5. දොළොස් අකුසල් සිත්

“අට්ඨධා ලොභ මූලානි - දොස මූලානි ච ද්විධා,

මොහ මූලානි ච චෙති - ද්වාදසා’කුසලා සියුං.”

ලෝභමූලික සිත් 8 ක, දෝසමූලික සිත් 2 ක, මෝහ මූලික සිත් 2 කැ යි අකුසල් සිත් සියල්ල දොළොසෙක් වේ. ලෝභ, දෝස, මෝහ යනු අකුසල් හේතු ය. එයින් ලෝභය මුල්කොට ඇත්තෝ ලෝභ මූලිකය හ. ද්වේෂය මුල්කොට ඇත්තෝ දෝස මූලිකය ය. මෝහය පමණක් මුල්කොට ඇත්තෝ මෝහ මූලිකය හ. ලෝභ මූලික, දෝස මූලික සිත්වල ද මෝහය ඇති බැව් සැලකිය යුතු, එයින්:-

ලෝභ මූලික සිත් අට (8) මෙසේ ය.

  1. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික චිත්තය
  2. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික චිත්තය,
  3. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්තත අසංඛාරික චිත්තය
  4. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්තත සසංඛාරික චිත්තය,
  5. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික චිත්තය
  6. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික චිත්තය,
  7. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික චිත්තය
  8. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික චිත්තය

1, සොමනස්සසහගත නම් සන්තෝෂයෙන් යුක්ත බව ය. දිට්ඨිගත සම්පයුත්ත නම් කර්ම-ඵල නො ඇදහීම් සංඛ්‍යාත මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත බව ය. අසංඛාරික නම් තමා විසින් හෝ අනුන් විසින් කරනු ලබන පූර්ව ප්‍රයෝගයක් අනුබලදීමක් නැති වැ ස්වභාවයෙන් ම තියුණු වූ සිතින් කරනු ලබන බව ය. මෙසේ යමෙකු කාමමිථ්‍යාචාරාදී පාපයක් කරන්නේ සන්තෝෂයෙන් යුක්ත වැ “මෙයින් මතු විපාක නොලැබේ” යන මිථ්‍යාදෘෂ්ටියෙන් ද යුක්ත වැ අනුන් විසින් නොමෙහෙයන ලදු වැ ස්වභාව තීක්‍ෂණ වූ ම සිතින් ඒ පාපය කෙරේ ද ඔහුට සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික නම් පළමුවන අකුශල චිත්තය ලැබෙන්නේ ය.

2. දෙවන චිත්තයෙහි සෝමනස්ස සහගත බව හා දිට්ඨිගත සම්පයුත්ත බව යට කී සේ ම ය. සසංඛාරික නම් තමා විසින් හෝ අනුන් විසින් හෝ කරනු ලබන පූර්ව ප්‍රයෝග සහිත බව ය - හෙවත් අනුන්ගේ මෙහෙයීමෙන් හෝ තමා ම පසු බැසීමෙන් හෝ කරනු ලබන බව ය. මෙසේ යමෙකු කාමමිථ්‍යාචාරාදියක් කරන්නේ සන්තෝෂයෙන් හා “මෙයින් මතු විපාක නොලැබේ” යන මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත වැ අනුන් විසින් මෙහෙයන ලදු වැ හෝ තෙමේ ම පසු බැස ඒ පාපය කෙරේ ද ඔහුට සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික නම් දෙවන අකුශල චිත්තය ලැබෙන්නේ ය.

3. තුන්වන චිත්තයෙහි සොමනස්සසහගත බව යට කී සේ ම ය. දිට්ඨිගත විප්පයුත්ත නම් “මෙයින් මතු විපාක නොලැබේ” යනාදී මිථ්‍යාදෘෂ්ටියක් නැති බව ය. අසංඛාරික ලක්‍ෂණය පෙර කී සේ ම ය. මෙසේ යමෙකු කාමමිථ්‍යාචාරාදියක් කරන්නේ සන්තෝෂයෙන් යුක්ත වැ මිථ්‍යාදෘෂ්ටික නොවැ යට කී සේ පූර්ව ප්‍රයෝගයකු දු නැති වැ ඒ පාපය කෙරේ නම් ඔහුට සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික නම් තෙවන අකුශල චිත්තය ලැබෙන්නේ ය.

