8. ද්වේෂ මූල සිත් දෙක

ද්වේෂය යනු සිතින් ගන්නා වූ අරමුණ කෙරෙහි ඇති වන විරුද්ධ ස්වභාවය ය. අරමුණට නො කැමති ස්වභාවය ය. කෝපය, තරහව, වෛරය, භය, අප්පිරියාව, නො සතුට යන වචනවලින් කියැවෙන්නේ ද ද්වේෂය ය. අරමුණෙහි හැපෙන්නාක් මෙන් ඇති වන බැවින් එයට “ප්‍ර‍තිඝ” යයි ද කියනු ලැබේ. ද්වේෂ මූල චිත්තය ලෝභ මූල චිත්තය මෙන් වේදනා වශයෙන් භේදයට නො පැමිණේ. එය සැම කල්හි ම දෝමනස්ස වේදනාවෙන් ම යුක්ත වේ. දෝමනස්ස වේදනා ව ය යනු අරමුණේ නරක ගතිය ආස්වාසය කරන ස්වභාවය ය. ශෝක යයි කියනුයේ ද දෝමනස්ස වේදනාවටය. ද්වේෂමූල චිත්තය භේදයට පැමිණෙන්නේ සංස්කාර වශයෙන් පමණකි.

දෝමනස්ස සහගත ප්‍ර‍තිඝ සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිතය

දෝමනස්ස සහගත ප්‍ර‍තිඝ සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිතය

කියා ද්වේෂමූල සිත් දෙකකි. කෙනකුගේ මෙහෙයීමක් නැති ව තමා ගේ ඕනෑකමින් ප්‍රාණඝාතාදිය කිරීමෙහිදී පළමුවන සිත ඇති වේ. මෙහෙයීමකින් ප්‍රාණඝාතාදිය කිරීමෙහිදී දෙවන සිත ඇති වේ.

ක්‍රීඩා පිණිස සිනහවෙන් සතුන් මරන කල්හි ඇති වන්නේ ද ද්වේෂ මූල සිත් ම ය. එබඳු අවස්ථාවල ඇතිවන ද්වේෂය සියුම් ය. තමාට හානියක් කරන්නට එන සතුරකු මැරීමේ දී ඇති වන ද්වේෂය රෞද්‍ර‍ය. ක්‍රීඩා පිණිස සිනහවෙන් සතුන් මරන කල්හි ද්වේෂය නැතය යි වරදවා නො ගත යුතු.

ද්වේෂ මූල සිත් උපදනා අවස්ථා

ප්‍රාණඝාතය, පරුෂ වචනය, ව්‍යාපාදය, අදත්තාදානය, මෘෂාවාදය, පෛශූන්‍ය වචනය, සම්පප්‍ර‍ලාපය යන අකුශල කර්මපථ සත සිදු කිරීම් වශයෙන් ද්වේෂ මූල සිත් උපදී.

තවද අනුන්ගේ අගුණ කීමේදී ද, ඒවාට ඇහුම් කන් දීමේ දී ද, තමා කළ වරද කියනවා ඇසෙන කල්හි ද, තමාගේ අඩුපාඩුකම් - දුබලකම් කියනවා ඇසුණු කල්හි ද, සේවකාදීන් අකීකරු වූ කල්හි ද, අනුන් වරද කරනවා දක්නා කල්හි ද, අනුන් වරද කරනු ඇතය කියා සිතෙන කල්හි ද, තමා ආදරයෙන් පරෙස්සම් කරන දේවල් අනුන් අත පත ගානවා දුටු කල්හි ද, තමා ඇලුම් කරන දෙයක් අනුන් ඉල්ලන කල්හි ද, අනුන්ගෙන් තමා ඉල්ලන දෙයක් නුදුන් කල්හි ද, තමා කියන වැඩක් අනුන් නො කළ කල්හි ද, තමා ගේ කීම අනුන් නො පිළිගන්නා කල්හි ද, අනුන් තමාට සතුරු කම් කරන කල්හි ද, සතුරන් දක්නා කල්හි ද, තමාට කළ සතුරු කම් සිහි වන කල්හි ද, බොහෝ දෙනාට ද්වේෂමූල සිත් උපදී.

මා - පිය, දූ - දරු ආදි හිතවතකු මළ කල්හි ද, අන් අලාභයක් වූ කල්හි ද, තමා අතින් විශාල වරදවල් සිදු වූ කල්හි ද, ශෝක කිරීම් වශයෙන් උපදින්නේ ද ද්වේෂමූල සිත් ය.

තමාට වඩා හොඳින් කන - බොන අය, අඳින - පළඳින අය දුටු කල්හි ද, හොඳ රථවාහනවලින් යනෙන අය දුටු කල්හි ද, හොඳ ගෙවල් සාදාගෙන ඉන්නා අය දුටු කල්හි ද, ගරු බුහුමන් ලබන අය දක්නා කල්හි ද ඊර්ෂ්‍යා සහගත ව ද්වේෂමූල සිත් ඇති වේ.

නිතර අනුන්ගේ අගුණ සොයමින් කියමින් සිතමින් ඉන්නා ඇතමුන්ට එක් එක් දිනක බොහෝ ද්වේෂ මූලික අකුසල් සිත් පහළ වේ.

ප්‍ර‍ශ්න

  1. ද්වේෂය යනු කුමක් ද?
  2. ද්වේෂමූල සිත වේදනා කීයකින් යුක්ත වෙනවා ද?
  3. ශෝකය යනු කුමක් ද?
  4. ද්වේෂමූල සිත්වලින් සිදුවිය හැකි අකුශල කර්ම පථයෝ කවරහුද?
  5. අනුන්ගේ දොස් කීමේදී ඇතිවන සිත කුමක් ද?
  6. ශෝක කිරීමේදී ඇති වන සිත කුමක් ද?
  7. දවසෙහි බොහෝ ද්වේෂ මූලික සිත් ඇති විය හැක්කේ කෙබඳු අයට ද?
  8. යමක් ඉල්ලන්නට ආ තැනැත්තාට කරදරයෙන් නිදහස් වීම පිණිස යමක් දෙන කල්හි ඇති විය හැකි සිත කවරේ ද?