චක්ෂුරාදි ද්වාරයන්හි රූපාදි අරමුණු ගැටීමෙන් පඤ්චද්වාර වීථි ඇති වන බව ප්‍රකට ය. මනෝද්වාර වීථි ඇති වීමේ හේතු අප්‍රකට ය. එබැවින් එය දක්වනු ලැබේ.
මනෝද්වාර වීථි ඇති වීමේ හේතු බොහෝ ය. පඤ්චද්වාරයෙහි රූපාදි අරමුණු ගැටීමත් මනෝද්වාර වීථි ඇති වීමේ එක් හේතුවකි. පඤ්චද්වාරයෙන් ගත් අරමුණු හා සම්බන්ධ බව, අනුන් කියනු ඇසීම, අසන ලද්ද හා සම්බන්ධ බව, අනුන් විසින් ප්‍රශ්න ඇසීම, කල්පනා කිරීම, ශාරීරික ධාතු කෝපය, සා ගින්න - පිපාසාව, නොයෙක් ශාරීරික වේදනා ඇතිවීම, සතුරන් මුණ ගැසීම, මිතුරන් මුණ ගැසීම යන මේවා මනෝද්වාර වීථි ඇති වීමේ හේතූන්ගෙන් කොටසකි.
ඝණ්ටාවකට වරක් ගැසූ කල්හි මහ හඬක් ඇති වේ. ඉන් පසු ගැසීමක් නැතිව මුලින් ඇති වූ හඬ නිසා ක්‍රමයෙන් සිහින් වෙමින් නාද පරම්පරාවක් ඇති වේ. එමෙන් චක්ෂුඃ ප්‍රසාදයෙහි වරක් රූපාරම්මණයක් ගැටුණ කල්හි චක්ෂුර්ද්වාර වීථියක් ඇති වී නිරුද්ධ වූ පසු ද ඒ රූපාරම්මණය මනෝද්වාරයට එළඹ සිටීමෙන් සමහරවිට, සිය ගණන් දහස් ගණන් මනෝද්වාර වීථි ඇති වේ. එසේ ම සෝත ඝාන ජිව්හා කායද්වාර වීථිවලින් පසු ශබ්දාදි අරමුණු මනෝද්වාරයට යොමු වී සිටීමෙන් සිය ගණන් දහස් ගණන් මනෝද්වාර වීථි ඇති වේ.
පඤ්චද්වාරයන් වරක් අරමුණක් ගත් කල්හි සමාන භාවයෙන් ඒ අරමුණ හා සම්බන්ධ බොහෝ අරමුණු ද මනෝද්වාරයට යොමුවීමෙන් බොහෝ මනෝද්වාර වීථි ඇති වේ.
අසලවල් තැන මෙබඳු දෙයක් තිබෙනවා ය, අසවලා මෙබඳු දෙයක් කළා ය, අසවල් රටේ අසවල් තැන මෙබඳු දෙයක් සිදු වුණාය යනාදීන් අනුන් කියන දේ ඇසීමෙන් අපමණ මනෝද්වාර වීථි ඇති වේ. පොත පත කියැවීම නිසා ද එසේ ම අපමණ මනෝද්වාර වීථි ඇති වේ.
අනුන්ගෙන් ඇසීමෙන් හෝ පොත පත කියැවීමෙන් හෝ දත් කරුණු හා සම්බන්ධකම ඇති නිසා තවත් බොහෝ කරුණු මනෝද්වාරයට යොමු වීමෙන් බොහෝ මනෝද්වාර වීථි ඇති වේ.
අනුන් විසින් ප්‍රශ්න ඇසීම නිසා ඒ ප්‍රශ්න හා සම්බ්නධ බොහෝ කරුණු මනෝද්වාරයට යොමුවීමෙන් බොහෝ මනෝද්වාර වීථි ඇතිවේ.
“කල්පනා කිරීමය” යනු නො දත් කරුණු වෙත තමාගේ සිත යොමු කිරීම ය. කල්පනා කිරීම නිසා ද බොහෝ අරමුණු මනෝද්වාරයට යොමු වීමෙන් බොහෝ මනෝද්වාර වීථි ඇති වේ.
ධාතු කෝපාදිය නිසා ද නොයෙක් විට බොහෝ මනෝද්වාර වීථි ඇති වන බව තේරුම් ගත යුතු ය. භූතයන් විසින් ද සමහර විට මිනිසුන්ගේ සිත්වලට නොයෙක් අරමුණු දෙනු ලැබේ. ඒ නිසා ද බොහෝ මනෝද්වාර වීථි ඇති වන බව දත යුතු ය.
