සම්මාදිට්ඨි සම්මාසංකල්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්ප මිච්ඡාවායාම මිච්ඡාසමාධි කියා මාර්ගාඞ්ග දොළොසෙකි.
මෙහි සම්මා දිට්ඨි යනු ප්‍රඥා චෛතසිකය ය. සම්මා සඞ්කප්ප යනු විතර්ක චෛතසිකය ය. සම්මා වාචාදි තුන විරති චෛතසිකයෝ ය. සම්මා වායාම යනු වීර්‍ය්‍ය චෛතසිකය ය. සම්මා සති යනු සති චෛතසිකය ය. සම්මා සමාධි යනු ඒකග්ගතා චෛතසිකය ය. මිච්ඡාදිට්ඨි යනු අකුශල දිට්ඨි චෛතසිකය ය. මිච්ඡාසංකප්ප යනු අකුශල චිත්තයන්හි යෙදෙන විතර්ක චෛතසිකය ය. මිච්ඡා වායාම යනු අකුසල් සිත්වල යෙදෙන වීර්‍ය්‍ය චෛතසිකය ය. මිච්ඡා සමාධි යනු විචිකිච්ඡා සහගත සිත හැර ඉතිරි අකුශල චිත්තයන්හි ඒකග්ගතා චෛතසිකය ය. විචිකිච්ඡා සහගත සිත්හි ඒකග්ගතාව ඉන්ද්‍රිය - බල භාවයට ද නො පැමිණෙන බව මතක තබා ගත යුතු ය.
මෙහි විතක්ක - විරිය - ඒකග්ගතා යන චෛතසික තුන දෙතැන දෙතැන යෙදී ඇති බැවින් ධර්ම වශයෙන් ලැබෙන්නේ මාර්ගාඞ්ග නවයෙකි. ප්‍රඥා - විතර්ක - සම්මා වාචා - සම්මාකම්මන්ත - සම්මා ආජීව - වීර්‍ය්‍ය - සති - ඒකග්ගතා - දිට්ඨි යනු මාර්ගාඞ්ග වන චෛතසික නවය ය.
සම්මා දිට්ඨි ආදි මේ ධර්මයෝ සමූහ සමූහ වී සිත දුර්ගතියට අභිමුඛ කොට අකුශල විෂයයෙහි ද, සුගතියට හා නිවනට අභිමුඛ කොට කුශල ක්‍රියා විෂයයෙහි ද ගමන් කරවති. දුර්ගති සුගති නිර්වාණයන්ට පමුණුවන මාර්ගයන්ගේ අඞ්ග වීමෙන් සම්මා දිට්ඨි ආදිය මාර්ගාඞ්ග නම් වෙති. මෙහි මාර්ග යයි කියනුයේ උපායට ය.
ප්‍රාණඝාත කර්මයෙහි විතක්ක - විචාර - දෝමනස්ස - ඒකග්ගතා යන චතුරඞ්ගික ධ්‍යානය ද, මිච්ඡාසඞ්කප්ප - මිච්ඡාවායාම - මිච්ඡාසමාධි යන අඞ්ග තුනෙන් යුක්ත වන මාර්ගය ද ලැබේ. මෙසේ සකල කුශලාකුශලයන් විෂයයෙහි ධ්‍යාන හා මාර්ග ලැබෙන සැටි ඒ ඒ සිත්වල යෙදෙන චෛතසිකයන් අනුව තේරුම් ගත යුතු ය.
4 වන පාඩම