10. බෝධිපාක්‍ෂික සංග්‍රහය (තුදුස) (14) (පන්තිස) (35) වන සැටි.)

බෝධිපාක්‍ෂික ධර්ම සභාග සංග්‍රහ වශයෙන් කොටස් සතකට ද, ස්වභාව ධර්ම වශයෙන් තුදුසකට ද, ප්‍රභේද වශයෙන් පන්තිසකට ද බෙදනු ලැබේ. ඉන් සභාග සංග්‍රහ වශයෙන් කොටස් සතට බෙදෙන සැටි ද එහි විස්තර ද යට දක්වන ලදි. ස්වභාව ධර්ම වශයෙන් තුදුස මෙසේ ය.

බෝධිපාක්‍ෂික ධර්ම වනාහි ස්වභාව ධර්ම වශයෙන් බලතහොත් ඡන්‍දය, චිත්ත, උපෙක්‍ෂා, සද්ධා, පස්සද්ධි, පීති, පඤ්ඤා, විතක්ක, විරිය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සති, එකග්ගතා යි තුදුසෙකි. සත්තිසක් වශයෙන් ප්‍රභේදයට ගියේ මේ තුදුස ය. සංග්‍රහ සතකට බෙදුණේ ඒ සත්තිස ය.

කියන ලද මැ යි.

“ඡන්‍දො චිත්තමුපෙක්ඛා ච සද්ධා පස්සද්ධි පීතියො

සම්මා දිට්ඨි ච සංකප්පො වායාමො විරතිත්තයං

සම්මා සති සමාධීති චුද්දසෙතෙ සභාවතො

සත්තතිංස පභෙදෙන සත්තධා තත්‍ථ ස ගහො” යි.

මින් සංකප්ප, (විතර්ක) පස්සද්ධි, පීති, උපෙක්ඛා, ඡන්ද, චිත්ත, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මේ නවය, එකස්ථානික ය. හෙවත් එක් තැනෙක පමණක් ආයේ ය. ඒ එසේ මැ යි.

1. සංකප්ප. (විතර්කය) මෙය සම්මා සංකප්පය යි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පමණක් ආයේ ය. වෙන තැනෙක නො ආයේ ය.

2. පස්සද්ධි. පස්සද්ධි සම්බොජ්ඣංගය යි සම්බොජ්ඣංග ධර්මයෙහි පමණක් ආයේ ය. වෙන තැනෙක නො ආයේ ය.

3. පීති. පීති සම්බොජ්ඣංග නමින් සම්බොජ්ඣංග ධර්මයෙහි පමණක් ආයේ ය. වෙන තැනෙක නො ආයේ ය.

4. උපෙක්ඛා. උපෙක්ඛා සම්බොජ්ඣංග නමින් සම්බොජ්ඣංග ධර්මයෙහි ආයේ ය. වෙන තැනෙක නො ආයේ ය.

5. ඡන්ද. ඡන්‍දිද්ධිපාද නමින් ඉද්ධිපාද ධර්මයෙහි ආයේ ය. වෙන තැනෙක නො ආයේ ය.

6. චිත්ත. චිත්තිද්ධිපාද නමින් ඉද්ධිපාද ධර්මයෙහි ආයේ ය. වෙන තැනෙක නො ආයේ ය.

7. සම්මා වාචා 8. සම්මා කම්මන්ත, 9. සම්මා ආජීව යන විරති තුන මාර්ගාඞ්ග ධර්මයෙහි ආයේ ය. වෙන තැනෙක නො ආයේ ය. එක ස්ථානිකය යි කීයේ එ හෙයිනි.

විරිය නවස්ථානික ය-හෙවත් නව තැනෙක ආයේ ය. සතර සම්‍යක් ප්‍රධාන, විරියිද්ධිපාද, විරියින්‍ද්‍රිය, විරියබල, විරිය සම්බොජ්ඣඞ්ග, සම්මා වායාම යන මෙ වශයෙන්, එක ම විරිය සම්‍යක් ප්‍රධාන වැ ද, සෘද්ධිපාද වැ ද, ඉන්‍ද්‍රිය වැ ද, බල වැ ද, සම්බොජ්ඣඞ්ග වැ ද, මාර්ගාඞ්ග වැ ද, පවත්නා සැටි මෙයින් අවබෝධ කැරැ ගත යුතු.

