10. අහේතුක සිත් අටළොස

මේ ධර්මයෙහි ලෝභ - ද්වේෂ - මෝහ - අලෝභ - අද්වේෂ - අමෝහ යන චෛතසික ධර්ම සයට හේතු යන නම ව්‍යවහාර කරනු ලැබේ. හේතු යන නාමය ව්‍යවහාර කරන චෛතසික සයෙන් යටත් පිරිසෙයින් එකක් හෝ යෙදෙන සිතට සහේතුක සිතකැ යි කියනු ලැබේ. එක හේතු ධර්මයකුදු නො ලැබෙන සිත්වලට අහේතුක සිත් යයි කියනු ලැබේ. අකුශල විපාකය, කුශල විපාකය, ක්‍රියාය කියා අහේතුක සිත් තුන් කොටසක් ඇත්තේ ය. ඒ සිත්වලට අහේතුක නාමය ව්‍යවහාර කරන්නේ ඒවා යම්කිසි හේතුවක් නැති ව ඉබේ ම ඇති වන ඒවා නිසා නොව, හේතු යන නම ව්‍යවහාර කරන ලෝභාදි ධර්ම සයෙන් එකකුත් ඒ සිත්වල නැති නිසා බව විශේෂයෙන් මතක තබා ගත යුතු ය. (හේතු පිළිබඳ විස්තරයක් මතු පරිච්ඡේදයක එනවා ඇත.) අකුශල විපාක සිත් සතක් ද, කුශල විපාක සිත් අටක් ද, ක්‍රියා සිත් තුනක් ද, ඇති බැවින් අහේතුක සිත් (18) අටළොසක් වේ.

විපාක යනු කුශලාකුශලයන් කළ තැනැත්තාගේ සන්තානයෙහි ඒ කුශලාකුශලයන් නිසා අනාගතයෙහි ඇති වන සිත් ය. කුශලාකුශලයන් ගේ බලයෙන් අනාගතයෙහි ඇති කරවන සිත් ය.

අකුශල විපාක සිත් සත

සාමාන්‍යයෙන් අකුශල විපාකය එකක් වුව ද සිත් උපදනා ස්ථානයන් ගේ වශයෙන් ද, සිත්වලින් සිදුකරන කෘත්‍යයන් ගේ වශයෙන් ද අකුශල විපාක සතක් වේ.

ඇස ය, කන ය, නාසය ය, දිව ය, කය ය, හෘදය රූපය ය කියා සිත් උපදනා ස්ථාන සයක් ඇත්තේ ය. (ඒවා ගැන විස්තර මතු දත හැකි වනු ඇත.) විපාක සිත් අතර ඇසෙහි උපදනා සිත් ද ඇත්තේ ය. කනෙහි උපදනා සිත් ද, නාසයෙහි උපදනා සිත් ද, දිවෙහි උපදනා සිත් ද, කයෙහි උපදනා සිත් ද ඇත්තේ ය. ඒ සිත්වලට උපදනා ස්ථාන අනුව නම් දී තිබේ. හෘදය රූපයෙහි උපදනා සිත් බොහෝ බැවින් ඒවාට උත්පත්ති ස්ථානය අනුව නම් නො දිය හැකි ය. අහේතුක සිත්වල හෘදයෙහි උපදනා සිත්වලට ඒ ඒ සිතින් සිදුකරන කෘත්‍යය අනුව නම් දී තිබේ.

  1. උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය
  2. උපෙක්ඛා සහගත සෝත විඤ්ඤාණය
  3. උපෙක්ඛා සහගත ඝාන විඤ්ඤාණය
  4. උපෙක්ඛා සහගත ජිව්හා විඤ්ඤාණය
  5. දුක්ඛ සහගත කාය විඤ්ඤාණය
  6. උපෙක්ඛා සහගත සම්පටිච්ඡනය
  7. උපෙක්ඛා සහගත සන්තීරණය

මේ සත අකුශල විපාක සිත් ය.

චක්ඛුවිඤ්ඤාණය යන්නෙහි තේරුම, ‘ඇසෙහි උපදනා සිතය’ යනුයි. එයින් ඇස ඉදිරියට පැමිණි රූපයේ දැකීම සිදු කරනු ලැබේ.

