12. ආලම්බන සංග්‍රහය. (දෙවන කොටස)

ආලම්බන සය ද අසවල් අසවල් සිත් අසවල් අසවල් ආලම්බන ගන්නේය යි ද යට දක්වන ලද්දේ ය. කවර කවර සිත් කෙතෙක් කෙතෙක් ආලම්බනික ද යනු මෙහි දක්වනු ලැබේ.

1. චක්ඛුවිඤ්ඤාණ සිත් දෙක එකාලම්බනික ය. රූපය පමණක් ආලම්බනය කරන බැවිනි.

2. සොතවිඤ්ඤාණ, ඝාණවිඤ්ඤාණ, ජිව්හාවිඤ්ඤාණ, කායවිඤ්ඤාණ සිත් ද එකෙකාලම්බනික ය. ශබ්ද, ගන්‍ධ, රස, ඵොට්ඨබ්බයන්ම පිළිවෙලින් ආලම්බනය කරන බැවිනි.

3. මනොධාතුත්‍රිකය පඤ්චාලම්බනිකය. මනොධාතු ත්‍රික නම්, පඤ්චද්වාරාවර්ජනය හා සම්පටිච්ඡන යුගලය යි. මේ සිත් තුන ඒ ඒ චිත්තවීථින්හි දී රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ යන පස ම ආලම්බනය කරන්නේ ය.

4. සෙසු කාමාවචර විපාක හා හසිතුප්පාදය සර්වප්‍රකාරයෙන් ම කාමාවචරාලම්බනික ය. අකුසල විපාක සත (7) ය, කුසල අහේතුක විපාක අට (8) ය, සහේතුක විපාක අට (8) යයි කාමාවචර විපාක මුළුල්ල තෙවිස්සෙ (23) කි. එයින් එකෙකාලම්බනික වශයෙන් දසයෙක් ද පඤ්චාලම්බනික වශයෙන් දෙකෙක් ද යට දැක්විණි. සෙසු නම්, සන්තීරණ තුන හා මහාවිපාක අට යි. මෙයින් සන්තීරණ තුන සන්තීරණ කෘත්‍ය වශයෙන් කාමාවචර පංචාලම්බනික ය. තදාරම්මණ කෘත්‍ය වශයෙන් කාමාවචර ෂඩාලම්බනික ය. මහාවිපාක අට ද, තදාරම්මණ වශයෙන් කාමාවචර ෂඩාලම්බනික ය. සන්තීරණද්වය හා මහාවිපාක අට ප්‍රතිසන්ධි භවාඞ්ග ච්‍යුති වශයෙන් ද්වාරවිමුක්ත වැ පවත්නා කල්හි දු කාමාවවචර ෂඩාලම්බනික ය. හසන චිත්තය ද කාමාවචර ෂඩාලම්බනිකය. ඒ එසේ ම ය; හසන චිත්තතය වනාහි රහතුන්ට ප්‍රධන් වීර්යයට සුදුසු තැන් දැක සතුටු වන විට රූපාලම්බනිකව ද, බඩු බෙදන තැන භික්‍ෂූන්ගේ කලකල ශබ්දය අසා “මගේ මෙ බඳු වැ පැවැති ලොලුප්ප තණ්හාව නැති වුණේ නො වේදැ”යි සතුටු වන විට ශබ්දාලම්බනික වැ ද සුවඳ ආදියෙන් සෑ පුදමින් සතුටු වන විට ගන්ධාලම්බනික වැ ද රසවත් පිණ්ඩපාතය සබ්රම්සරුන්ට ද බෙදා වළඳමින් සතුටු වන විට රසාලම්බනික වැ ද ආභිසමාචාරිකවත් පුරමින් සතුටු වන විට ඵොට්ඨබ්බාරම්මණික වැ ද පූර්වේනිවාසාදි ඥානයෙන් ගත් කාමාවචරධර්ම අරභයා සතුටු වන විට ධර්මාලම්බනික වැ ද උපදනේ යි.

6. අකුසල සිත් දොළොස හා ඥානවිප්‍රයුක්ත කාමාවචර ජවන් අට ලෝකෝත්තර ධර්ම හැර සෙසු ත්‍රෛභූමක වූ සියල්ල අරමුණු කරන්නේ ය.

