විපාක දෙන ආකාර වශයෙන් ද විපාක දෙන කාල වශයෙන් ද කර්ම චතුර්විධ වූ සැටි යට දැක්විණි. විපාක දෙන ස්ථාන වහයෙන් චතුර්විධ වන සැටි මෙහි දක්වනු ලැබේ.
ඇතැම් කර්ම අපාය භූමියෙහි ද ඇතැම් කර්ම කාමසුගති භූමියෙහි ද ඇතැම් කර්ම රූපාවචර භූමියෙහි ද ඇතැම් කර්ම අරූපාවචර භූමියෙහි ද විපාක දෙන්නේ ය. එබැවින් කර්ම වනාහි අකුශලකර්ම, කාමාවචර කුශලකර්ම, රූපාවචර කර්ම, අරූපාවචර කර්මය යි විපාක දෙන ස්ථාන වශයෙන් චතුර්විධ වේ.
ඔවුන් අතුරෙන් අකුශල කර්ම වනාහි කායකර්ම, වාක් කර්ම, මනඃකර්මය යි කර්මද්වාර වශයෙන් ත්‍රිවිධ වේ. කායද්වාරයෙහි පැවැතියේ කායකර්මය. වාග්ද්වාරයෙහි පැවැතියේ වාක්කර්මය. මනොද්වාරයෙහි පැවැතියේ මනඃ කර්ම යි.
පාණාතිපාත, අදින්නාදාන, කාමමිථ්‍යාචාර යන තුන බොහෝ සෙයින් කායද්වාරයෙහි පවත්නා බැවින් කාය කර්ම යි. බොහෝ සෙයිනැයි කීයේ පාණාතිපාත, අදින්නාදාන ඇතැම් විට වාග්ද්වාරයෙහි ද සිද්ධ විය හැකි බැවිනි.
ප්‍රාණ යනු සම්මති වශයෙන් සත්ත්‍ව වේ. පරමාර්ථ වශයෙන් ජීවිතෙන්‍ද්‍රිය යි. සත්ත්‍වයකුගේ ස්වාභාවික පතනය වළකා අතිපතනය-ප්‍රයෝග බලයෙන් හෙළාලීම-මැරීම ප්‍රාණාතිපාතය. එහිලා උපදන චේතනා ප්‍රාණාතිපාත අකුශලකර්මය යි දත යුතු. සතකු වන බව, සතකු බව දන්නා බව, මරණ සිත, උපක්‍රම කිරීම, මැරීම එහි අඞ්ගයි. උපක්‍රම සම්බන්‍ධයෙන් සාහත්‍ථික ආණත්තික නිස්සග්ගිය ථාවර සෘද්ධිමය විද්‍යාමය ය යි ප්‍රයොග සයෙකි. තමා විසින්ම මැරීම සාහත්‍ථිකය. අනුන් ලවා මැරවීම ආණත්තිකය. පොලු ආදිය දමා ගැසීමෙන් වෙඩිතිබීම් ආදියෙන් මැරීම නිස්සග්ගිය බොරු වළවල් කැණීම් ආදියෙන් මැරීම ථාවරය. සෘද්ධිබලයෙන් මැරීම සෘද්ධිමය ය. මන්ත්‍ර පිරුවීම් ආදියෙන් මැරීම විද්‍යාමය ය. මේ කවර ප්‍රයෝගයකින් හෝ සතකු මරන්නහුට ප්‍රාණාතිපාත කර්මපථය වේ. ආණත්තික වශයෙන් සිද්ධවන බැවින් වාග්ද්වාරයෙහි ද ඇතුළත් වන්නේ ය.
අදින්න යනු නුදුන් දෙය. ආදාන යනු ගැන්ම. හිමියන් විසින් තමන් වෙත නුදුන් දෙය ගැන්ම හෙවත් සොරකම් කිරීම අදින්නාදානය යි. එහි ලා උපදින චේතනාව අදින්නාදාන අකුශල කර්මය යි දත යුතු. අන්සතු දෙයක් වීම, අන්සතු බව දැනීම, සොරසිත, උපක්‍රම කිරීම, ගැනීම එහි අඞ්ගයි. එහිදු උපක්‍රම වනාහි ආදියන හරණ අවහරණාදි වශයෙන් නානාවිධ ය. ඒ කවර විධියකින් හෝ අන්සතු දෙය සොරා ගන්නහුට අදින්නාදාන කර්මපථය වේ. මේ ද ආණත්තික වශයෙන් සිද්ධ වන බැවින් වාග්ද්වාරයෙහි ද ඇතුළත් වන්නේ ය.