අනුබන්ධක මනෝද්වාර වීථි.
රූපයක් චක්ෂුඃ ප්‍රසාදයේ ගැටී චක්ෂුර්ද්වාර වීථියක් ඇති වූ පමණින්ම ඒ පුද්ගලයාට “මම අසවල් දෙය දිටිමිය” යන දැනීම ඇති නො වේ. අසවල් දෙය දුටුවෙමි ය යන හැඟීම පුද්ගලයාට ඇති වීමට චක්ෂුර්ද්වාර වීථියෙන් පසු මනෝද්වාර වීථි ගණනක් ද ඇති විය යුතු ය. චක්ෂුර්ද්වාර වීථියට දැනෙන්නේ චක්ෂුඃ ප්‍රසාදයේ ගැටුණු පැහැය පමණෙකි. සෝත, ඝාන, ජිව්හා, කායද්වාර වීථි ඇති වූ පමණින් ද අසවල් දෙය ඇසුණා ය, අසවල් ගන්ධය - අසවල් රසය - දැනුණා ය, අසවල් දෙය සැපුණාය කියා පුද්ගලයාට දැනෙන්නේ නොවේ. ඒවා ගැන දැනුම ඇති වීමට මනෝද්වාර වීථි ගණනක් ඇති විය යුතු ය. පඤ්චද්වාර වීථින්ට අනතුරු ව ඒ වීථිවලින් ගත් අරමුණු සම්බන්ධයෙන් ඇති වන මනෝද්වාර වීථීන්ට අනුබන්ධක මනෝද්වාර වීථිය යි කියනු ලැබේ. අනුබන්ධක මනෝද්වාර වීථි වශයෙන් ඇති වන්නේ ද ඉහත කී චිත්තක්ෂණ සතළොසක් නැති විභූතාරම්මණ අවිභූතාරම්මණ වීථිහුම ය. පඤ්චද්වාර වීථීන්ට අනතුරුව අනුබන්ධක මනෝද්වාර වීථි ඇති වන ක්‍රමය පොත් කීපයක කීප ආකාරයකින් කියා තිබේ.
රූපයක් චක්ෂුඃ ප්‍රසාදයේ ගැටුණු කල්හි පළමුවෙන් චක්ෂුර්ද්වාර වීථියක් ඇති වේ. එය නිරුද්ධ වූ පසු චක්ෂුර්ද්වාර වීථියෙන් ගන්නා ලද අතීත රූපය ගනිමින් මනෝද්වාර වීථියක් ඇති වේ. ඊට පසු ඒ රූපයට කියන නම අරමුණු කරන මනෝද්වාර වීථියක් ඇති වේ. එය නිරුද්ධ වූ පසු ඒ නමින් හඳුන්වන දෙය හෙවත් වචනයේ අර්ථය ගන්නා මනෝද්වාර වීථියක් ඇති වේ. “මම අසවල් දෙය දුටිමි ය” යන දැනීම පුද්ගලයාට ඇති වන්නේ තුන්වන මනෝද්වාර වීථිය ඇති වීමෙන් පසු ව ය.
ශබ්දයක් ශ්‍රෝත්‍රද්වාරයට පැමිණි කල්හි පළමුවෙන් සෝතවිඤ්ඤාණ වීථියක් උපදී. එය නිරුද්ධ වූ පසු අතීත වූ ශබ්දය නැවත ගන්නා මනෝද්වාර වීථියක් ඇති වේ. එය නිරුද්ධ වූ පසු එහි නාමයය මතු කර ගන්නා මනෝද්වාර වීථියක් ඇති වේ. ඝාන, ජිව්හා, කාය ද්වාර වීථි අනුව ද මෙසේ ම මනෝද්වාර වීථි තුන බැගින් ඇති වේ. මෙය එක්තරා ආචාර්‍ය්‍ය මතයෙකි.
විශේෂ කරුණක්
බොහෝ අභිධර්ම පොත්වල මරණාසන්න වීථි හා අර්පණා වීථි සතරවන පරිච්ඡේදයේ ම දක්වා තිබේ. මරණාසන්න වීථි පස්වන පරිච්ඡේදයේ මරණෝත්පත්ති චතුෂ්කයේ දී ඉගෙනීම පහසු ය. අර්පණා වීථි පිළිබඳව හොඳ දැනුමක් ඇති කර ගත හැක්කේ කර්‍මස්ථාන සමග ම ඉගෙනීමෙනි. ඒ නිසා ඒ තැන්වල දීම මරණාසන්න වීථි හා අර්පණා වීථි දක්වන්නෙමු.