17. අභිඥා වීථි

20 වන පාඩම

දිබ්බචක්ඛු, දිබ්බසෝත, ඉද්ධිවිධ, පරචිත්තවිජානන, පුබ්බේනිවාසානුස්සති, යථාකම්මූපග, අනාගතංස කියා අභිඥා සතක් ඇත්තේ ය. අභිඥා පසක් කියන තැන්වල එසේ කියා ඇත්තේ, යථාකම්මූපග - අනාගතංස අභිඤ්ඤා දෙක දිබ්බචක්ඛු අභිඤ්ඤාවට ම ඇතුළත් කිරීමෙනි. අභිඤ්ඤා වීථියකට පූර්වයෙහි පාදක පඤ්චම ධ්‍යාන සමාපත්ති වීථියක් ද, අධිෂ්ඨාන වීථියක් ද, නැවත පාදකධ්‍යාන සමාපත්ති වීථියක් ද ඇත්තේ ය. අභිඤ්ඤා බලය ඇති කර ගැනීම සඳහා පළමුවෙන් ධ්‍යානය සමවැදිය යුතු ය. අභිඤ්ඤාවට අත්තිවාරම වන බැවින් එයට පාදක ධ්‍යානය යි කියනු ලැබේ.

දිබ්බචක්ඛු අභිඤ්ඤාවෙන් යම් කිසි දුර ඇති දෙයක් දකිනු කැමති අෂ්ටසමාපත්තිලාභියා තේජෝ කසිණ - ඕදාත කසිණ - ආලෝක කසිණයන් අතුරෙන් යම් කිසි කසිණයෙක්හි පඤ්චම ධ්‍යානයට සමවැදෙන්නේ ය. ඉන් පසු එයින් නැඟිට අසවල් දේ පෙනේවා යි ඉටන්නේ ය. ඉටීම් වශයෙන් ඇති වන්නේ කාමජවන වීථියකි. ඉටා නැවතත් පාදක පඤ්චමධ්‍යානයට සමවැදෙන්නේ ය. එයින් නැඟිටීමෙන් පසු ඉටූ රූපය දක්නා අභිඥා වීථිය ඇති වේ. ඒ මෙසේ ය:- පාදකධ්‍යානයෙන් නැඟී සිටියා වූ යෝගාවචරයා හට භවාඞ්ගචලන - භවාඞ්ගෝපච්ඡේදයන්ට අනතුරු ව ඉටූ රූපය අරමුණු කොට මනෝද්වාරාවජ්ජන චිත්තය හා පරිකර්‍ම - උපචාර - අනුලෝම - ගෝත්‍ර‍භූ නාමයෙන් කාමාවචර ජවනයක් සතර වරක් ද ඇති වීමෙන් පසු දුර ඇති රූපය ඇසින් දක්නාක් මෙන් දක්නා අභිඥා චිත්තය එක් වරක් ඉපද නිරුද්ධ වන්නේ ය. ඉන් පසු භවාඞ්ග වේ. මේ දිබ්බචක්ඛු අභිඤ්ඤා වීථිය යි.

මන්දප්‍රාඥයා ගේ දිබ්බචක්ඛු අභිඤ්ඤා වීථිය.

න - ද - ම - ප - උ - අ - ගෝ - අභිඤ්ඤා - භ

තීක්ෂ්ණප්‍රාඥයාගේ වීථිය

න - ද - ම - උ - අ - ගෝ - අභිඤ්ඤා - භ.

දිබ්බචක්ඛු ආදි අභිඤ්ඤාවන්ට පාදක කර ගැනීමට ආලෝක කසිණය වඩා යහපත් බව කියා තිබේ. ඉද්ධිවිධ අභිඤ්ඤාවට පාදක කර ගන්නේ පඨවි කසිණය අරමුණු කරන පඤ්චම ධ්‍යානය යි.

නිරෝධ සමාපත්ති වීථිය

අෂ්ට සමාපත්ති විෂයයෙහි වශී භාවය ඇති කර ගෙන ඉන්නා වූ අනාගාමී වූ හෝ රහත් වූ හෝ පුද්ගලයා නිරෝධ සමාපත්තියට සමවදිනු කැමති කල්හි ප්‍ර‍ථමධ්‍යානයේ පටන් ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය දක්වා ඇති ධ්‍යානයන්ට පිළිවෙළින් සමවදිමින් ඒවායේ සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන් විදර්ශනා කරන්නේ ය. ඉක්බිති නිරෝධ සමාපත්තියේ පූර්ව කෘත්‍යයන් කොට නිම වූ කල්හි භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡේදයන් ගෙන් පසු මනෝද්වාරාවජ්ජන චිත්තය ද පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍ර‍භූ නාමයෙන් කාමාවචර ජවනයක් සතර වරක් හෝ තුන් වරක් හෝ ඇති වීමෙන් පසු නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන චිත්තය ද දෙවරක් ඇති වී, චිත්ත සන්තතිය සිඳෙන්නේ ය.

යෝගාවචරයා බලාපොරොත්තු වූ කාලය මුළුල්ලෙහි සිත් හා චිත්තජ රූප ද නැති ව ඉතිරි රූප පමණක් පැවතී, බලාපොරොත්තු කාලය ඉක්මෙනු සමඟ ම ආවර්ජනයක් නැති ව ම සමවන් පුද්ගලයා අනාගාමියකු නම්, අනාගාමි ඵල චිත්තය ද: අර්හත් පුද්ගලයකු නම්, අර්හත් ඵල චිත්තය ද එක් වරක් උපදින්නේ ය. ඉන් පසු භවාඞ්ග වන්නේ ය. මේ නිරෝධ සමාපත්ති වීථිය ය.