කාම යනු මෙහි ස්ත්‍රීපුරුෂයි. මිච්ඡාචාර නම් වරදවා හැසිරීම යි. පුරුෂයන්ට පරස්ත්‍රී සෙවනයෙහි ද ස්ත්‍රීන්ට පර පුරුෂ සේවනයෙහි ද උපදින ආස්වාද චේතනාව කාමමිථ්‍යාචාර අකුසලකර්මය යි. පර ස්ත්‍රියක් හෝ පරපුරුෂයකු වීමය. සෙවන චිත්තය, උපක්‍රමය, අධිවාසනය යි මෙහි අඞ්ග සතරෙකි. පර ස්ත්‍රීහු නම් ස්වකීය භාර්යාව හැරැ මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතාපිතුරක්ඛිතා භගිනිරක්ඛිතා භාතුරක්ඛිතා ඤාතිරක්ඛිතා ගොත්තරක්ඛිතා ධම්මරක්ඛිතා සාරක්ඛාසපරි දණ්ඩා යන දසදෙන ද, ධනක්කීතා ඡන්‍දවාසිනී භොගවාසිනී පටවාසිනී ඔදපත්තකිනි ඔහතචුම්බටා දාසිභරියා කම්මකාරිභරියා ධජාහටා මුහුත්තිකා යන දසදෙන ද යන විසි ස්ත්‍රීහු යි. මොවුන් අතුරෙන් කවර ස්ත්‍රියක සමග හෝ මෙවුන්දම් සෙව්නා පුරුෂහට කාමමිථ්‍යාචාර අකුශලකර්ම පථය වේ. මාතුරක්ඛිතාදි අට දෙනහට පර පුරුෂ සේවනයෙහි කර්මපථය නොවේ. ඔවුන්ගේ ස්පර්ශ පිළිබඳ ස්වාමීන් නැති බැවිනි. මව විසින් රක්නා ලද්දි මාතුරක්ඛිතාය. පියා විසින් රක්නා ලද්දී පිතුරක්ඛිතාය, සහෝදරිය විසින් රක්නා ලද්දී භගිනි රක්ඛිතාය, සහෝදරයා විසින් රක්නා ලද්දී භාතුරක්ඛිතාය, නෑයන් විසින් රක්නා ලද්දී ඤාතිරක්ඛිතාය, සගොත්‍රයන් විසින් රක්නා ලද්දී ගොත්ත රක්ඛිතාය, සහධාර්මිකයන් විසින් රක්නා ලද්දී ධම්මරක්ඛිතාය. ගැබ සිටිය දී හෝ වේවා මෝ මාගේය යි ආරක්‍ෂා කරන ලද්දී සාරක්ඛාය, අසවල් ස්ත්‍රිය කරා ගිය හොත් මෙ තෙක් දඩයයි නියම ලද්දී සපරිදණ්ඩාය, ධනය දී ගන්නා ලද්දී ධනක්කිතාය, සිය කැමැත්තෙන් ප්‍රිය වූ පුරුෂයා ළඟ වසන්නී ඡන්‍දවාසිනීය, වස්ත්‍රය මාත්‍රයෙන් භාර්යා බවට එළඹෙන්නී පටවාසිනීය, පැන් තලිායෙහි අත් බහා මේ ජලය මෙන් එක්වැ වසමුය යි එක්වූවා ඔදපත්තකිනීය, දර දිය අදින්නීය, හිසින් සුඹුළුව බිම බහා බිරින්ද බවට ගත්තී ඔහතචුම්බටාය, දාසි වැ භාර්යා වූවා දාසිභරියාය, බැළමෙහෙ කරන්නී වැ භාර්යාවූවා කම්මකාරී භරියාය, යුද සෙනග පිරිවරා ගොස් පරවිෂයයෙන් ගෙන එන ලද්දී ධජාභටාය, ඇසිල්ලකට බිරින්ද බවට ගත්තී මුහුත්තිකාය, මේ කායද්වාරික මැ යි සුරාමේරය පානය ද කාමමිථ්‍යාචාරයෙහි අන්තර්ගත බැව් කියන ලදි.
