8. රූප සමුට්ඨාන.

යට පාඩමින් රූප විභාගය දක්වන ලද්දේ ය. මෙහි රූප සමුට්ඨානය දක්වනු ලැබේ. රූප සමුට්ඨාන නම් රූප හට ගැන්මේ හේතු ය.

(අ) කර්ම, (ආ) චිත්ත, (ඉ) සෘතු (ඊ) ආහාරය යි රූප සමුට්ඨාන සතරෙකි. (අ) කර්ම නම් චේතනා ය. එය වනාහි පට්ඨානයෙන් නා නා ක්‍ෂණික කර්ම ප්‍රත්‍යය යි වදාළේ ය. “නානාක්ඛණිකා කුසලාකුසල චෙතනා විපාකා නං ඛන්‍ධානං කටත්තා ච රූපානං කම්මපච්චයෙන පච්චයො” නානාක්‍ෂණික කුශලාකුශල චේතනා විපාක ස්කන්‍ධයන්ට ද කර්මජ රූපයන්ට ද කර්ම ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වන්නේ ය. යනු එහි අර්ථ යි. නානාක්‍ෂණික නම් සහජාත නොවන බව යි. පූර්ව ජන්මයෙහි සිද්ධ බව ය.

(අ) රූප උපදවන කර්ම නම් අකුසල දොළොස, කාමාවචර කුසල අට, රූපාවචර කුසල පස යන පස්විස්ස ය. මොව්හු අභිසංස්කරණය කරන ලද්දෝ තමාගේම මතු ජන්ම පිළිබඳ ප්‍රතිසන්‍ධියෙහි පටන් එක් එක් චිත්තයක් පිළිබඳ උත්පාද ස්ථිති භඞ්ග යන අවස්ථාත්‍රයයෙහි කර්මජ රූප නිපදවති. අභිසංස්කරණය කිරීම නම් මතු විපාක හා රූප ලැබෙන හැටියට පිළියෙල කිරීම ය. කර්මජ රූප මතු දැක්වේ. චිත්තයන්ට විනා රූපයන්ට විපාක ව්‍යවහාරය නො ලැබේ. කර්මයෙන් හටගන්නා රූපයන්ට කර්මජ රූපයයි ද කටත්තා රූපය යි ද කියනු ලැබේ. චිත්තයන්ගේ උත්පාද ක්‍ෂණයෙහි පමණක් කර්මජ රූප උපදිති. ස්ථිති භඞ්ගක්‍ෂණයන්හි නූපදිතියි ඇතැම් ආචාර්යවරයෝ කියත්. අරුපාවචර කුසල රූප නූපදවන්නේ ය. රූප විරාගය පිණිස ම වඩන ලද බැවිනි.

(ආ) චිත්ත නම් සසම්ප්‍රයුක්ත සිත් ය. “හෙතු හෙතු සම්ප්‍රයුක්තක නං ධම්මානං තං සමුට්ඨානානංච රූපානං හේතු පච්චයෙන පච්චයො” යනු පට්ඨාන පාළි යි. හේතු හේතු සම්ප්‍රයුක්ත ධර්මයන්ට ද තත් සමුට්ඨාන රූපයන්ට ද හේතු ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ යනු එහි අර්ථ යි. මෙයින් සම්ප්‍රයුක්තයන්ගෙන් ද රූප උපදවන බව දත යුතු ය.

රූප උපදවන චිත්ත නම් අරූප විපාක දෙපස් විඤ්ඤාණ යන තුදුස් සිත් හැරැ සෙසු පන් සැත්තෑ සිත් ය. ඔව්හු ප්‍රතිසන්‍ධියට අනතුරු වැ ලැබෙන භවාඞ්ගයෙහි පටන් එක් එක් චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි චිත්තජ රූප උපදවන්නේය. චිත්තයෝ ස්ථිති භඞ්ග ක්‍ෂණයන්හි රූප උපදවන්නට අසමර්ථ වෙති. චිත්තජ රූප මතු දැක්වේ. අරූප විපාක සිත් රූප නූපදවන්නේ අරූප භූමි බැවිනි. එතෙක් ද? එහිදී උපදින සසාළිස් සිත් ම රූප නූපදවයි. ප්‍රතිසන්‍ධියෙහි රූප නැති බැවින් රූප බීජයාගේ ම අවිද්‍යමානත්‍වය ඊට හේතු යි. දෙපස් විඤ්ඤාණ රූප නූපදවන්නේ එහි ධ්‍යානාඞ්ග නො යෙදෙන බැවිනි. ධ්‍යානාඞ්ගයො රූප ඉපදවීමෙහි විශේෂ හේතූහු යි.

