2. චතුර්විධ අභිධර්මාර්ථ

“තත්‍ථ වුත්තාභිධම්මත්‍ථා - චතූධා පරමත්‍ථතො,

චිත්තං චෙතසිකං රූපං - නිබ්බාණමිති සබ්බථා”

1-චිත්ත, 2-චෛතසික, 3-රූප, 4-නිර්වාණය යි අභිධර්මපිටකයෙහි වදාළ තාක් අර්ථ පරමාර්ථ වශයෙන් සිව් වැදෑරුම් වේ. මෙහි අර්ථ නම් කුශලාදිය හා ස්කන්‍ධාදිය යි.

1. සිතන්නේ හෙවත් අරමුණ දැනැගන්නේ චිත්තය. සිත ඉපදීම පිළිබඳ කියයුතු අන්‍ය හේතු ඇත ද අරමුණ දැනගැන්ම එහි ප්‍රධාන හේතුව බව දතයුතු යි. අරමුණක් නැති වැ සිත කිසි කලෙකත් නූපදනා බැවිනි. අරමුණ දැනගන්නා යන අර්ථයෙන් සිත එකක් ම වියයුතු නමුදු මතු කියනු ලබන චෛතසිකයන්ගේ අසමාන සම්බන්ධය හේතු කොටැ ගෙනැ එය 89 ආකාර හෝ 121 ආකාර වන්නේය.

2. චිත්තයෙහි වූවෝ හෙවත් චිත්තයෙහි යෙදුණෝ චෛතසිකයෝ ය. ඔහු වනාහි ඵස්ස, වෙදනා, සඤ්ඤා, චෙතනා යනාදී වශයෙන් දෙපණස් (52) වැදෑරුම් වෙත්. කකාරා ගත් කෂායයෙහි ජලය චිත්තය මෙන් ද ඒ ජලයෙහි ඇතුළත් වූ නානාවිධ බෙහෙත් රස චෛතසික මෙන් ද සැලකිය යුතු. චිත්තය නැති වැ කිසි චෛතසිකයක් නූපදනා බැවින් චිත්තය ප්‍රධාන ය. චෛතසිකයෝ අප්‍රධානයහ. “මනොපුබ්බඞ්ගමා ධම්මා” = ධර්මයෝ චිත්තය පූර්වඞ්ගම කොට ඇත්තෝ ය, යනු ධර්මපියා යි. මෙහි ධම්ම ශබ්දයෙන් කියවුණේ චෛතසික යි.

3. ශීත උෂ්ණාදියෙන් විකාරයට පැමිණෙන්නේ රූපය. අරූප ධර්මයන්ගේ ද එසේ විකාරයට පැමිණීම ඇතත් එහි රූප ව්‍යවහාරය නො ලැබේ. ශීත උෂ්ණාදිය කරණකොටැ ප්‍රකට වූ විකාරය රූපයෙහි ම ඇති බැවිනි. චිත්තාදි අරූපයෙහි එබන්දක් නැති බැවිනි. ඒ රූපය ද පඨවි ආදි වශයෙන් අටවිසි (28) වැදෑරුම් වේ.

4. වාන යනු තෘෂ්ණාව ය. ඒ වාන සංඛ්‍යාත තෘෂ්ණායෙන් නික්මුණේ නිර්වාණ ය. රාග ගිනි ආදිය නිවන්නේ හෝ නිර්වාණ යි. ඒ වනාහි මාර්ග-ඵල චිත්තයන්ට අරමුණු වූ අසංඛත ධාතුව බව දතයුතු. අසංඛත නම් ප්‍රත්‍යයයෙන් නූපන්.

ප්‍රශ්න

  1. අභිධර්මාර්ථ කී වැදෑරුම් ද? ඔහු කවරහු ද?
  2. චිත්තය යනු කිම? ඒ කී වැදෑරුම් ද? අරමුණක් නැති වැ සිත උපදනේ ද?
  3. චෛතසික යනු කිම? ඒ කී වැදෑරුම් ද? චිත්ත චෛතසිකයන්ගෙන් ප්‍රධාන කවර ද? ඒ කුමක් හෙයින් ද?
  4. රූප යනු කිම? කෙතෙක් ද?
  5. නිර්වාණය යනු කිමෙක් ද? එය කවර සිතකට අරමුණු වේ ද?