සෝතවිඤ්ඤාණය යන්නෙහි තේරුම, ‘කනෙහි උපදනා සිතය’ යනුයි. එයින් කනට පැමිණෙන ශබ්ද ඇසීම කරනු ලැබේ.

ඝාන විඤ්ඤාණය යන්නෙහි තේරුම, “නාසයෙහි උපදනා සිතය” යනුයි. එයින් නාසයට පැමිණෙන ගන්ධයන් දැනගැනීම සිදු කරනු ලැබේ.

කාය විඤ්ඤාණය යන්නෙහි තේරුම, “කයෙහි උපදනා සිතය” යනුයි. එයින් ශරීරයෙහි සිදුවන සැපීම් දැනගනු ලැබේ.

චක්ෂුර්විඥානාදි විඥාන පසින් ගන්නා ලද අරමුණ පිළිගන්නා සිතට සම්පටිච්ඡන සිතය යි කියනු ලැබේ.

සම්පටිච්ඡනයෙන් ගත් අරමුණ විමසන්නා වූ සිත සන්තීරණ නම් වේ. (සම්පටිච්ඡන - සන්තීරණ සිත් දෙකෙහි තතු වීථි කාණ්ඩයේ දී දත හැකි වනු ඇත. දැන් සිත් ගණන පමණක් මතක තබාගන්න.)

අහේතුක කුශල විපාක සිත් අට

  1. උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය
  2. උපෙක්ඛා සහගත සෝත විඤ්ඤාණය
  3. උපෙක්ඛා සහගත ඝාන විඤ්ඤාණය
  4. උපෙක්ඛා සහගත ජිව්හා විඤ්ඤාණය
  5. සුඛ සහගත කාය විඤ්ඤාණය
  6. උපෙක්ඛා සහගත සම්පටිච්ඡනය
  7. සෝමනස්ස සහගත සන්තීරණය
  8. උපෙක්ඛා සහගත සන්තීරණය

මෙසේ අහේතුක කුශල විපාක සිත් අටෙකි.

අකුසල් සිත්වලින් ඇති කරන්නේ අහේතුක විපාක පමණෙකි. කුසල් සිත්වලින් අහේතුක සහේතුක විපාක දෙවර්ගය ම ඇති කරනු ලැබේ. කියන ලදුයේ කුශලයෙන් ඇති කරන අහේතුක විපාක සිත් ය. කුශලයෙන් ඇති කරන සහේතුක විපාක පසුව දත හැකි වනු ඇත. අහේතුක කුසල විපාක සිත් මිස, අහේතුක කුසල් සිත් කොටසක් නැති බව ද මතක තබා ගත යුතු ය.

අකුසල විපාකවලට වඩා අහේතුක කුශල විපාක වල ඇති වෙනස, කාය විඥානය සුඛ සහගත වීමත්, සන්තීරණ දෙකක් වීමත් ය.

සන්තීරණ දෙකක් වී ඇත්තේ අරමුණු අනුව ය. අරමුණ ඉතා හොඳ වන කල්හි සන්තීරණය සෝමනස්ස සහගත වේ. අරමුණ මධ්‍යම වන කල්හි උපේක්ෂා සහගත වේ.

ප්‍ර‍ශ්න

  1. මේ සිත්වලට අහේතුක සිත්ය කියන්නේ ඉබේ ම ඇති වන නිසා ද? නැතහොත් අනික් කරුණක් නිසා ද?
  2. හේතු යන නම ව්‍යවහාර කරන ධර්‍මයෝ කවරහු ද?
  3. විපාකය යි කියනුයේ කෙබඳු සිත් කොටසකට ද?
  4. අහේතුක සිත්වලට නම් දී තිබෙන්නේ කෙසේ ද?
  5. අකුසල් සිත්වලින් සහේතුක විපාකත් ඇති කරනවා ද?
  6. අකුශල විපාක සිත්වලට වඩා කුශල විපාක සිත්වල වෙනස්කම් මොනවා ද?