3. හෙතු සංග්‍රහය

1. හෙතු නම් ලෝභ, දෝස, මෝහ, අලෝභ, අදෝස, අමෝහ යන චෛතසික සය ය. අයහපත් වූ හෝ යහපත් වූ හෝ සිත යමෙකින් ස්ථිර වැ පිහිටා ගනී ද එය හේතුය යි කියනු ලැබේ. “හිනොති-පතිට්ඨාති එතෙනාති හෙතූ” එතෙන, මේ කරණකොටගෙන; හිනොති, සේයි; පතිට්ඨාතී ති, පිහිටානුයි හෙතු-හෙතු නමි යනු එහි විග්‍රහ හා අර්ථ යි. වෘක්‍ෂයෙක ස්ථිර පැවැත්මට කාරණ වන්නේ මුල් ය. එමෙන් අකුසල කුසලාදි චිත්තයන්ගේ ස්ථිර පැවැත්මට කාරණ වන්නේ මේ චෛතසික සය ය. හේතු නැති හෙවත් අහේතුක සිත් ජල තලයෙහි සෙවෙල් මෙන් අස්ථිර ය. හේතු ඇති හෙවත් සහේතුක සිත් මුල් සහිත වෘක්‍ෂ මෙන් ස්ථිර ය. එසේත් එක හේතුවක් ඇති සිත එක මුලක් ඇති වෘක්‍ෂයක් මෙන් ද, හේතු දෙකක් ඇති හෙවත් ද්විහේතුක සිත මුල් දෙකක් ඇති වෘක්‍ෂය මෙන් ද ස්ථිර ය. හේතු තුනක් ඇති හෙවත් ත්‍රිහේතුක සිත මුල් තුනක් ඇති වෘක්‍ෂය මෙන් සුස්ථිර ය. සර්වාකාර සම්පූර්ණය යි දතයුතු.

2. මේ හේතු සය අතුරෙන් ලෝභ, දෝස, මෝහ අකුසල හේතු ය. මොව්හු අකුසල් සිත්හි විධි වූ පරිදි යෙදෙමින් ඒ අකුසල් ස්ථිර බවට පමුණුවති. අලෝභ, අදෝස, අමෝහ කුසල අව්‍යකෘත හේතු ය. මොව්හු කුසලාදි සිත්හි යෙදෙමින් ඒ සිත් ස්ථිර බවට පමුණුවත්. (මොවුන්ගේ ආකාර චෛතසික පාදයෙහි 4 වන, 5 වන පාඩම්වල බලනු.) අකුසල හේතු කුසල අව්‍යාකෘත සිත්හි ද කුසල අව්‍යාකෘත හේතු අකුසල සිත්හි ද කිසිවිටෙක නො යෙදෙත්. අව්‍යාකෘත නම් මෙහි විපාක සිත් හා ක්‍රියා සිත් ය.

3. මොවුන් අතුරෙන් අසවල් අසවල් හේතු අසවල් අසවල් සිත්හි යෙදෙති යි ඉක්බිති දක්වනු ලැබේ. (චිත්තපාදයෙහි සිත් 89 සිහි කරනු.)

4. අකුසල විපාක සිත් සත ය. කුසල අහේතුක විපාක සිත් අට ය, අහේතුක ක්‍රියා සිත් තුන ය යන අටළොස් සිත්හි මේ එක හේතුවකු දු නො යෙදේ. එ හෙයින් ඔව්හු අහේතුක නම් වෙත්. චිත්තපාද 8, 9, 10 වන පාඩම් ද, චෛතසික පාද 13 වන පාඩම ද බලනු.)

5. මේ අහේතුක සිත් අටළොස හැර සෙසු එක් සැත්තෑ (71) සිත් සහේතුකයෝ ය. එක හේතුවකුදු යෙදීම සිත් සහේතුක වීමට පමණි. එහෙත් ඔවුන් අතුරෙන් ඇතැම් සිත්හි එක හේතුවක් ද, ඇතැම් සිත්හි හේතු දෙකක් ද ඇතැම් සිත්හි හේතු තුනක් ද යෙදෙන බව දතයුතු. එහි විස්තරය මෙසේයි.

6. මොමූහ සිත් දෙක එකහේතුක ය. මොමූහ සිත් දෙක නම් දොළොස් අකුසල් අතුරෙන් අවසානයෙහි දැක්වූ විචිකිච්ඡා සම්පයුත්ත, උද්ධච්ච සම්පයුක්ත සිත් දෙකයි. (චිත්තපාද 7 වන පාඩම බලනු.) ඒ සිත් යුවළෙහි මෝහය පමණක් ඇත්තේ ය. ලෝභ, දෝස නැත්තේ ය. එහෙයින් එකහෙතුකත්වය යි.

