ආහාර

කබලිංකාර ආහාරය, ඵස්ස ආහාරය, මනෝසඤ්චේතනා ආහාරය, විඤ්ඤාණ ආහාරය යි ආහාර සතරකි.

ආහාර යන වචනයේ තේරුම ‘යම් කිසි ඵලයක් ඇති කරන හේතුවය’ යනු යි. නොයෙක් දේ ඇති කරන හේතු බොහෝ ඇත්තේ ය. ඒ හේතූන් අතුරෙන් කබලිංකාරාහාරාදි සතර ආධ්‍යාත්මික සන්තානයට අයත් නාම රූපයන්ගේ ඇති වීමට හා පැවැත්මට විශේෂයෙන් හේතු වන බැවින් ඒවාට ‘ආහාර’ යන නාමය දී තිබේ.

කබලිංකාරාහාරය යනු අනුභව කරන ආහාරවල ඕජාව ය. එයින් ශරීරයෙහි ආහාරජ රූප ඇති කරනු ලැබේ. වී ඇටයක බලය ප්‍ර‍ධාන වන්නේ ගොයම් පැළය ඇති කිරීමට ය. ඇති වූ ගොයම් පැළයේ වැඩීමට හා මාස ගණනක් පැවැත්වීමට ප්‍ර‍ධාන හේතු වන්නේ පෝර හා වතුර ය. එමෙන් කබලිංකාරාහාරයෙන් ජීවත් වන සත්ත්වයනට කර්මය ප්‍ර‍ධාන වන්නේ ප්‍ර‍තිසන්ධියේ දී රූප ඇති කිරීමට ය. ඉන් පසු සත්ත්වයාගේ වැඩීමට හා කලක් ජීවත් වීමටත් ප්‍ර‍ධාන වන්නේ සෘතු, ආහාර දෙක ය. කර්මජ රූප පරම්පරාව මරණය තෙක් පවත්නේ සෘතු ආහාරයන්ගේ අනුග්‍ර‍හයෙනි. සෘතුවට ද තමාගේ කෘත්‍යය කළ හැකි වන්නේ ආහාරයේ උපකාරය ලැබෙත හොත් ය. එබැවින් සත්ත්වයාගේ වැඩීමට හා කලක් ජීවත් වීමට ආහාරයාගේ උපස්තම්භනය ම ප්‍ර‍ධාන වේ. එබැවින් කබලිංකාරාහාරය විශේෂ හේතුවක් වශයෙන් වදාරා තිබේ.

ඵස්සාහාරය යනු ඵස්ස චෛතසිකය ය. එයින් වේදනාව ඇති කරනු ලැබේ. පක්ෂීහු ඔවුන් ගේ තුඩින් ආහාර ගෙන ජීවත් වෙති. තුඩ නැති වුව හොත් ආහාර ගැනීමට ක්‍ර‍මයක් නැතිව ඔවහු මැරෙන්නාහ. එමෙන් මේ සත්ත්වයෝ ඵස්සය නිසා ආරම්මණ රසය ලබා වේදනාවන් ඇතිවීමෙන් තණ්හාව ඇති කර ගෙන සංසාරය දික් කර ගනිති. ඵස්සයක් නැති නම් වේදනා තණ්හාවන්ට ඇතිවිය නොහී සංසාරය සිඳී යන්නේ ය. සංසාර ප්‍ර‍වෘත්තියට ඵස්සය ප්‍ර‍ධාන හේතුවක් වේ. එබැවින් එය ආහාර නාමයෙන් වදාරා තිබේ.

මනෝසඤ්චේතනා ආහාරය යනු කුශලාකුශල චේතනාව ය. එයින් කාම - රූප - අරූප යන භවත්‍රයෙහි ප්‍ර‍තිසන්ධිය ඇති කරනු ලැබේ. පක්ෂීහු ගසින් ගසට පියාඹා ආහාර සපයා ගෙන ජීවත් වෙති. එමෙන් මේ සත්ත්වයෝ කර්ම බලයෙන් භවයෙන් භවයට යෙමින් සංසාරය පවත්වති. ඉදින් සත්ත්වයා නැවත නැවත භවයෙන් භවයට යවන කර්මය නැති නම් සංසාර ප්‍ර‍වෘත්තිය නො වන්නේ ය. සංසාරය දිගින් දිගට නොසිඳී පැවැත්මට කර්මය ද විශේෂ හේතුවකි. එබැවින් එයට ද ආහාර නාමය දී තිබේ.

විඤ්ඤාණාහාරය යනු චිත්තය ය. එයින් ප්‍ර‍තිසන්ධියේ දී ස්පර්ශ වේදනාදි නාම ධර්මයන් හා කර්මජරූප ඇති කරනු ලැබේ. ප්‍ර‍වෘත්ති කාලයේ දී ද චිත්තජ රූප හා චෛතසික ධර්ම එයින් ඇති කරනු ලැබේ. විඤ්ඤාණයක් නැති නම් නාමරූපයන් ඇති නො වී සංසාරය බිඳී යන්නේ ය. සංසාර ප්‍ර‍වෘත්තියට විඤ්ඤාණය ද ප්‍ර‍ධාන හේතුවකි. එබැවින් එයට ද ආහාර නාමය දී තිබේ.

ආහාර සතරෙන් කබලිංකාරාහාරය රූපාහාරය ය. ඉතිරි තුන අරූපයෝ ය.