රූපයෝ තනි තනි ව උපන්නාහු නො වෙති. තවත් රූපවලට සම්බන්ධ නො වී තනි ව ඉපදිය හැකි පැවතිය හැකි ශක්තියක් රූපවලට ඇත්තේ ද නැත. ඒවා ඇති වන්නේ ද පවතින්නේ ද සමූහ වශයෙනි. ඒ එක් එක් සමූහයක අඩු ගණනින් රූප අටක් වත් ඇත්තේ ය. එක් ව ඇති වන්නා වූ ඒ රූප සමූහවලට රූපකලාප යයි කියනු ලැබේ.
රූප කලාපයට පර්‍ය්‍යන්ත පරිච්ඡේදයක් ඇත්තේ ය. රූප කලාපයට අයත් වෙන් වෙන් වූ රූපවලට පර්‍ය්‍යන්ත පරිච්ඡේදයක් නැත්තේ ය. එක් කලාපයක රූප පවත්නේ එක් රූපයක් අනික් රූපවල ගැලී තිබෙන්නාක් මෙනි. අනික් රූප ද ඒ රූපයෙහි ගැලී තිබෙන්නාක් මෙනි. තවත් ක්‍රමයකින් කියත හොත් එක් රූපයක් අනික් රූප ගිලගෙන සිටින්නාක් මෙනි. අනික් රූප ඒ රූපය ගිලගෙන සිටින්නාක් මෙනි. මේ කාරණය පැහැදිලි කිරීමට උපමාවක් ද නැත. එහෙත් යම්තමට කාරණය තේරුම් ගැනීමට උපකාර වන උපමාවක් දැක්විය හැකි ය. ඒ මෙසේ ය:-
හාල් පිටි - තිරිඟු පිටි - කුරක්කන් පිටි - බාර්ලි පිටි යන මේ සතර වර්ගයෙන් ස්වල්පය බැගින් ගෙන හොඳින් මිශ්‍ර කොට වතුරෙන් අනා ගුළියක් කළ කල්හි “සහල් පිටි ඇත්තේ කොහි දැ” යි විචාළ හොත් ඉතිරි පිටි තුන් පංගුවෙහි ගිලී ඇති බව කිය යුතු ය. “තිරිඟු පිටි ඇත්තේ කොහිදැ” යි විචාරත හොත් එයත් ඉතිරි පිටි තුන් පංගුවෙහි ගිලී ඇති බව කිය යුතු ය. “කුරක්කන් පිටි ඇත්තේ කොහිදැ” යි විචාරත හොත් එයත් ඉතිරි පිටි තුන් පංගුවෙහි ගිලී ඇති බව කිය යුතු ය. “බාර්ලි පිටි ඇත්තේ කොහිදැ” යි විචාරත හොත් එයත් ඉතිරි පිටි තුන් පංගුවෙහි ගිලී ඇති බව කිය යුතු ය. දැන් ඒ සියල්ල ම එකතු කොට බැලුව හොත් ඒ පිටි සතර වර්ගය ඔවුනොවුන් ගිලගෙන සිටින බව ඔබට තේරුම් ගත හැකි වනු ඇත. පිටි ගුළියෙහි පිටි මෙන් රූප කලාපයක රූපත් ඔවුනොවුන් ගිල ගෙන සිටින්නාක් මෙන් මිශ්‍ර වී ඇති බව දත යුතු ය. මිශ්‍ර වුව ද පිටි ගුළියෙහි කුඩා පිටි කැබලි ඇත්තේ වෙන් වෙන් වශයෙනි. රූප කලාපයක රූපවල එසේ වෙන් ව පැවැත්මක් නැත්තේ ය. එහි ඇත්තේ අතරක් නැති සම්පූර්ණ මිශ්‍රණයෙකි. රූප කලාපයක ප්‍රමාණය නො කිය හැකි ය. එය පරමාණුවට ද වඩා බොහෝ කුඩා ඇසට නො පෙනෙන දෙයකි.
එකට ඉපදීමය, එකට බිඳීමය, එක නිඃශ්‍රයක් ඇති බව ය, එකට පැවැත්මය යන මේවා රූප කලාපයේ ලක්ෂණයෝ ය. රූප කලාප සෑදීමත් ක්‍රමයක් අනුව සිදු වන්නකි. එබැවින් රූප කලාප එක විස්සක් වේ. ඒ එක් විස්සෙන් කර්මයෙන් හටගන්නා කලාප නවයෙකි. චිත්තයෙන් හටගන්නා කලාප සයකි. සෘතුවෙන් හටගන්නා කලාප සතරකි. ආහාරයෙන් හටගන්නා කලාප දෙකකි.
කර්මජ කලාප නවය
- ජීවිත රූපය, අවිනිබ්භෝග රූප අටය, චක්ෂුඃ ප්‍රසාදය යන රූප දශය එක් වීමෙන් සෑදෙන කලාපය චක්ෂුර් දශක කලාප නම් වේ.
- ජීවිත රූපය, අවිනිබ්භෝග රූප අටය යන මේ නවයට ශ්‍රෝත්‍ර ප්‍රසාදය එක් වීමෙන් සෑදෙන කලාපය ශ්‍රෝත්‍ර දශක කලාප නම් වේ.
- ඒ නවයට ඝ්‍රාණ ප්‍රසාදය එක් වීමෙන් සෑදෙන කලාපය ඝ්‍රාණ දශක කලාප නම් වේ.
