7. කෘත්‍ය සංග්‍රහය. (සතරවන කොටස)

10. ආවර්ජන කෘත්‍යය කෙරෙන සිත් දෙකෙකි. එ නම් පඤ්චද්වාරාවර්ජනය හා මනොද්වාරාවර්ජනය යි.

සිත සදොරින් අරමුණු නොගන්නා කල භවාඞ්ගය යි කියන ලදි. එවිට සිත නොයෙක් දිගට නූල් ඇදගෙන ඒ මැදට වී නිසල වැ සිටිනා මකුළුවකු මෙනි. චක්‍ෂුරාදී පංචද්වාර අතුරෙන් යම් ද්වාරයෙක අරමුණක් හැපුණු විට ඒ භවාඞ්ගය චලන වේ. එවිට ම භවාඞ්ග උපච්ඡේද ද වේ. නූලක සතකු රැඳුණු විට මකුළුවා සැලෙන්නාක් මෙනි. ඌ අවදි වූවක් මෙනි. ඒ ඇසිල්ලෙහි ම මේ කවර දොරකින් අරමුණ හැපුණේ දෝ හෝයි පිරික්සා බලන සිතෙක් උපදී. එය පඤ්චද්වාරාවර්ජන චිත්තය යි. මකුළුවා කවර නූලෙක සතා රැඳුණේ දැයි පිරික්සා බලන්නාක් මෙනි.

ධම්මාරම්මණයක් සිතට අරමුණු වූ විට පෙර සේම භවාඞ්ග සන්තතිය සැලී සිඳී මනෝද්වාරාවර්ජන චිත්තය උපදී. (පංචද්වාරාවර්ජන වීථියෙහි මේ ම වොත්‍ථපන නාමයෙන් ප්‍රකාශ වන බැව් දත යුතු යි.)

11. දර්ශන කෘත්‍යය කෙරෙන සිත් දෙකෙකි. එනම් අකුසල විපාක චක්ඛු විඤ්ඤාණය හා කුසල අහේතුක විපාක චක්ඛු විඤ්ඤාණය යි. අනිෂ්ට රූපයක් චක්ෂුඃ ප්‍රාසාදයෙහි ගැටුණු විට භවාඞ්ග සන්තතිය සැලී සිඳී පඤ්චද්වාරා වර්ජනයට ඉක්බිති වැ අකුසල විපාක චක්ඛු විඤ්ඤාණය උපදී. එයින් දර්ශන කෘත්‍යය කෙරෙන්නේය. එසේ ම ඉෂ්ට රූපයක් චක්ෂුඃ ප්‍රසාදයෙහි ගැටුණු විට භවාඞ්ග සන්තතිය සැලී සිඳී පඤ්චද්වාරාවර්ජනයට අනතුරු වැ කුසල විපාක චක්ඛු විඤ්ඤාණය උපදී. එයින් ද දර්ශන කෘත්‍යය කෙරෙන්නේ යි.

12. ශ්‍රවණ කෘත්‍යය කෙරෙන සිත් දෙකෙකි. එනම්, අකුසල විපාක සොතවිඤ්ඤාණය හා කුසල අහේතුක විපාක සොතවිඤ්ඤාණය යි. අනිෂ්ට ශබ්දයක් ශ්‍රොත්‍ර ප්‍රසාදයෙහි ගැටුණු විට භවාඞ්ග සන්තතිය සැලී සිඳී පඤ්චද්වාරා වර්ජනය ඉපිද ඉක්බිති අකුසල විපාක සොතවිඤ්ඤාණය උපදී. එයින් ශ්‍රවණ කෘත්‍යය කෙරෙන්නේය. එසේ ම ඉෂ්ට ශබ්දයක් ශ්‍රොත්‍ර ප්‍රසාදයෙහි ගැටුණු විට භවාඞ්ග සන්තතිය සැලී සිඳී පඤ්චද්වාරාවර්ජනය ඉපිද ඉක්බිති කුසල විපාක සොත විඤ්ඤාණය උපදී. එයින් ද ශ්‍රවණ කෘත්‍යය කෙරෙන්නේ යි.