මෙයින් දිට්ඨිසම්පයුත්ත අකුසල සිත් සතර කාමාවචර වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ ධර්මයන් දිට්ඨි වශයෙන් පරාමසන, ආස්වාදන අභිනන්දනය කාලයෙහි කාමාවචරාරම්මණය ය. සත්විසි රූපාවචර අරූපාවචර ධර්මයන් දිට්ඨි වශයෙන් පරාමසන, ආස්වාදන, අභිනන්‍දන කාලයෙහි මහග්ගතාරම්මණ ය. එසේ ම සම්මුති ධර්ම පරාමසන, ආස්වාදන, අභිනන්‍දන කාලයෙහි පඤ්ඤත්තාරම්මණ ය. දිට්ඨිවිප්පයුත්ත සිත් සතර දෘෂ්ටි රහිත වැ ආස්වාදන, අභිනන්‍දන කාලයෙහි එසේ ම පරිත්ත මහග්ගත පඤ්ඤත්ත ආරම්මණ ය. පටිඝ සම්පයුත්ත සිත් දෙක ඒ පරිත්තාදි ධර්මයන් දුස්සන විප්පටිසාර වශයෙන් ගන්නා කල ද විචිකිච්ඡා සහගත සිත ඒ පරිත්තාදි ධර්මයන් විචිකිච්ඡා වශයෙන් ගන්නා කල ද උද්ධච්ච සහගත සිත ඒ පරිත්තාදි ධර්මයන් වික්‍ෂිප්ත වශයෙන් ගන්නා කල ද පරිත්ත මහග්ගත සඤ්ඤත්තාරම්මණ වේ.

6. ඤාණවිප්පයුත්ත කාමාවචර ජවන් අට නම්, කාමාවචර ඤාණ විප්පයුත්ත කුසල් සතර හා ක්‍රියා සතර යි.

පුහුදුන්ගේ හා ශෛක්‍ෂයන්ගේ ඤාණවිප්පයුත්ත කුසල සතර ද රහතන්ගේ එබඳු වූ ම ක්‍රියා සතර ද නො සකස් කොටැ දුන් දාන ප්‍රත්‍යවේක්‍ෂා ධර්ම ශ්‍රවණාදි කාමාවචර ධර්ම අරමුණු කරන කල්හි කාමාවචරාලම්බනික ය. ඉතා ප්‍රගුණ වූ ධ්‍යාන ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි මහග්ගතාරම්මණික ය. කසිණ නිමිත්තාදීන් පරිකර්ම කරන කාලයෙහි පඤ්ඤත්තාරම්මණික ය.

මොවුන්ගේ හීනභාවය හේතුකොට ගෙන මොව්හු කිසි කලෙක ලොකොත්තරාලම්බනික නො වෙත්.

7. ඤාණසම්පයුත්ත කාමාවචර කුසල සිත් සතර හා පඤ්චමධ්‍යාන සංඛ්‍යාත වූ අභිඥා කුසල සිත් අර්හත් මාර්ග ඵල හැර සෙසු සියල්ල අරමුණු කරන්නේ ය.

මේ සිත් පස පහළ වන්නේ පුහුදුනට හා ශෛක්‍ෂයනට පමණෙකි. ශෛක්‍ෂයනට වුව ද රහතන්ගේ ලෞකික චිත්තය විනා අර්හත් මාර්ග ඵල සිත් අරමුණු කළ හැකි නො වේ. පුහුදුනට ශෛක්‍ෂයන්ගේ මාර්ග ඵල සිත් අරමුණු කළ හැකි නො වේ. ශෛක්‍ෂයන් අතුරෙනු දු යට යට ශෛක්‍ෂයනට මතු මතු ශෛක්‍ෂයන්ගේ මාර්ග ඵල අරමුණු කළ හැකි නො වේ.

8. ඤාණ සම්පයුත්ත කාමාවචර ක්‍රියා සිත් සතර ද, ක්‍රියා අභිඥා සිත ද, මනොද්වාරාවර්ජන සිත ද පරිත්ත මහග්ගත ලොකුත්තර පඤ්ඤත්ති යන සියල්ල අරමුණු කරන්නේ ය.

සර්වඥතාඥානය වසයෙන් පවත්නේ කාමාවචර ඤාණ සම්පයුත්ත ක්‍රියා ජවන් සතර යි. එහෙයින් එය සියල්ල අරමුණු කරන්නේ ය. මනොද්වාරාවර්ජනය ද ඒ ඒ සිත්වලට පූර්ව වැ උපදින බැවින් සර්වාලම්බනික යි.

