5. ශෝභන සාධාරණ චෛතසික එකුන්විස්ස

සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, තත්‍ර‍මජ්ඣත්තතා, කායපස්සද්ධි, චිත්තපස්සද්ධි, කායලහුතා, චිත්තලහුතා, කායමුදුතා, චිත්තමුදුතා, කායකම්මඤ්ඤතා, චිත්තකම්මඤ්ඤතා, කායපාගුඤ්ඤතා, චිත්තපාගුඤ්ඤතා, කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා යන මේ චෛතසික එකුන්විස්ස ශෝභන සාධාරණ චෛතසිකයෝ ය.

සද්ධා

බුද්ධාදීන් කෛරහි විශ්වාසය, බුද්ධ ගුණාදිය පිළිගන්නා ස්වභාවය සද්ධා නම් වේ. එයට ශ්‍ර‍ද්ධාව යයි ද කියනු ලැබේ. “පැහැදීමය” යි ද කියනු ලැබේ. මේ ශ්‍ර‍ද්ධාව කුසල් කිරීමේ දී මහා බලයෙකි. එය කුසලයන් ගන්නා ස්වභාවයෙන් අතක් වැනිය යි ද, සියලු සම්පත් ලබා දීම් වශයෙන් ධනයක් වැනිය යි ද, සියලු කුශලයන්ට මුල් වන බැවින් බීජයක් වැනිය යි ද කියා තිබේ.

සති

සිහිය සති නම් වේ. අකුශල පක්ෂයෙහි ම ගමන් කිරීම - පැවතීම සත්ත්වයා ගේ සිතෙහි ස්වභාවය ය. මේ චෛතසිකයෙන් සත්ත්වයා ගේ සිතට අකුශල පක්ෂයෙහි ම ගමන් කරන්නට නො දී, කුශල පක්ෂයෙහි පිහිටුවීම සිදු කරනු ලැබේ.

හිරි - ඔත්තප්ප

පාපය පිළිකුල් කරන පාපයට ලජ්ජා වන ස්වභාවය හිරි නම් වේ. පවට බිය වන ස්වභාවය ඔත්තප්ප නම් වේ. සත්පුරුෂයෝ මේ හිරි - ඔතප් දෙක නිසා පවින් වැළකී මනා කොට හැසිරෙති.

අලෝභ

අරමුණෙහි නො ඇලෙන ස්වභාවය අලෝභ නම් වේ. අලෝභයෙන් යුක්ත වන සිත, නෙළුම් පතෙහි දිය මෙන් නො ඇලී අරමුණෙහි පවතී. අලෝභය ලෝභයට විරුද්ධ ස්වභාවයකි.

අදෝස

අදෝස යනු මෛත්‍රිය ය. එය ද්වේෂයට විරුද්ධ ස්වභාවය ය.

තත්‍ර‍මජ්ඣත්තතා

එකට බැඳී උපදනා චිත්ත - චෛතසිකයන් ගේ වේගයන් අඩු වැඩි වන්නට නො දී, සමව පවත්වන ස්වභාවය “තත්‍ර‍මජ්ඣත්තතා” නම් වේ.

කායපස්සද්ධි - චිත්තපස්සද්ධි

කායපස්සද්ධි යන මෙහි “කාය” යයි කියනුයේ චෛතසිකයන්ට ය. චිත්තපස්සද්ධි යන මෙහි “චිත්තය” යි කියනුයේ ශෝභන චිත්තයට ය. චෛතසිකයන්ගේ සන්සුන් බව “කායපස්සද්ධි” නම් වේ. චිත්තයා ගේ සන්සුන් බව “චිත්තපස්සද්ධි” නම් ව්. මේ ධර්ම දෙක චිත්ත-චෛතසිකයන් නො සන්සුන් කරන ඖද්ධත්‍යාදි ක්ලේශයන්ට විපක්ෂ ධර්ම දෙකකි.

කායලහුතා - චිත්තලහුතා

චෛතසිකයන්ගේ සැහැල්ලු බව “කායලහුතා” නම් වේ. සිතෙහි සැහැල්ලු බව “චිත්තලහුතා” නම් වේ. මේ චෛතසික දෙක රෝගියකුගේ ශරීරය මෙන් චිත්ත චෛතසික බර බවට පැමිණවීමෙන් දුබල කරන, ථීන-මිද්ධාදීන්ට විරුද්ධ ධර්ම දෙකකි.

කායමුදුතා - චිත්තමුදුතා

චෛතසිකයන් ගේ මොළොක් බව “කායමුදුතා” නම් වේ. සිතෙහි මොළොක් බව “චිත්තමුදුතා” නම් වේ. මේ චෛතසික දෙක චිත්ත චෛතසිකයන් තද බවට - දළදඬු බවට පත් කරන, දෘෂ්ටි - මානාදි ක්ලේශයන්ට විරුද්ධ ධර්ම දෙකකි.

කායකම්මඤ්ඤතා - චිත්ත කම්මඤ්ඤතා

චෛතසිකයන් ගේ කර්මණ්‍ය භාවය “කායකම්මඤ්ඤතා” නම් වේ. සිතෙහි කර්මණ්‍ය භාවය “චිත්ත කම්මඤ්ඤතා” නම් වේ. කර්මණ්‍යතාව යනු ඕනෑ ම සියුම් කර්මාන්තයකට, රත්රන් ඔරොත්තු දෙන්නාක් මෙන් කුශල ක්‍රියාවට ඔරොත්තු දෙන බව ය. මේ චෛතසික දෙක චිත්ත - චෛතසිකයන් ක්‍රියාවට අයෝග්‍ය කරන ක්ලේශයන්ට ප්‍ර‍තිපක්ෂය ය.

කායපාගුඤ්ඤතා - චිත්තපාගුඤ්ඤතා

චෛතසිකයන් ගේ ඒ ඒ ක්‍රියා විෂයයෙහි හුරු බව “කායපාගුඤ්ඤතා” නම් වේ. සිතෙහි හුරු බව “චිත්ත පාගුඤ්ඤතා” නම් වේ. මේ චෛතසික දෙක චිත්ත චෛතසිකයන් ගිලන් බවට පමුණුවන, දුබල බවට පමුණුවන අශ්‍ර‍ද්ධාදි ක්ලේශයන්ට විපක්ෂ ය.

කායුජ්ජුකතා - චිත්තුජ්ජුකතා

චෛතසිකයන්ගේ සෘජු බව (ඇද නැති බව) “කායුජ්ජුකතා” නම් වේ. සිත්හි සෘජු බව චිත්තුජ්ජුකතා නම් වේ. මේ ධර්ම දෙක මායා - සාඨෙය්‍යාදියට විපක්ෂ ය.

මේ චෛතසික දහනවය විශේෂයක් නැති ව සියලු ම ශෝභන සිත්වල යෙදෙන බැවින් සෝභන සාධාරණ නම් වෙති.