තවද පසළොස් කාම රූප ප්‍රතිසන්‍ධි සිත් ද ක්‍ෂීණාශ්‍රවයන්ගේ චුති සිත ද රූප නූපදවයි. එසේ වුව ද ඔව්හු භවඞ්ග වශයෙන් ද චුති වශයෙන් ද පවත්නා විට රූප උපදවන බැවින් මෙහි නො හැරැ ගන්නා ලදැයි දත යුතු. ප්‍රතිසන්‍ධි සිත් රූප නූපදවන්නේ වස්තු දුර්වලත්වයෙනි. ඇතැම්හු සියල්ලන්ගේ ම චුති සිත් රූප නූපදවන්නේ ය යි කියත්.

යට දැක්වුණු පන්සැත්තෑ සිත් අතුරෙන් අභිඥාද්වය හැරැ සවිසි වැදෑරුම් අර්පණා පවන් රූප උපදවනු පමණක් නොවේ. ඉරියව්වලට ද උපස්ථම්භනය කරන්නේ ය. මෙහි ඉරියව් වශයෙන් ගත යුත්තේ ගමන හැරැ සෙසු සිටුම්, හිඳුම්, නිදුම්ය යි කියනු ලැබේ. ගමන විඤ්ඤත්තියෙහි ඇතුළත් බැවිනි. අර්පණා ජවන් විඤ්ඤත්ති නූපදවන්නේය.

වොත්‍ථපන කාමාවචර ජවන අභිඥා යන විඤ්ඤත්ති ද උපදවන්නේ ය. වොත්‍ථපන නම් මනොද්වාරාවර්ජන යි. කාමාවචර ජවන නම් අකුසල් දොළොස කාමාවචර කුසල අට මහා ක්‍රියා අට හා හසිතුප්පාද යි. අභිඥා නම් පඤ්චමජ්ඣානකුසල හා එම ක්‍රියා යි විඤ්ඤත්ති නම් කාය වචී විඤ්ඤත්ති යි.

සෝමනස්ස ජවන තෙළෙස සිනා ද උපදවන්නේ ය. සෝමනස්ස ජවන් තෙළෙස නම් ලෝභ මූලික සෝමනස්ස සහගත අකුශල සතර ය. සෝමනස්ස සහගත කාමාවචර කුසල සතර ය. එසේ ම මහා ක්‍රියා සතර ය, හසිතුප්පාද ය යන මොහු යි. එයින් කුසලාකුසල අටින් පෘථග්ජනයෝ ද, දිට්ඨිවිප්පයුත්ත අකුසල දෙකින් හා සෝමනස්ස කුසල සතරින් ශෛක්‍ෂයෝ ද ක්‍රියා පසින් රහත්හු ද සිනාසෙති. ඉනිදු හසිතුප්පාදය අනෞදාරිකාරම්මණයෙහි ය.

(ඉ) සෘතු නම් ශීත උෂ්ණ සංඛ්‍යාත තේජෝ ධාතු ය. එය ස්ථිති ප්‍රාප්ත වූයේ අධ්‍යාත්ම බාහිර දෙක්හි ම සුදුසු පරිදි රූප උපදවන්නේ ය. ස්ථිති ප්‍රාප්ත නම් උත්පාද භඞ්ගාවස්ථානයෙහි නො වැ ස්ථිති අවස්ථායෙහි ම තේජෝධාතුව රූප උපදවන බව කී නියා ය. සුදුසු පරිදි නම් ලැබෙන පරිදි අජ්ඣත්තික සන්තානයෙහි උතුජ කලාප සතර ම ලැබේ. බාහිරයෙහි සුද්දට්ඨක සද්දනවක දෙක ලැබේ. උතුර රූප හා උතුජ රූප කලාප මතු දැක්වේ.

