16. අරූපාවචර විපාක, ක්‍රියා

අරූප ධ්‍යානලාභී පුද්ගලයා මරණින් මතු ඒ කුශලයේ බලයෙන් අරූප ලෝකයෙහි උපදින්නේ ය. අරූප භවයෙහි ඉපදීම් වශයෙන් ද ඒ අරූප භවය නො සිඳී පැවැත්මට ද අරූප කුශලයට සමාන වූ ම ධ්‍යාන සිත් ඇති වේ. ඒවා අරූපාවචර විපාකයෝ ය.

  1. ආකාසානඤ්චායතන විපාක සිතය
  2. විඤ්ඤාණඤ්චායතන විපාක සිතය
  3. ආකිඤ්චඤ්ඤායතන විපාක සිතය
  4. නේවසඤ්ඤානාසඤ්ඤායතන විපාක සිතය

කියා අරූපාවචර විපාක සිත් ද සතරෙකි.

කාම - රූප ලෝක දෙක්හි සත්ත්වයන් ගේ විඤ්ඤාණය පවත්නේ රූප - කය ඇසුරු කර ගෙන ය. රූප - කයක් නැති ව පැවතීමට ඒවාට ශක්තියක් නැත. අරූපාවචර විපාක වනාහි රූපයෙන් තොරව පැවතිය හැකි වන පරිදි දියුණු වූ ඒවා ය. එබැවින් අරූප ප්‍ර‍තිසන්ධි චිත්තය සමග රූප - කයක් ඇති නො වේ. විඤ්ඤාණයෙන් ඔවුහු ඉතා දීර්ඝ කාලයක් ජීවත් වෙති. කාම සත්ත්වයනට රූප - කයක් පරිහරණය කිරීම නිසා ඉමක් කොනක් නැති තරමට දුක් විඳින්නට සිදු වේ. අරූපී සත්ත්වයාට ඒ එකදුකකුදු නැත. නිවන් සැපයට බොහෝ දුරට සමාන සැපයක් අරූපී සත්ත්වයනට ඇත්තේ ය. කාම සත්ත්වයනට ඇත්තේ පිටස්තර දේවලින් ඉන්ද්‍රිය පිනවා ගෙන ලබන සැපයෙකි. අරූපී සත්ත්වයන් ගේ සැපයට පිටතින් කිසිවක් වුවමනා නැත. කාම සත්ත්වයන් ගේ ආත්ම භාවය බතක් වැනි ය. තවත් දේ එකතු කර නො ගත හොත් එහි රසයක් නැත. අරූපී ආත්ම භාවය කේක් කැබැල්ලක් වැනි ය. එය රසවත් කිරීමට තවත් දෙයක් එකතු කරන්නට ඕනෑ නැත. අරූපී සත්ත්වයා ගේ ඒ ජීවිතය ම ඔහුට සුවයෙකි.

අනාගාමී, අර්හත් පුද්ගලයන්ට පමණක් අයිති නිරෝධ සමාපත්ති නම් වූ සමවතක් ඇත්තේ ය. එය සිතින් තොරව විසීමෙකි. එයට සමවැදිය හැක්කේ රූපාරූප ධ්‍යාන සියල්ල ම ලබා ඇති අනාගාමීන්ට හා රහතුන්ට ය. නිරෝධ සමාපත්තියට සම වැදිය හැකි වීමට රහත්හු ද අරූප ධ්‍යාන උපදවති. රහතුන් විසින් උපදවන විපාකදාන ශක්තිය නැත්තා වූ අරූප ධ්‍යාන සිත් අරූපාවචර ක්‍රියා සිත් ය. ආකාසානඤ්චායතන ක්‍රියා සිත යනාදි වශයෙන් අරූපාවචර ක්‍රියා සිත් ද සතරෙකි.

කුසල් සිත් සතර ය, විපාක සිත් සතරය, ක්‍රියා සිත් සතර යයි අරූපාවචර සිත් දොළොසකි. ඒ සියල්ල ම පඤ්චමධ්‍යාන සිත් ය. වේදනා භේදයෙන් උපේක්ෂා සහගත සිත් ය. පඤ්චමධ්‍යාන භාවයෙන් අරූපාවචර සිත් එකිනෙකට සමාන වුව ද, යට යට අරූපධ්‍යාන සිත්වලට වඩා මතු මතු අරූපධ්‍යාන සිත් ප්‍ර‍ණීත ය; උසස් ය.

පොදු ජනයාට අයත් නො වන, උසස් අයට ම අයත් වන උසස් පුද්ගලයන් විසින් ම උපදවනු ලබන, පවත්වනු ලබන, සිත් කොටසක් බැවින් රූපාවචර අරූපාවචර සිත්වලට මහග්ගත සිත් ය යන නාමය ද කියනු ලැබේ. මහග්ගත සිත් (27) සත් විස්සකි.

මහග්ගත සිත්වල කුසල් නවයෙකි. විපාක නවයෙකි. ක්‍රියා නවයෙකි. ප්‍ර‍ථම ධ්‍යාන සිත් තුනෙකි. ද්විතීය ධ්‍යාන - තෘතීය ධ්‍යාන - චතුර්ථ ධ්‍යාන සිත් ද තුන බැගින් ඇත්තේ ය. පඤ්චම ධ්‍යාන සිත් පසළොසෙකි. මහග්ගතයෙහි සෝමනස්ස සහගත සිත් දොළොසෙකි. උපේක්ෂා සහගත සිත් පසළොසෙකි.

කාමාවචර සිත් (54) සිවු පනසය, රූපාවචර සිත් (15) පසළොසය, අරූපාවචර සිත් (12) දොළොස ය යන මේ සිත් (81) එක් අසූවට “ලෞකික සිත් ය” යි කියනු ලැබේ. ලෞකික කුසල් සිත් (17) සතළොසෙකි. ලෞකික විපාක සිත් (32) දෙතිසෙකි. ක්‍රියා සිත් (20) විස්සෙකි.

ලෞකික සිත් එක් අසූවෙහි සෝමනස්ස සහගත සිත් (31) එක් තිසකි. උපේක්ෂා සහගත සිත් (47) සත් සාළිසෙකි. දෝමනස්ස සහගත සිත් (3) තුනෙකි. (මේ ගණන කියන ලද්දේ සුඛ සහගත කාය විඤ්ඤාණය සෝමනස්ස වලටත්, දුඃඛ සහගත කාය විඤ්ඤාණය දෝමනස්සවලටත් ඇතුළු කොට ය).

ප්‍ර‍ශ්න

  1. “අරූපාවචර විපාකය” යි කියනුයේ කෙබඳු සිත් වලට ද?
  2. රූප කයක් නැති ව සිත් පැවතිය හැක්කේ කෙසේ ද?
  3. රූපයක් නැති ආත්ම භාවය හොඳ වන්නේ මක් නිසා ද?
  4. මතු ඉපදීමක් නැති රහතුන් අරූප ධ්‍යාන උපදවන්නේ කුමට ද?
  5. රූපාවචර අරූපාවචර සිත් දෙකොටසට ම සාධාරණ නම කුමක් ද?
  6. ලෞකික කුසල් කොතෙක් ද? කවරහු ද?
  7. ලෞකික විපාක කොතෙක් ද? කවරහු ද?
  8. ක්‍රියා සිත් කොතෙක් ද? කවරහු ද?