13. ආඝ්‍රාණ කෘත්‍යය කෙරෙන සිත් දෙකෙකි. එනම්, අකුසල විපාක ඝාණවිඤ්ඤාණය හා කුසල හේතුක විපාක ඝාණවිඤ්ඤාණය යි. අනිෂ්ට ගන්ධයක් ඝ්‍රාණ ප්‍රසාදයෙහි ගැටුණු විට භවාඞ්ග සන්තතිය ඇලී සිඳී පඤ්චද්වාරාවර්ජනය ඉපිද ඉක්බිති අකුසල විපාක ඝාණවිඤ්ඤාණය උපදී. එයින් ආඝ්‍රාණ කෘත්‍ය කෙරේ. එසේම ඉෂ්ට ගන්ධයක් ඝ්‍රාණ ප්‍රසාදයෙහි ගැටුණු විට භවාඞ්ග සන්තතිය සැලී සිඳී පඤ්චද්වාරාවර්ජන වැ ඉක්බිති කුසල විපාක ඝාණවිඤ්ඤාණය උපදී, එයින් ද ආඝ්‍රාණ කෘත්‍යය කෙරෙයි.

14. සායන කෘත්‍යය කෙරෙන සිත් දෙකෙකි. අනිෂ්ට හා ඉෂ්ට රසාරම්මණ ජිහ්වා ප්‍රසාදයෙහි ගැටුණු විට පෙර සේම භවාඞ්ග සන්තතිය සැලී සිඳී පඤ්චද්වාරාවර්ජන වැ අකුසල විපාක හා කුසල විපාක ජිව්හාවිඤ්ඤාණ සිත් දෙක උපදී. එයින් සායන කෘත්‍යය කෙරෙයි.

15. ඵුසන කෘත්‍යය කෙරෙන සිත් දෙකෙකි. එනම්, අකුසල විපාක කාය විඤ්ඤාණය හා කුසල විපාක කාය විඤ්ඤාණය යි. අනිෂ්ට හා ඉෂ්ට ස්ප්‍රෂ්ටව්‍ය කාය ප්‍රසාදයෙහි ගැටුණු විට භවාඞ්ග සන්තතිය සැලී සිඳී පඤ්චද්වාරාවර්ජන වැ අකුසල විපාක දුක්ඛ සහගත කාය විඤ්ඤාණය හා කුසල විපාක සුඛ සහගත කාය විඤ්ඤාණය උපදී. එයින් ස්පර්ශ කෘත්‍යය කෙරෙ යි.

16. සම්පටිච්ඡන කෘත්‍යය කෙරෙන සිත් දෙකෙකි. එනම්, අකුසල විපාක උපෙක්ඛා සහගත සම්පටිච්ඡන චිත්තය හා කුසල අහේතුක විපාක උපෙක්ඛා සහගත සම්පටිච්ඡන චිත්තය යි. ඒ චිත්ත වීථීන්හි චක්ඛුවිඤ්ඤාණ සෝතවිඤ්ඤාණාදි සිත්වලට අනතුරු වැ මේ සිත් දෙක උපදී. එයින් සම්පටිච්ඡන කෘත්‍යය කෙරෙයි.

17. සන්තීරණ කෘත්‍යය කෙරෙන සිත් තුනෙකි. එනම්, අකුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණය ද කුසල අහේතුක විපාක සෝමනස්ස සහගත සන්තීරණය හා උපෙක්ඛා සහගත සන්තීරණය යන මොහු යි. ඒ ඒ චිත්ත වීථීන්හි සම්පටිච්ඡනයට අනතුරු වැ මේ සිත් උපදී. ඔවුන්ගෙන් සන්තීරණ කෘත්‍යය කෙරෙයි. කුසල විපාකාවස්ථායෙහි දී අනිෂ්ටාරම්මණයෙහි සන්තීරණය සෝමනස්ස වන සැටි ද ඉෂ්ට මධ්‍යස්ථාරම්මණයෙහි උපෙක්ෂා සහගත වන සැටි ද යට කියන ලද මැයි.