(ඊ) ආහාර නම් ඔජා ය. ඒ ඔජා සංඛ්‍යාත ආහාර අනුභව කරන කාලයෙහි තැන්පත් වූයේ ම ආහාර සමුට්ඨාන රූප උපදවන්නේ ය. තැන්පත් වූයේය යි කියන ලද්දේ ස්ථිති අවස්ථාව සඳහා ය.

ඔජා වනාහි කර්මසමුත්‍ථානාදි වශයෙන් චතුර්විධ වූ අධ්‍යාත්මික ඔජා ය, අසිත පීත ඛායිත සායිත වශයෙන් චාතුර්විධ වූ බාහිරගත ඔජාය යි ද්විවිධ වේ. ඒ ද්විවිධ ඔජා ම සංසර්ග වශයෙන් ලබන ලද උපස්ථම්භ ඇත්තේ ම ආහාරජ රූප උපදවන බැවින් අනුභව කරන කාලයෙහි ය යි කියන ලදී. මෙහි අනුභව කරන කාලයෙහි ය යි කියන ලද්දේ බලවත් අවස්ථාව ගෙනැ ය මෑණියන් වැළඳූ ආහාරය ගැබ හුන් දරුවාගේ ශරීරයෙහි පැතිර රූප උපදවන්නේය. එසේ ම ඇඟ ගැල්වූ ආහාර ද රූප උපදවන්නේ ය. ආහාරය මුඛයෙහි තුබූ ඇසිල්ලෙහි ම රූප අටක් උපදවන බව ද සැරීමේ දී එක් එක් බත්තුලකින් රූප අට අට උපදින බව ද කියා තිබේ.

කර්මජාදි චතුර්විධ රූප සංඛ්‍යාව මෙසේ ය.

යට දැක්වුණු අටවිවසවි රූප අතුරෙන් හදය ඉන්ද්‍රිය රූපයෝ කර්මජයෝ මැ ය. හදය නම් හෘදය වස්තු රූපය, ඉන්ද්‍රිය නම් චක්‍ෂුරාදි පංචප්‍රසාද හා ස්ත්‍රීභාව පුරුෂභාව හා ජීවිතින්ද්‍රිය. මේ රූප නවය කර්ම හේතුයෙන් ම හටගන්නේය. චිත්ත සෘතු ආහාර හේතුයෙන් භව නොගන්නේ ය. සිත ප්‍රසන්න කල්හි ඉන්ද්‍රියයන්ගේ ප්‍රසන්නත්‍වය සිද්ධවිය හැකිය. එහෙත් ඉන්ද්‍රිය චිත්තජ නො වේ. කර්මජ රූප උපුල් පියුම් මෙන් ද කර්මය එහි බීජ මෙන් ද චිත්ත සෘතු ආහාර ජල හා මඩ ආදිය මෙන් ද සැලකිය යුතුය. එකක් ප්‍රසන්න කල්හි අන්‍යයන්ගේ ද ප්‍රසන්නත්වය සිද්ධ වේ. සහචරිත බැවිනි.

විඤ්ඤත්ති ද්වය චිත්තජ ම ය. විඤ්ඤත්ති ද්වය නම් කාය විඤ්ඤත්ති හා වචී විඤ්ඤත්ති ය. එය චිත්තයෙන් ම හට ගනී. කර්මයෙන් හෝ සෘතුයෙන් හෝ ආහාරයෙන් හෝ නො හට ගනී.

ශබ්ද චිත්තජ හා සෘතුජ ය. ඉනි දු සවිඤ්ඤාණක ශබ්ද චිත්තයෙන් ද අවිඤ්ඤාණක මෙඝ ශබ්දාදිය සෘතුයෙන් ද හටගන්නේ ය යි දත යුතු යි. නිධිකණ්ඩ සූත්‍රයෙහි “සුවණ්ණතා සුස්සරතා” යි දාන ඵල වශයෙන් සුස්වරත්වය වදාළේ ය. එහෙත් එය කර්මජ නොවේ.

ලහුතා මුදුතා කම්මඤ්ඤතා යන රූපත්‍රය සෘතුයෙන් ද චිත්තයෙන් ද ආහාරයෙන් ද හටගන්නේ ය. කර්මයෙන් නො හට ගන්නේ ය.