4. සතරවන චිත්තයෙහි සෝමනස්ස සහගත බව ද දිට්ඨිගත විප්පයුත්ත බව ද, සසංඛාරික බව ද පෙර කී සේ ම ය. මෙසේ යමෙකු කාමමිථ්‍යාචාරාදී පාපයක් කරන්නේ සන්තෝෂයෙන් යුක්ත වැ මිථ්‍යාදෘෂ්ටි නැති වැ අනුන්ගේ නියෝගයෙන් හෝ තමාගේ ම පසුබැසීමෙන් හෝ ඒ පාපය කෙරේ නම් ඔහුට සොමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික නම් සතරවන අකුශල චිත්තය ලැබෙන්නේ ය.

5. පස්වන චිත්තයෙහි උපෙක්ඛා සහගත නම් සොම්නසුත් නො වැ දොම්නසුත් නො වැ මධ්‍යස්ථ වේදනායෙන් යුක්ත බව ය, දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික ලක්‍ෂණ පෙර කී සේ ම ය. මෙසේ යමෙකු කාමමිථ්‍යාචාරාදි පාපයක් කරන්නේ උපේක්‍ෂායෙන් යුක්ත වැ මිථ්‍යා දෘෂ්ටික වැ ලා හෙළා ඒ පාපය කෙරේ ද ඔහුට උපෙක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික නම් පස්වන අකුශල චිත්තය ලැබෙන්නේ ය.

6. සවන චිත්තයෙහි උපෙක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික යන ලක්‍ෂණ තුන පෙර කී සේ ය. එසේ යමෙකු උපේක්‍ෂායෙන් යුක්ත වැ මිථ්‍යාදෘෂ්ටික ව තමා විසින් හෝ අනුන් විසින් මෙහෙයන ලදු වැ කාම මිථ්‍යාචාරාදි පාපයක් කෙරේ ද ඔහුට උපෙක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික නම් සවන අකුශල චිත්තය ලැබෙන්නේ ය.

7. සත්වන චිත්තයෙහි උපෙක්ඛා සහගත - දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික යන ලක්‍ෂණ තුන ම පෙර කී සේ ය. එසේ යමෙකු උපෙක්ඛායෙන් යුක්ත වැ මිථ්‍යාදෘෂ්ටික නො වැ උත්සාහවත් වැ පාප කර්මයන් කෙරේ ද ඔහුට උපෙක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික යන සත්වන අකුශල චිත්තය ලැබෙන්නේ ය.

8. අටවන චිත්තයෙහි ද උපෙක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික යන ලක්‍ෂණ තුන පෙර කී සේ ය. යමෙකු කාමමිථ්‍යාචාරාදී පාපයක් කරන්නේ උපේක්‍ෂායෙන් යුක්ත වැ මිථ්‍යාදෘෂ්ටික නො වැ අනුන් විසින් මෙහෙයන ලදු වැ හෝ තෙමේ ම පසුබැස ඒ පාපය කෙරේ ද ඔහුට උපෙක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික යන අටවන අකුශල චිත්තය ලැබෙන්නේ ය.

වෙදනා - දිට්ඨි - සංඛාර යන අඞ්ග තුනින් මේ සිත් අට ආකාරයකට බෙදී ගිය බැව් දත යුතු,

ප්‍රශ්න

  1. අකුසල් සිත් දොළස කොටස් වශයෙන් බෙදනු.
  2. ලෝභ මූලික සිත් අට කවරේ ද?
  3. එයින් අසංඛාරික සිත් කෙතෙක්ද? ඔව්හු කවරහු ද?
  4. සෝමනස්ස සහගත-දිට්ඨිගත සම්පයුත්ත-අසංඛාරික යන අඞ්ග තුන විස්තර කරනු.
  5. උපෙක්ඛා යනු කිම?
  6. අටවන සිත ලැබිය හැකි ආකාරය දක්වනු.
  7. මේ සිත් අෂ්ටවිධ වැ කුමකින් බෙදී ගියේ ද?