9. ද්විතීය චතුර්ථ අරූප චිත්තයෝ මහග්ගතාලම්බනිකයහ. විඤ්ඤාණඤ්චායතනයට අරමුණු වන්නේ ආකාසානඤ්චායතන චිත්ත ය යි. නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට අරමුණු වන්නේ ආකිඤ්චඤ්ඤායතන චිත්තය යි. එහෙයින් ඔහු දෙදෙන මහග්ගතාලම්බනිකයෝ යි.

10. සෙසු එක්විසි මහග්ගත චිත්තයෝ පඤ්ඤත්තාලම්බනිකයහ. කසිණාදි පඤ්ඤත්ති ම අරමුණු කරන බැවිනි. ලොකොත්තර සිත් නිර්වාණාලම්බනික ය. නිර්වාණය ම අරමුණු කරන බැවිනි.

[1]*පඤ්චවීස පරිත්තම්හි ඡ චිත්තානි මහග්ගතෙ,

එකවීසති වොහාරෙ අට්ඨ නිබ්බාණ ගොචරෙ.

.

වීසානුත්තරමුත්තම්හි අග්ගමග්ගඵලුජ්ඣිතෙ,

පඤ්ච සබ්බත්‍ථ ඡච්චෙති සත්තධා තත්‍ථ සඞ්ගහො”

කාමාවචර විපාක තෙවිස්ස (23) ය, පංචද්වාරාවර්ජනය, හසිතුප්පාදය යන සිත් පස්විස්ස (25) පරිත්ත අරමුණෙහි ම පවත්නේ ය. පරිත්ත නම්, කාමාවචර ය.

විඤ්ඤාණඤ්චායතන කුසල විපාක ක්‍රියා 3 ය, නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසල විපාක ක්‍රියා 3 ය යන මේ සිත් සය මහග්ගත අරමුණෙහි ම පවත්නේ ය. මහග්ගත නම් රූපාවචර අරූපාවචර ය.

රූපාවචර සිත් 15 ය, අරූපාවචරවලින් ප්‍රථම තෘතීයා රූප සය ය යන සිත් 21 පඤ්ඤත්තාරම්මණයෙහි ම පවත්නේ ය. පඤ්ඤත්ත නම්, කසිණාදි ය.

ලොකොත්තර සිත් අට නිර්වාණාරම්මණයෙහි ම පවත්නේ ය.

අකුසල් 12 ය, ඤාණවිප්පයුත්ත කාමාවචර කුසල ක්‍රියා 8 ය යන සිත් 20 ලෝකෝත්තර හැර අන් සියලු අරමුණෙහි පවත්නේ ය.

ඤාණසම්පයුත්ත කාමාවචර කුසල සතර ය, අභිඥා කුශලය යන සිත් පස අර්හත් මාර්ග ඵල හැරැ සෙසු සියලු අරමුණෙහි පවත්නේ ය. අභිඥා කුශල නම්, අභිඥා භාව ප්‍රාප්ත පංචමධ්‍යාන කුශලය යි.

ඤාණ සම්පයුත්ත කාමාවචර ක්‍රියා 4 ය, අභිඥා ක්‍රියා සිතය. මනොද්වාරාවර්ජනය යන සිත් සය සර්වාලම්බනයෙහි පවත්නේ යි. අභිඥා ක්‍රියා නම්, රහතන්ගේ අභිඥා ප්‍රාප්ත පංචමධ්‍යාන ක්‍රියා සිතයි.

ප්‍රශ්න.

  1. එකාලම්බනික හා පංචාලම්බනික සිත් වෙන් වෙන් වැ දක්වනු.
  2. පරිත්තාලම්බන මහග්ගතාලම්බන සිත් දක්වා පැහැදිලි කරනු.
  3. ලෝකෝත්තර ධර්ම අරමුණු නොකරන සිත් හා අර්හත් මාර්ග ඵල පමණක් අරමුණු නො කරන සිත් කවරහු ද?
  4. සියල්ල ම අරමුණු කරන සිත් කෙතෙක් ද? කවරහු ද?
  5. පඤ්ඤත්තාලම්බන සිත් දක්වනු.
  1. *පස්විස්සෙකි පිරිත්-අරමුණැ, සසිත් මාගිය

    පැණවුමෙ’ක් විස්සෙකි-සත’ටෙකි නිවන් අරමුණැ

    නිවන’රමුණින් මුත්-වීසි සිත්, පස’ගපලමුත්

    සසිත් සියල් අරැමුණැයි-සත්විදි එහි සඟරා