අවිනිර්භෝග රූප හා ආකාශ ධාතුව කර්මාදි සතරින්ම හටගන්නේ ය. අවිනිර්භෝග රූප නම් පඨවි, ආපො, තේජො, වායු, වර්ණ, ගන්‍ධ, රස, ඔජා යන අට යි. මේ රූප නවය චතුජයි.

ලක්‍ෂණ රූප කර්මාදීන් අතුරෙන් කුමකිනුදු නො හට ගන්නේ ය. ලක්‍ෂණ රූප නම් උපචය සන්තති ජරතා අනිච්චතා යි. මෙසේ ගත් කල්හි කර්මජ රූප සියල්ල අට ලොසෙකි. එනම් එ්කාන්ත කර්මජ වූ හදය ඉන්ද්‍රිය රූප නවය හා චතුජ වූ අවිනිර්භෝග ආකාශ යන නවය යි. පෘථිවි, අප්, තේජස්, වායු, වණ්ණ, ගන්‍ධ, රස, ඔජා, ආකාශ, චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය, ඉත්‍ථින්‍ද්‍රිය, පුරිසින්ද්‍රිය, ජීවිතින්‍ද්‍රිය, හදයවත්‍ථු යන අටළොස් රූප කර්මජය යි කී නියා යි.

චිත්තජ රූප සියල්ල පසළොසෙකි. එනම් ඒකාන්ත චිත්තජ වූ විඤ්ඤත්තිද්වය හා ශබ්ද, ලහුතාදි තුන, අවිනිර්භෝග ආකාශ යන මොහු යි. පඨවි, ආපො, තේජො, වායු, වණ්ණ, ගන්ධ, රස, ඔජා, ආකාශ, කාය විඤ්ඤත්ති, වචී විඤ්ඤත්ති, ශබ්ද, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා යන රූප පසළොස චිත්තජ රූපය යි කී නියා යි.

සෘතුජ රූප සියල්ල තෙළෙසකි. එනම් ශබ්දය, ලහුතාදි ත්‍රිකය, අවිනිර්භෝග රූප ආකාශය යන මොහු යි. පඨවි, ආපො, තේජො, වායු, වණ්ණ, ගන්ධ, රස, ඕජා, ආකාශ ශබ්ද, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා යන තෙළෙස සෘතුජ රූපය යි කී නියා යි.

ආහාරජ රූප සියල්ල දොළොසෙකි. එනම් ලහුතාදී ත්‍රිකය, අවිනිර්භෝග, ආකාශ යන මොහු යි. පඨවි, ආපෝ, තේජො, වායො, වණ්ණ, ගන්ධ, රස, ඔජා, ආකාශ ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා යන දොළොස ආහාරජ රූපය යි කී නියා යි.

“අට්ඨාරස පණ්ණරස තෙරස ද්වාදසාති ච

කම්ම චිත්තොතුකාහාර ජාති හොන්තී යථාක්කමං”.

පිළිවෙලින් කර්මජ රූප අටළොසෙකි. චිත්තජ රූප පසළොසෙකි. සෘතුජ රූප තෙළෙසකි. ආහාර රූප දොළොසෙකි. යනු එහි භාව යි.

“ජායමානාදිරූපානං සභාවත්තා හි කෙවලං

ලක්ඛණානි න ජායන්ති කෙහි චිති පකාසිතං”

උච්චය, සන්තති, ජරතා, අනිච්චතා යන සතර ජායමානාදි රූපයන්ගේ ස්වභාව හෙයින් කුමකිනිදු නො හට ගනී ය යි කියන ලදි. ජායමාන නම් උපදනා.

ප්‍රශ්න.

  1. රූප සමුට්ඨාන කෙතෙක් ද? කවරහු ද? එකක් එකක් බැගින් පැහැදිලි කරනු.
  2. කම්මසමුට්ඨාන කෙතෙක් ද? කවරහු ද?
  3. චිත්තසමුට්ඨාන රූප කෙතෙක් ද? කවරහු ද?
  4. සෘතු, ආහාර සමුට්ඨාන රූප කෙතෙක් කෙතෙක් ද? කවර කවරහු ද?
  5. එකජ, ද්විජ, ත්‍රිජ, චතුජ, අජ, රූප බෙදා දක්වනු.