කාමාවචර කුශලයෙන් කාම සුගතියෙහි ප්‍රතිසන්ධිය ඇති කරනු ලැබේ. ප්‍රවෘත්ති කාලයෙහි මහා විපාක අටය, අහේතුක කුශල විපාක අටය යන සිත් සොළොස ම සුදුසු පරිදි කාම-රූප ලෝක දෙක්හි ඇති කරනු ලැබේ.
ත්‍රිහේතුක කුශලය, ද්විහේතුක කුශලය කියා කාමාවචර කුශලය දෙවැදෑරුම් වේ. ඥාන සම්ප්‍රයුක්ත සිත් සතර ත්‍රිහේතුක ය. ඥාන විප්‍රයුක්ත සිත් සතර ද්විහේතුක ය. එයින් ත්‍රිහේතුක කුශලය බලවත් ය. ද්විහේතුක කුශලය දුබල ය. ත්‍රිහේතුක කුශලය ද උත්කෘෂ්ට - ඕමක වශයෙන් දෙ පරිදි වේ. ද්විහේතුක කුශලය ද එසේ ම දෙ පරිදි වේ.
ජනයා අතර තමා උසස් කෙනකු ලෙස පෙනී සිටීමේ බලාපොරොත්තුවෙන් හෝ අනුන් පහත් කිරීමේ අදහසින් හෝ යම් කුශලයක් කෙරේ නම්, අදහස අපිරිසිදු බැවින් ඒ කුශලය හීන වේ. කුශලය කිරීමට සමීප කාලයේ දී හා කුශලය කිරීමෙන් පසු, එයට සමීප කාලයේ දී ද අකුසල් සිත් ඇතිවුව හොත් දෙපස ඇති වූ අකුශලයන් නිසා කුශලය හීන වේ. කුශලය කොට, “මා කළේ මෝඩ කමක්ය” යනාදීන් කළ කුශලය ගැන නොසතුටක් ඇති කර ග්තතේ නම් එයින්ද කුශලය හීන වේ. ඕමක කුශලයයි කියනුයේ හීන කුශලයට ය. අත්තුක්කංසනයෙන් හෝ පරමවම්භනයෙන් හෝ පූර්වාපරභාග දෙක්හි ඇති වන කෙලෙසුන් ගෙන් හෝ කිලිටි නො වූ, කිරීමෙන් පසුත් “මා විසින් යහපතක් කරන ලද්දේය” කියා නැවත නැවත සතුට ඇති කර ගත්තා වූ කුශලය උත්කෘෂ්ට කුශලය වේ.
ත්‍රිහේතුක උත්කෘෂ්ට කුශලය ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ගෙන දී ප්‍රවෘත්ති කාලයෙහි මහා විපාක අටය, අහේතුක කුශල විපාක අටය යන විපාක සොළොස ඇති කරන්නේ ය. ත්‍රිහේතුකෝත්කෘෂ්ට කුසල් සිත් සතරෙන් එක් එක් චිත්තයකින් ම මෙසේ කාම සුගතියෙහි ප්‍රතිසන්ධිය දී ප්‍රවෘත්ති කාලයේ විපාක සොළොසක් ඇති කරනු ලැබේ. මේ විපාක සිත් සොළොස ඇති කිරීම එකවරට ම කරන්නක් නොව, ඉෂ්ට රූප ශබ්දාදිය හමුවන සැටියට ඒ ඒ අවස්ථාවලදී සිදු කරන්නකි.
කුශලයක සෝමනස්ස සහගත උපේක්ෂා සහගත භාවය හා අසංස්කාරික සසංස්කාරික භාවය විපාක දීමේදී බල පවත්වන කරුණු නො වේ. එබැවින් සෝමනස්ස සහගත කුශලයෙන් උපේක්ෂා සහගත විපාක ද, උපේක්ෂා සහගත කුශලයෙන් සෝමනස්ස සහගත විපාක ද, අසංස්කාරික කුශලයෙන් සසංස්කාරික විපාක ද, සසංස්කාරික කුශලයෙන් අසංස්කාරික විපාක ද ඇති වන බව සැලකිය යුතු ය.
ත්‍රිහේතුක ඕමක කුශලය හා ද්විහේතුක උත්කෘෂ්ට කුශලය ද්විහේතුක ප්‍රතිසන්ධිය දී, ප්‍රවෘත්ති කාලයෙහි ඤාණ විප්පයුත්ත මහා විපාක සතරය, අහේතුක කුශල විපාක අටය යන විපාක දොළොස ඇති කරන්නේ ය.
ද්විහේතුක ඕමක කුශලය අහේතුක ප්‍රතිසන්ධිය දී ප්‍රවෘත්ති කාලයෙහි අහේතුක කුශල විපාක අට පමණක් ඇති කරන්නේ ය.