- ඒ නවයට ජිහ්වා ප්‍රසාදය එක් වීමෙන් සෑදෙන කලාපය ජිහ්වා දශක නම් වේ.
- කාය ප්‍රසාදය එක් වීමෙන් සෑදෙන කලාපය කාය දශක නම් වේ.
- ස්ත්‍රී භාව රූපය එක්වීමෙන් සෑදෙන කලාපය ස්ත්‍රීභාව දශක නම් වේ.
- පුරුෂ භාව රූපය එක් වීමෙන් සෑදෙන කලාපය පුම්භාව දශක නම් වේ.
- හෘදය රූපය එක් වීමෙන් සෑදෙන කලාපය වස්තු දශක නම් වේ.
- අවිනිබ්භෝග රූප අටට ජීවිත රූපය එක් වීමෙන් සෑදෙන කලාපය ජීවිතනවක නම් වේ.
මෙසේ කර්‍මජ කලාප නවයක් වේ.
චිත්තජ කලාප සය
- අවිනිබ්භෝග රූප අට ශුද්ධාෂ්ටක කලාපය නම් වේ.
- ඒ අටට කාය විඤ්ඤත්තිය ද එක් වීමෙන් සෑදෙන කලාපය කායවිඤ්ඤත්ති නවක නම් වේ.
- ඒ අටට වචී විඤ්ඤත්තිය හා ශබ්ද රූපය එක් වීමෙන් සෑදෙන කලාපය වචීවිඤ්ඤත්තිදසක නම් වේ.
- අවිනිබ්භෝග රූප අටට ලහුතාදි තුන එක් වීමෙන් සෑදෙන කලාපය ලහුතාදේකාදසක නම් වේ.
- අවිනිබ්භෝග රූප අටට කායවිඤ්ඤත්තිය හා ලහුතාදි තුන එක් වීමෙන් සෑදෙන කලාපය කායවිඤ්ඤත්ති ලහුතාදි ද්වාදසක නම් වේ.
- අවිනිබ්භෝග රූප අටට වචීවිඤ්ඤත්තිය හා ශබ්දයත් ලහුතාදි තුනක් එක් වීමෙන් සෑදෙන කලාපය වචීවිඤ්ඤත්ති සද්ද ලහුතාදි තේරසක නම් වේ. මෙසේ චිත්තක කලාප සයකි.
සෘතුජ කලාප සතර
- ශුද්ධාෂ්ටක කලාපය
- ශබ්දනවක කලාපය
- ලහුතාදේකාදශක කලාපය
- ශබ්දලහුතාදි ද්වාදශක කලාපය
මෙසේ සෘතුජ කලාප සතරෙකි.
ආහාර කලාප දෙක
- ශුද්ධාෂ්ටකය
- ලහුතාදේකාදශකය
මෙසේ ආහාරජ කලාප දෙකකි.
මේ එක්විසි රූප කලාපයන් අතුරෙන් ශුද්ධාෂ්ටකය ශබ්ද නවකය යන සෘතුජ කලාප දෙක සත්ත්ව ශරීරයෙන් පිටත ද ඇත්තේ ය. ඉතිරි කලාප එකුන්විස්ස සත්ත්ව ශරීරයන්හි මිස, පිටත නො ලැබෙන්නේ ය.
පස් - ගල් - ගින්දර - වතුර - සුළඟ - මල් - කොළ - ගෙඩි - පොතු - මුල් - අරටු ආදි වශයෙන් ලෝකයෙහි යම් යම් දෙයක් වේ නම්, ඒ සියල්ල ම ශුද්ධාෂ්ටක කලාපයෝ ම ය. සත්ත්ව ශරීරවලත් වැඩි හරියක් ඇත්තේ ශුද්ධාෂ්ටක කලාපයන් ම ය. පැහැයෙන් ද සටහනින් ද රසයෙන් ද තද බව මොළොක් බව රළු බව සිනිඳු බව ආදි ගුණවලින් ද බරෙන් ද එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් වන අනේක ප්‍රකාර වස්තූන් එක ම ශුද්ධාෂ්ටක කලාපයෙන් ඇති වන්නේ, ශුද්ධාෂ්ටක කලාප සෑදී ඇති මහාභූතයන් ගේ වෙනස් කමෙනි. ශුද්ධාෂ්ටක කලාපවලින් සමහරෙක පෘථිවි ධාතුව උත්සන්න ය. අනික් ධාතු තුන හීන ය. සමහරෙක පෘථිවි ආපෝ ධාතු දෙක උත්සන්න ය අනික් ධාතු දෙක හීන ය. මෙසේ ඒ ඒ ධාතුවල වෙනස්කම්වලින් වර්ග දහස් ගණනක ශුද්ධාෂ්ටක කලාප ඇත්තේ ය. එක ම ශුද්ධාෂ්ටක කලාපයෙන් නානාප්‍රකාර වස්තු සෑදී ඇත්තේ මේ ධාතු නානාත්වය නිසා ය. ආකාශ ධාතු රූප කලාපයන් එකිනෙකින් වෙන් කරමින් ඒවායින් පිටත සිටින්නක් බැවින් කලාපවලට අයත් නො වේ. ලක්ෂණ රූප සතරක් කලාපයන්ගේ ලක්ෂණ මාත්‍රයක් බැවින් ඒවාට ඇතුළත් නො වේ.