මුසාවාද පිසුණාවාචා ඵරුසවාචා සම්ඵප්පලාප යන සතර බොහෝ සෙයින් වාග්ද්වාරයෙහිා පවත්නා බැවින් වාක් කර්ම යි. බොහෝ සෙයිනැ යි කීයේ ඇතැම්විට කායද්වාරයෙහි ද සිද්ධවිය හැකි බැවිනි.
මුසා නම් අසත්‍ය-බොරු, වාද නම් කීම. නුදුටු දේ දිටිමි යි ද දුටු දේ නො දිටිමියි ද, ඇසූ දේ නො ඇසිමි යි ද නො ඇසූ දේ ඇසීමි යි ද, දත් දේ නො දත්මි යි ද නො දත් දේ දත්මි යි ද විසංවාදන පෙරටු වැ කියන්නාහු පිළිබඳ උපදින අකුශල චේතනා මුසාවාද යි. අභූත වස්තුය, විංසවාදන සිතය, ව්‍යායාමය, අන්‍යයන් එය දැනැ ගැන්ම ය යි මෙහි අඞ්ග සතරෙකි. අන්‍යයන්ගේ අර්ථහඤ්ජකත්‍වයෙන් මෙය කර්මපථ වේ. නො එසේවුව කර්ම මැ යි. කර්මපථ නම් ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්ති යන උභය විපාක ම දෙන බව ය. කර්ම වනාහි ප්‍රවෘත්ති විපාක පමණක් දෙන්නේ ය. ලිවීම් හස්තමුද්‍රා ආදි වශයෙන් මෙය කායද්වාරයෙහි ද සිද්ධවිය හැකි ය.
පිසුණාවාචා නම් ප්‍රියභාවය ශූන්‍ය කරන කථාය, සමගියෙන් සිටින්නවුන්ගේ සමගිය බිඳුවන අටියෙන් ඔවුනොවුන්ට කේලාම් කීම පිළිබඳ වැ උපදින චේතනා පිසුණාවාචා අකුශලය යි. ඔවුනොවුන් බිඳුන කල්හි කර්මපථ වේ. නො එසේ වුව කර්ම යි. බින්ද යුතු අන්‍යයන් වීමය. භේදයෙහි කැමැත්තය, උපක්‍රමය, අන්‍යයන් තමා බස් ඇදහීමය යි මෙහි දු අඞ්ග සතරෙකි.
ඵරුස යනු අසන්නවුන්ගේ හෘදය පෙළන කථාය. වාචා යනු කීමය. අන්‍යයන්ගේ මර්මච්ඡෙකදර කථා කියන්නහුට ඒ පිළිබඳ වැ උපදින චේතනා පරුෂවාචා අකුශලයයි. ආක්‍රොශ කරනු ලබන අන්‍යයෙකු වීමය, කෝපය, ආක්‍රෝශ කිරීමය යි මෙහි අඞ්ග තුනෙකි. සම්මුඛයෙහි ආක්‍රෝශයෙන් කර්මපථය ද, අසම්මුඛයෙහි ආක්‍රෝශයෙන් කර්මයද වන්නේ ය යි ඇතැම්හු කියත්.
සම්ඵ යනු හිත සුව විනාශ කරන කථා ය. පලාප යනු දෙඩීම ය. අසන්නවුන්ගේ හිත සැප විනාශ කරන කථා කරන්නහුට ඒ පිළිබඳ වැ උපදින චේතනා සම්ඵප්පලාප අකුශලයි. නිරර්ථක කථා වන බවය, කීමය යි මෙහි අඞ්ග දෙකෙකි. අන්‍යයන් ඒ නිරර්ථක කථා සත්‍ය වශයෙන් ගත් කල්හි කර්මපථ වේ. නො ගත් කල්හි කර්ම මැ යි. අර්ථ ධර්ම විනය නිශ්‍රිත කොට කථාකරන්නහුට අකුශල නැති.
පිසුණවාචා ඵරුසාවාචා සම්ඵප්පලාප ලිවීම ආදියෙන් සිද්ධ විය හැකි බැවින් කායද්වාරයෙහි ද වන්නේ ය.
අභිධ්‍යා ව්‍යාපාද මිථ්‍යාදෘෂ්ටි සිත්හි ම උපදනා බැවින් මනඃකර්ම යි.
