්වාරවලින් අරමුණු නොලැබැ නිදියෙන කලක් මෙන් නිශ්චල වැ පවත්නා සිත භවාංග චිත්තය යි කියනු ලැබේ. නොයෙක් දිගට නූල් ඇදගෙන ඒ මැදට වී නිසල වැ සිටිනා මකුළුවකු මෙනි.

පංචද්වාරයන් අතුරෙන් යම් ද්වාරයෙක අරමුණක් හැපුණු විට ඒ භවාඞ්ග සන්තතිය සෙලවී සිඳී පස්දොරන අතුරෙන් කවර දොරකින් මේ අරමුණ ආයේ දැ යි බලන්නාක් මෙන් උපදින සිත පඤ්චද්වාරාවජ්ජන චිත්තය යි. මකුළු නූලේ සතකු රැඳුණු කල තමා සෙලවුම් කෑයෙන් කවර නූලකින් ඒ සතා රැඳුණේ දැයි පරීක්‍ෂා කොට බලන මකුළුවා මෙනි. එ ද සොම්නස් හෝ දොම්නස් වන්නට ශක්ති මඳ හෙයින් උපේක්‍ෂා සහගත ම වේ. මේ උපෙක්ඛා සහගත පඤ්චද්වාරාවජ්ජන චිත්තය පූර්ව කුසලාකුසලයෙක විපාක නොවේ. එසේ ම ඊට මතු විපාක නො ලැබෙන හෙයින් කුශලාකුශල කර්මයක් ද නොවේ. හුදෙක් ක්‍රියා මාත්‍රයෙකැ යි දතයුතු.

2. මනොද්වාරයෙහි වැටුණු අරමුණ ආවර්ජනය කරන චිත්තය මනොද්වාරාවජ්ජන චිත්තය යි. එ ද උපෙක්ඛා සහගත ම හෙයින් උපෙක්ඛා සහගත මනොද්වාරාවජ්ජන චිත්තය යි කියනු ලැබේ. මනොද්වාරය නම් ආවර්ජනයට නැමුණු භවාඞ්ග චිත්තය යි. මෙය ම පංචද්වාරික චිත්ත වීථින්හි දී “වොත්‍ථපන චිත්තය”යි කියනු ලැබේ. මෙ ද කර්මයක් හෝ විපාකයක් නො වන ක්‍රියා මාත්‍රයෙකි.

3. හසිතුප්පාද නම් සිනා ඉපැදවීම ය. රහතන් වහන්සේට අනෞදාරීකාරම්මණයෙහි (-සුළු අරමුණුවලදී සිනා උපදවන සිත “සොමනස්ස සහගත හසිතුප්පාද චිත්තය” යි. මේ ද, ක්‍රියාවෙක, කර්ම හෝ විපාක නොවේ. මේ අටළොස් චිත්තයන්ගේ විශේෂ විභාග මතු පැහැදිලි වන බව දතයුතු යි.

“පාපාහෙතූක මුත්තානි සොභනානීති වුච්චරෙ,

එකූනසට්ඨිචිත්තානි අථෙකනවුතිපි වා”

අකුසල සිත් 12 හා මේ අහේතුක සිත් 18 හැර මතු කියනු ලබන සිත් 59 හෝ 91 සෝභන සිත් නම් වේ.

ප්‍රශ්න

  1. අහේතුක ක්‍රියා සිත් කෙතෙක් ද? කවරහු ද?
  2. පංචද්වාරාවජ්ජනය යනු කිම?
  3. හසිතුප්පාද චිත්තය කවරකුහට කුමක් නිසා උපදී ද?
  4. මනොද්වාරාවර්ජන චිත්තය උපදින සැටි දක්වනු.
  5. සෝභන යන නාමය නො ලැබෙන සිත් කවරේ ද?