“අසංස්කාරික කුශලයෙන් සසංස්කාරික විපාකත් සසංස්කාරික කුශලයෙන් අසංස්කාරික විපාකත් ඇති නො වේය” යන ආචාර්‍ය්‍යවාදයක් ද ඇත්තේ ය. එය බොහෝ ආචාර්‍ය්‍ය වරයන් විසින් පිළිගන්නා ලද්දක් නො වේ. සිත්වල අසංස්කාරික සසංස්කාරික භාවය අතීත කර්ම හේතුවෙන් වන්නක් නො ව, ඒ ඒ සිත් උපදවන අවස්ථාවේ ඇති කරුණු අනුව සිදුවන්නකි.
රූපාවචර කුශලයේ විපාක
රූපාවචර කුශලය ද පරිත්තය-මධ්‍යමය-ප්‍රණීතය කියා තෙවැදෑරුම් වේ. හීන වූ ඡන්දාදියෙන් යුක්ත වන රූපාවචර කුශලය පරිත්ත නම් වේ. මධ්‍යම ඡන්දාදියෙන් යුක්ත කුශලය මධ්‍යම ය. උසස් වූ ඡන්දාදියෙන් යුක්ත වන කුශලය ප්‍රණීත කුශලය වේ.
කාමාවචර කුහලය දුබල සිතෙකි. එබැවින් එයින් එය හා සමාන වූ ද, සමාන නොවූ ද බොහෝ විපාක සිත් නානා ස්ථානයන්හි ඇති කරනු ලැබේ. රූපාවචර කුශලය බලවත් සිතකි. එබැවින් එය හා සමාන නො වන පහත් විපාක සිත් එයින් නූපදවනු ලැබේ. එයින් විපාක උපදවන්නේ උසස් තැනක් වූ බ්‍රහ්මාත්ම භාවයෙහි පමණෙකි. බ්‍රහ්මාත්ම භාවයෙහි වුව ද කුශලයට සමාන වූ ධ්‍යාන සිත් ම ප්‍රතිසන්ධි භවාඞ්ග ච්‍යුති වශයෙන් එයින් ඇති කරනවා මිස අන් සිතක් ඇති කරනු නො ලැබේ.
පරිත්ත වූ රූපාවචර ප්‍රථම ධ්‍යාන කුශලයෙන් බ්‍රහ්මපාරිසජ්ජයෙහි උපදිති. මධ්‍යම ප්‍රථම ධ්‍යාන කුශලයෙන් බ්‍රහ්මපුරෝහිතයෙහි උපදිති. ප්‍රථමධ්‍යානයෙන් මහා බ්‍රහ්මයෙහි උපදිති.
පරිත්ත වූ ද්විතීය තෘතීය ධ්‍යාන කුශලයන්ගෙන් පරිත්තාභයෙහි ද මධ්‍යම කුශලයන්ගේන අප්පමාණාභයෙහි ද, ප්‍රණීත කුශලයන්ගෙන් ආභස්සරයෙහි ද උපදිති.
පරිත්ත වූ චතුර්ථ ධ්‍යානයෙන් පරිත්තසුභයෙහි ද, මධ්‍යමයෙන් අප්පමාණසුභයෙහි ද, ප්‍රණීතයෙන් සුභකිණ්හයෙහි ද උපදිති.
පඤ්චම ධ්‍යානයෙන් වේහප්ඵලයෙහි උපදිති. පඤ්චමධ්‍යානය ම සංඥා විරාග වශයෙන් වඩා, අසංඥ සත්ත්වයන් කෙරෙහි උපදිති. ඇතැම් කර්මවාදී තීර්ථකයෝ “සිත ඇති කල්හි ඇලීම් විරුද්ධ වීම් මුළාවීම් ඇත්තේ ය. සිත නැති කල්හි ඒවා නැතය” යි සිතෙහි දොස් දැක අචිත්තක භවයක් පතා වායෝ කසිණ භාවනාවෙන් පඤ්චම ධ්‍යානය උපදවා අසංඥ භවයෙහි උපදිති. ඔවුහු මළ ඉරියව්වෙන් එහි උපදිති.
පඤ්චම ධ්‍යානලාභී අනාගාමීහු ද සුද්ධාවාසයෙහි උපදිති. සුද්ධාවාසයෙහි අන්‍යයෝ නූපදිති. අනාගාමීන් ගෙන් ද ශ්‍රද්ධාධිකයෝ අවිහයෙහි ද, වීර්‍ය්‍යාධිකයෝ අතප්පයෙහි ද, ස්මෘත්‍යාධිකයෝ සුදස්සයෙහි ද, සමාධ්‍යාධිකයෝ සුදස්සියෙහි ද, ප්‍රඥාධිකයෝ අකනිට්ඨකයෙහි ද උපදිති.
අරූප ධ්‍යානලාභීහු පිළිවෙළින් ආකාසානඤ්චායතනාදි භූමිවල උපදිති.