18. වොත්‍ථපන කෘත්‍යය කෙරෙන සිත් එකෙකි. එ නම්, මනොද්වාරාවර්ජනය යි. මෙය පංචද්වාරයෙහි ලා වොත්‍ථපන නමින් ද, මනොද්වාරයෙහි ලා මනොද්වාරාවර්ජන නමින් ද පළ වේ. පඤ්චද්වාරයෙහි සන්තීරණයට අනතුරු වැ ද මනොද්වාරයෙහි භවාඞ්ගයට අනතුරු වැ ද උපදී.

19. ජවන කෘත්‍යය කෙරෙන සිත් පස්පණසෙ (55) කි. එනම් අකුසල සිත් 12 ය, සෝමනස්ස සහගත හසිතුප්පාදය, කාමාවචර කුසල් අට හා එම සහේතුක ක්‍රියා අටය, රූපාවචර කුසල පස හා එම ක්‍රියා පසය, අරූපාවචර කුසල සතර හා එම ක්‍රියා සතරය, ලෝකොත්තර කුසල සතර හා එම ඵල සතරය යන මොහු යි. පඤ්චද්වාරයෙහි වොත්‍ථපනයට අනතුරු වැ ද මනොද්වාරයෙහි මනොද්වාරාවර්ජනයට අනතුරු වැ ද මේ සිත් පහළ වේ. සියලු අකුසල් ද සියලු කුසල් ද ආවර්ජන දෙක හැර සෙසු සියලු ක්‍රියා ද ඵල සතර ද ජවන කෘත්‍ය කරන්නේය යි දතයුතු, විස්තර මතු පළ වේ.

20. තදාරම්මණ කෘත්‍යය කෙරෙන සිත් එකොළොසෙකි. එනම් සන්තීරණත්‍රය හා කාමාවචර මහා විපාක අටය. මොව්හු අතිමහත්තාලම්බන චිත්ත වීථියෙහි ජවනයන්ට අනතුරු ව උපදිත්. විස්තර මතු පළ වේ.

21. ච්‍යුති කෘත්‍යය කෙරෙන සිත් එකුන් විස්සෙ (19) කි. යම් සිතකින් ප්‍රතිසන්ධි කෘත්‍යය විණි නම් එ් සිතින් ම භවාඞ්ග කෘත්‍යය ද වන්නේ ය යි යට කියන ලදි. ඒ සිතින් ම චුති කෘත්‍යය ද වන බව මෙහි දී දත යුතු යි. එබැවින් ප්‍රතිසන්ධි කෘත්‍යය කෙරෙන සිත් එකුන් විස්සෙන් ම ච්‍යුති කෘත්‍යය ද කෙරෙන්නේ ය. ඒ සිතින් ම ය යි කී කල ඒ සමාන සිත් ගත යුතුයි. ඒ බෙහෙත ම දෙව යි කී කල ඒ සමාන බෙහෙත් ගන්නාක් මෙනි.

වීථි පාදය ඉගෙනීමෙන් මේ කෘත්‍ය පිළිබඳ විශේෂ අවබෝධයක් ලැබෙන බව සැලකිය යුතු යි.

ප්‍රශ්න.

  1. ආවර්ජන කෘත්‍ය කෙරෙන සිත් දෙක දක්වනු.
  2. දස්සන, සවණ, ඝායන, සායන, ඵුසන, කෘත්‍ය කෙරෙන සිත් දක්වනු.
  3. සන්තීරණ වොත්‍ථපන කෘත්‍ය කෙරෙන සිත් කවරහු ද?
  4. ජවන සිත් 55 දක්වනු.
  5. තදාලම්බන සිත් කීයද? කවරහු ද?