7. සෙසු අකුසල සිත් දසය ද, ඥානවිප්‍රයුක්ත වූ කාමාවචර සෝභන සිත් දොළොස ද යන දෙවිසි සිත් ද්විහේතුකයෝ ය. සෙසු අකුසල සිත් දසය නම් ලෝභ මූලික අට හා දෝස මූලික දෙකය. ඔවුන් අතුරෙන් ලෝභ මූලික සිත් ලෝභ, මොහ ද, දෝස මූලික සිත් දෙකෙහි දෝස, මෝහ ද යෙදේ. (චිත්තපාදයෙහි 5 වන 6 වන පාඩම් ද, චෛසිකපාදයෙහි 12 වන පාඩම ද බලනු.) එහෙයින් මොව්හු අකුසල ද්විහේතුකයහ. ලෝභ, දෝස, මෝහ යන අකුසල් හේතු තුන ම එකවිට යෙදෙන සිත් හෙවත් ත්‍රිහේතුක අකුසල සිත් නැත් මැ යි.

ඥානවිප්‍රයුක්ත කාමාවචර සෝභන සිත් දොළොස නම් (චිත්තපාදයෙහි 11 වන, 12 වන, 13 වන පාඩම්හි 3, 4, 7, 8 යන අංකවලින්) දැක්වුණු සිත් ය. එහි අමෝහය හෙවත් ඥානය නො යෙදේ. අලෝභ, අදෝස, දෙක පමණක් යෙදේ. එහෙයින් ඔහු ද ද්විහේතුකයෝ ය. එසේත් කුසල ද්විහේතුක යෝ යි.

8. අහේතුක අටළොසය, එකහෙතුක දෙකය ද්විහෙතුක දෙවිස්සය යන දෙසාළිස හැර සෙසු සත්සාළිස (47) ත්‍රිහේතුකයෝ ය. ඔහු නම් ඥානසම්ප්‍රයුක්ත කාමාවචර කුසල විපාක ක්‍රියා දොළොසය, රූපාවචර පසළොසය, අරූපාවචර අටය යන මොහුයි. මේ සත්සාළිස් සිත්හි අලෝභ, අදෝස, අමෝහ යන හේතු ත්‍රිකය නිතොර වැ යෙදේ. එහෙයින් ඔහු ත්‍රිහේතුකයෝ යි. එහි දු කුසල සිත් කුසල ත්‍රිහේතුකයෝ ය. විපාක හා ක්‍රියා අව්‍යාකෘත ත්‍රිහේතුකයෝ යි.

9. මේ හේතු මැ පට්ඨානයෙහි සූවිසි ප්‍රත්‍ය්‍යන් අතුරෙන් හේතු ප්‍රත්‍යය වශයෙන් වදාළේය. “හෙතුහෙතුසම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං හෙතු පච්චයෙන පච්චයො” යි.

10. කුසල් අකුසල් ආදි සිත් කුසලාකුසලාදි වශයෙන් ස්ථිර වීමට මේ හේතු, හේතු වනු විනා කුසලාකුසලාදිවීමට හේතු නො වන බව දතයුතුයි.

[1]*“ලොභො දොසො ච මොහො ච හෙතූ අකුසලා තයො

අලොභාදොසාමොහා ච කුසලාබ්‍යකතා තථා.

.

අහෙතුකට්ඨාරසෙක හෙතුකා ද්වෙ දුවීසති.

ද්විහෙතුකා මතා සත්ත චත්තාලීස තිහෙතුකා”

ලෝභය, දෝසය, මෝහය යි අකුසල හේතු තුනෙකි. අලෝභය, අදෝසය, අමෝහය යි කුසල අව්‍යකෘත හේතු ද තුනෙකි.

අහේතුක අටළොසෙකි. එකහේතුක දෙකෙකි. ද්විහේතුක දෙවිස්සෙකි. ත්‍රිහේතුක සත්සාළිසෙකි. (විස්තර යට දක්වන ලදී.)

ප්‍රශ්න.

  1. හේතු කෙතෙක් ද? කවරහු ද? අර්ථ කිම?
  2. හේතු රහිත සිත් කවරහු ද?
  3. එකහේතුක ද්විහේතුක සිත් දක්වනු.
  4. ත්‍රිහේතුක සිත් කෙතෙක් ද? කවරහු ද?
  5. හේතු උපමාවකින් පැහැදිලි කරනු.
  1. *ලොබ දොස් මෝ යයි-අකුසල් හේ තුනෙක් වේ.

    අලොබ අදොස් අමෝ යයි-කුසල’වියත් ද තුනෙකි.

    අහේ සිත් අටළොස්-එක් හේ සිත් දෙකෙක් වේ.

    දුහේ සිත් යළි දෙවිසි-තිහේ සිත් සත්සාළිස්.