ආස්වාද මාත්‍රයෙහි නො සිටැ පරසතු දේ තමහට පිරිනමා ගැන්ම සඳහා සිතන්නහුට ඒ පිළිබඳ වැ උපදින චේතනා අභිධ්‍යා යි. පර සතු දෙයක් වීමය, ඒ මට වේවායි සිතීමය යි මෙහි අඞ්ග දෙකෙකි. පරසතු භාණ්ඩ තමහට නතු කැරැ ගැන්ම සඳහා සිතීම කර්මපථ ය. පරසතු භාණ්ඩයෙහි ආස්වාද මාත්‍රය කර්ම යි.
මැසි මදුරු ආදී සතුන් උදෙසා හෝ ඔවුහු නැසෙත්වා වැනසෙත්වා යනාදීන් සිතන්නහුට ඒ පිළිබඳ වැ උපදින චේතනා ව්‍යාපාදයි. සත්ත්‍වයකු වන බවය, ඔහුගේ විනාශය රිසිවන බවය යි මෙහි අඞ්ග දෙකෙකි. නැසෙත්වා යනාදීන් සිතීම කර්මපථ ය. කෝපවීම් මාත්‍රය කර්ම යි.
මිච්ඡාදිට්ඨි නම් වරදවා ගන්නා ලබ්ධිය යි. දීමෙහි විපාක ඇත්තේ ය. යනාදි සත්පුරුෂ ධර්මය බිඳැ, දීමෙහි විපාක නැත්තේය. යනාදීන් එයට විපරීත වශයෙන් සිතන්නහුට ඒ පිළිබඳ වැ උපදින චේතනා මිච්ඡාදිට්ඨි යි. වැරදි ලබ්ධිය, එය එසේ ගැන්මය යි මෙහිදු අඞ්ග දෙකෙකි. අහේතුක අකිරිය. නාස්තික දෘෂ්ටි කර්මපථ යි. සක්කායදිට්ඨි ආදිය කර්ම ය.
ලෝභ දෝස මෝහ යයි අකුසල් සිත් ඉපදීමේ මුල් තුනෙකි. එයින් මෝහය සර්වාකුශල සාධාරණය. සියලු අකුසල් ඉපදීමට මුල් වන්නේය. දෝස ලෝභ වනාහි සමහර අකුසලයන්ට මුල්වේ. එබැවින් යට දැක්වුණු දශ අකුශලයන්ගේ ඒ විශේෂ මූල භේදය ද දත යුතු ය. ඒ මෙසේයි.
පාණාතිපාතා ඵරුසාවාචා ව්‍යාපාද ද්වේෂ මූලයෙන්ම වන්නේ ය. සිනා සෙමින් හෝ ‘අසවලා මරව’යි අණකරන්නහුට ද්වේෂය මුල්වේ. පරුෂ වචනයෙහි හා ව්‍යාපාදයෙහි ද්වේෂමූලකත්‍වය ප්‍රකට මැ යි.
කාමමිථ්‍යාචාර අභිධ්‍යා මිථ්‍යාදෘෂ්ටි ලෝභ මූලයෙන් වන්නේය.
අදින්නාදානා, මුසාවාද, පිසුණාවාචා, සම්ඵප්පලාප යන සෙසු සතර ද්විමූලයෙන් වන්නේය. ලෝභ සිතින් මෙරමා බඩු සොරකම් කැරැ ගන්නා කල ලෝභ මූලික ය. ක්‍රෝධයෙන් පලිගන්නා සිතින් පැහැරැ ගන්නාකල ද්වේෂ මූලිකය, සෙස්ස ද මෙසේ යි.
චිත්තොත්පාද වශයෙන් බලත් හොත් මේ දස අකුශල “සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත” යනාදි වශයෙන් දොළොස් ආකාර වේ. එහි විස්තර මුල කියන ලදි.
ප්‍රශ්න.
- විපාක දෙන ස්ථාන වශයෙන් කර්ම කී වැදෑරුම් ද? ඔහු කවරහු ද?
- ද්වාර භේදයෙන් අකුශල කී වැදෑරුම් ද? කවරහු ද?
- ත්‍රිවිධ ද්වාරයෙහි සිදුවන අකුශල දක්වා ඔවුන් පිළිබඳ විස්තරයක් දෙනු.
- කර්ම-කර්මපථ යන දෙක්හි විශේෂය දක්වනු.
- ත්‍රිමූලික අකුසල් ඇත්තේ ද? අකුශල පිළිබඳ මූල භේදය දක්වනු. එය සිත් වශයෙන් කෙසේ ද?