සතිය අෂ්ටස්ථානික ය-හෙවත් අට තැනෙක ආයේ ය. සතර සතිපට්ඨාන, සතින්ද්‍රිය, සතිබල, සති සම්බොජ්ඣඞ්ග, සම්මා සති යන මේ වශයෙන් එක මස තිය සතිපට්ඨාන වැ ද, ඉන්ද්‍රිය වැ ද, බල වැද, බොජ්ඣංග වැ ද, මාර්ගාඞ්ග වැ ද පවත්නා සැටි මෙයින් අවබෝධ කැරැ ගත යුතු.

සමාධිය චතුඃස්ථානික ය-හෙවත් සතර තැනෙක ආයේ ය. සමාධින්ද්‍රිය, සමාධි බල සමාධි සම්බොජ්ඣංග සම්මා සමාධි යන මේ වශයෙන්. එක ම සමාධිය (එකග්ගතාව) ඉන්ද්‍රිය වැද බල වැ ද, බොජ්ඣංග වැ ද, මාර්ගාංග වැ ද පවත්නා සැටි මෙයින් අවබෝධ කැරැ ගත යුතු.

ප්‍රඥාව පඤ්චස්ථානික ය-හෙවත් පස් තැනෙක ආයේ ය. වීමංසිද්ධිපාද, පඤ්ඤින්‍ද්‍රිය, පඤ්ඤා බල, ධම්මවිචය සම්බොජ්ඣංග, සම්මා දිට්ඨි යන මේ වශයෙන්. එක ම ප්‍රඥාව සෘද්ධිපාද වැද, ඉන්‍ද්‍රිය වැ ද, බල වැ ද, බොජ්ඣංග වැ ද, මාර්ගාංග වැ ද, පවත්නා සැටි මෙයින් අවබෝධ කැරැ ගත යුතු.

ශ්‍රද්ධාව ද්විස්ථානිකය-හෙවත් දෙ තැනෙක ආයේ ය. සද්ධින්ද්‍රිය සද්ධා බල යන මේ වශයෙන්. එක ම ශ්‍රද්ධාව ඉන්ද්‍රිය වැ ද, බල වැ ද පවත්නා සැටි මෙයින් අවබෝධ කැරැ ගත යුතු යි.

කියන ලද මැ යි.

“සංකප්ප පස්සද්ධි ච පීතුපෙක්ඛා

ඡන්‍දො ච චිත්තං විරතිත්තයං ච,

නවෙකඨානා විරියං නවට්ඨ

සති සමාධි චතුපඤ්ච පඤ්ඤා;

සද්ධා දුඨානු’ත්තම සත්තතිංස

ධම්මානමෙසො පවරො විභාගො” යි.

මේ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම අෂ්ටවිධ ලෝකෝත්තරයෙහි ඒකාන්තයෙන් වන්නේ ය. මාර්ගයෙහි මෙන් ඵලයෙහි ද යෙදෙන බැවිනි. එසේ වුව ද විතර්ක ප්‍රීති වන්නේ ඒ දෙක ඇති විටෙක පමණ ය. ද්විතීය ධ්‍යානිකාදි ලෝකෝත්තර චිත්තයන්හි විතර්කය ද චතුර්ථ පඤ්චමධ්‍යානික ලෝකෝත්තර චිත්තයන්හි ප්‍රීතිය ද නැති බැවිනි.

තව ද ශීල විශුද්ධි ආදි ෂට් විශුද්ධියෙහි දී මේ ධර්ම ලෞකික සිත්හි ද සුදුසු පරිදි යෙදෙන බව දත යුතු. “සුදුසු පරිදිය” යි කීයේ විතර්ක, ප්‍රීති ඇති තැන යෙදෙන බව ද දක්වනු සඳහා ය.

කියන ලද මැ යි.

“සබ්බෙ ලොකුත්තරෙ හොන්ති

නවා සංකප්ප පීතියො

ලොකියෙ පි යථායොගං

ඡබ්බිසුද්ධිප්පවත්තියං” යි.

ප්‍රශ්න.

  1. බෝධිපාක්‍ෂික ධර්ම පිඬු කළ හොත් කෙතෙක් ද? කවරහු ද?
  2. එකස්ථානික බෝධිපාක්‍ෂික නවය දක්වනු.
  3. විරිය, සති, සමාධි, පඤ්ඤා, සද්ධා, කති කති ස්ථානිකද? වෙන් වෙන් කොටැ දක්වනු.
  4. “සබ්බෙ ලොකුත්තරෙ හොන්ති” යනාදි ගාථාවේ අදහස පැහැදිලි කරනු.
  5. ලෝකෝත්තර සිත්හි යෙදෙන අබොධිපාක්‍ෂික දක්වනු. ඔවුන් බෝධිපාක්‍සික නො වන්නට හේතු කිම?