“ලෝභය - දෝසය - මෝහය - අලෝභය - අදෝසය - අමෝහය” යි හේතු සයෙකි. එහි ලෝභ - දෝස - මෝහ යන තුන අකුශල චෛතසික තුනෙකි. අලෝභ - අදෝස දෙක ශෝභන සාධාරණ චෛතසික දෙකකි. අමෝහය යනු ප්‍රඥා චෛතසිකය ය.
ගින්න නිසා දුම ඇති වන්නාක් මෙන්, යම් යම් දේ ඇති වීමට කරුණු වන දේවලට ලෝකයෙහි “හේතු” යන නම ව්‍යවහාර කරනු ලැබේ. මේ අභිධර්මයෙහි ලෝභාදි ධර්ම සයට හේතු යන නාමය ව්‍යවහාර කරන්නේ ඒවා යම් කිසිවක් ඇති වීමට කරුණු වීම නිසා නොවේ. ගස්වලට ඇද වැටෙන්නේ නැති ව පොළොවෙහි පිහිටා සිටීමට මුල් උපකාර වන්නාක් මෙන්, චිත්ත - චෛතසිකයන් හට අරමුණෙහි පිහිටා සිටීමට ලෝභාදි සය උපකාර වේ.
ලෝභය ලෝභනීය ආරම්මණයෙහි තදින් කා වැදේ. එය හා සම්ප්‍රයුක්ත වන සිත හා චෛතසික, ලෝභය නිසා ඒ අරමුණෙහි නො සැලී පිහිටයි. ද්වේෂය ආරම්මණයෙහි තදින් කා වැදේ. එය හා සම්ප්‍රයුක්ත වන චිත්ත - චෛතසිකත් එහි උපකාරයෙන් අරමුණෙහි නො සැලී පිහිටයි. මෝහාදිය නිසා ද එසේ ම සම්ප්‍රයුක්ත චිත්ත - චෛතසික අරමුණෙහි නොසැලී පිහිටයි. මේ ධර්මයෙහි ලෝභාදියට හේතු යන නාමය ව්‍යවහාර කරන්නේ සම්පයුත්ත චිත්ත චෛතසිකයන් හට අරමුණෙහි නො සැලී සිටීමට උපකාරක ධර්මයන් වන නිසාය. සම්ප්‍රයුක්ත ධර්මයන් හට අරමුණෙහි නො සැලී සිටීමට උපකාර වන ධර්මයෝ හේතු නම් වෙති. හේතු ජාති සතරක් ඇත්තේ ය. මේවාට කියන්නේ මූල හේතුය කියා ය. අභිධර්මයෙහි සැම තැන ම පරමාර්ථ ධර්මයන්ගේ අහේතුක සහේතුක භාවය කියන්නේ මේ මූල හේතූන් ඇති නැති බව සඳහා ය.
චිත්ත පරිච්ඡේදයේ අහේතුක නාමයෙන් කියැවුණ සිත් දහ අට මූල හේතූන් නැති බැවින් අහේතුක සිත් ය. ඉතිරි සිත් සැත්තෑ එක හේතු සහිත බැවින් සහේතුක සිත් ය.
ලෝභ - දෝස - මෝහ යන තුන අකුශල හේතු ය. එක් සිතක ලැබෙන්නේ ඒවායින් එකක් හෝ දෙකකි. එබැවින් ඒකහේතුක, ද්විහේතුක අකුසල මිස ත්‍රිහේතුක අකුසල් නැත. අලෝභාදි හේතු තුන, කුශල හේතු ද වේ. කුශලාකුශල නො වන (අව්‍යාකෘත) හේතු ද වේ. සමහර සිතක අලෝභාදි හේතු තුන ම ලැබේ. සමහර සිතක අමෝහ හේතුව හැර ඉතිරි දෙක ලැබේ. අලෝභාදීන් ගෙන් එකක් පමණක් ලැබෙන සිතක් නැත.
මෝහ මූල සිත් දෙක මෝහ නමැති එක ම හේතුවක් ඇති බැවින් ඒකහේතුක සිත් ය. ඉතිරි අකුසල් සිත් දශය ය. ඥාන විප්‍රයුක්ත කාමාවචර ශෝභන සිත් දොළොසය යන දෙවිස්ස ද්විහේතුක සිත් ය. ඉතිරි සිත් සතළිස් හත ත්‍රිහේතුක සිත් ය.
ප්‍රශ්න
- ලෝභාදීන්ට හේතු යන නාමය ව්‍යවහාර කරන්නේ කුමක් නිසා ද?
- අමෝහය කියනුයේ කුමකට ද?
- ද්විහේතුක සිත්වල ඇති හේතු කවරහු ද?
- ත්‍රිහේතුක සිත්වල ඇති හේතු කවරහු ද?