1. තෙපණස් සම්ප්‍රයුක්ත ධර්ම

1. චිත්තපාදයෙහි සිත් එකුන් අනූ (89) වෙක් හෝ එක්සිය එක් විස්සෙ (121) ක් දක්වන ලද්දේය. එසේ දැක්වුණේ හුදු සිතම එතෙක් ප්‍රභෙදයට ගිය නිසා නොවැ චිත්ත චෛතසිකයන්ගේ සම්බන්‍ධය නිසා ය. හුදු සිත වශයෙන් ගත් කල ඒ සියල්ලෙහි ම ඇතුළත් වූයේ ආරම්මණ විජානන (අරමුණ දැනගැනීම) ලක්‍ෂණයෙන් එක සිතෙක් ම ය. ජලය කෂාය සමූහයෙක යෙදුණේ නමුදු ජලය වශයෙන් ගන්නා කල එකක්ම වන්නාක් මෙනි. (චිත්තපාද 2 වන පාඩමේ 1 බලනු.)

2. චෛතසික පාදයෙහි චෛතසික දෙපණසෙක් දක්වන ලද්දේය. එහි දු ඵස්සය එකුන් අනූ (89) සිත්හි යෙදෙන බැවින් එකුන් අනූ (89) වෙකැයි නොකිය යුතු. කොයි යෙදුණ ද ඵස්සය අරමුණුස්පර්ශ කිරීම් ලක්‍ෂණයෙන් එකෙක් ම ය. කොතඹුරු (කොත්තමල්ලි) කොයි කෂායයෙක යෙදුණද එක ම යි. වෙදනාදිය ද මෙසේය. මෝහය අකුසල සිත් දොළසෙහි (12) ම යෙදුතු දු අරමුණෙහි මුළාවන ලක්‍ෂණයෙන් එක ම ය. අහිරිකාදිය ද මෙසේ ය. සද්ධා ව එකුන්සැට (59) සොභන සිත්හි යෙදෙතු දු සද්දහන (ඇදහීම්) ලක්‍ෂණයෙන් එක ම ය. සති ආදිය ද මෙසේ යි.

3. මෙසේ අසූනව (89) යක් (සසම්ප්‍රයුක්ත) සිත්හි යෙදෙන සිත ස්වභාව ලක්‍ෂණ වශයෙන් එකෙක. එ පමණ ම (සසම්ප්‍රයුක්ත) සිත්හි යෙදෙන ඵස්සය ස්වභාව ලක්‍ෂණ වශයෙන් එකෙක. එසේ ම වේදනා ද එකෙකැ යි යනාදි වශයෙන් සම්ප්‍රයුක්ත ධර්මයෝ ස්වභාව වශයෙන් තෙපණස් (53) දෙනෙක් වෙත්. මෙහි සම්ප්‍රයුක්ත ධර්ම නම් එක් වැ යෙදෙන චිත්ත චෛතසිකයෝ ය. ඔව්හු චිත්ත පාදයෙහි දැක්වූ චිත්යන්ගේ වශයෙන් 1-වෙදනා සංග්‍රහය, 2-හෙතු සංග්‍රහය, 3-කෘත්‍ය සංග්‍රහය, 4-ද්වාර සංග්‍රහය, 5-ආරම්මණ සංග්‍රහය, 6-වස්තු සංග්‍රහය යි සංග්‍රහ සයකට බෙදා මතු දක්වනු ලැබෙත්.

ප්‍රශ්න.

  1. චිත්ත චෛතසික මුළුල්ල ස්වබාව වශයෙන් ගත් කල කෙතෙක් ද? කවරහු ද?
  2. අසූනව (89) සිත් හා දෙපණස් චෛතසික තෙපණසෙ (53) ක වැටෙන සැටි දක්වනු.
  3. සම්ප්‍රයුක්ත ධර්ම යනු කවරේ ද?
  4. ඔව්හු කී ආකාරයකින් මෙහි දැක්වෙත් ද?
  5. සංග්‍රහ සය දක්වනු.