සිත තනි ව උපදින දෙයක් නො වේ. තනි ව ඉපදිය හැකි ශක්තියක් ද එයට නැත. සිතක් උපදනා කල්හි එය හා සර්වාකාරයෙන් මිශ්‍ර බවට පැමිණ එය හා එක වර ම ඉපද එකට පැවතී එකට ම බිඳෙන සිතෙහි ගුණ වැනි වූ ක්‍රියා කොටසක් ඇත්තේ ය. චෛතසික යයි කියනුයේ ඒවාය. සිත හා එකට ඉපදීම ය, එකට බිඳීම ය, එක අරමුණක් ඇති බවය, එක් වස්තුවක් ඇසුරු කොට පවත්නා බව ය යන මේ කරුණු සතර චෛතසිකයේ ලක්ෂණය යි පූර්වාචාර්‍ය්‍යවරයෝ පැවසූහ. චිත්ත චෛතසිකයන්ගේ තත්ත්වය ප්‍රකාශ කිරීමේ දී කසායෝපමා, මල්පොකුරු උපමා ආදිය ආචාර්‍ය්‍යවරයෝ දක්වති. ද්‍රව්‍ය නොවූ ක්‍රියා මාත්‍රම වූ චිත්ත චෛතසිකයන්ගේ තත්ත්වය දැක්වීම ඒවායින් සිදුකළ හැකිය යි නො සිතමි. චිත්ත චෛතසික තත්ත්වය අප විසින් උපමාවෙන් දක්වන්නේ මෙසේ ය.
මිනිසකු ගෙයක සිට ගසක් වෙත යන කල්හි මිනිසා ගේ ගමන ක්‍රියාව හා එකවර පටන් ගෙන එකට පැවත එකවර අභාවප්‍රාප්ත වන්නාවූ කවර ආකාරයකින් වත් ඔවුනොවුන් වෙන් නො කළ හැකි සේ එකට බැඳී පවත්නා වූ සර්වාකාරයෙන් මිශ්‍රව පවත්නා වූ තවත් ක්‍රියා දෙකක් සිදු වේ. එනම් මිනිසා ගෙයින් ඈත් වීම හා ගසට ළං වීම ය. ගමන ක්‍රියාව සිදු කරන මිනිසාගේ පියවරක් පාසා ම ඔහුට ගෙය දුර වීමත් ගස ළං වීමත් සිදු වේ. යෑමේ පටන් ගැනීම දුර වීම්, ළං වීම් දෙකේ ද පටන් ගැනීම ය. යෑමේ පැවැත්ම දුර වීම, ලං වීම දෙකේ ද පැවැත්මය. යෑමේ නැවැත්ම දුර වීම් ළං වීම් දෙකේ නැවැත්ම ය. දුර වීම්, ළං වීම් දෙක සිදු නොවන්නට කවර ආකාරයකින් වත් යෑම නො කළ හැකිය. එබැවින් දුර වීම, ළං වීම, දෙකින් යෑම් හෝ යෑමෙන් දුර වීම්, ළං වීම් දෙක හෝ කවර ආකාරයකින් වත් වෙන් නො කළ හැකි ය.
එහෙත් දුර වීම් ළං වීම් දෙක සිදු වනුයේ ගමන ක්‍රියාව නිසා ය. එබැවින් ගමන ක්‍රියාව එහි ප්‍රධාන ය. ඉතිරි දෙක අප්‍රධාන ය. මේ අප විසින් චිත්ත චෛතසික තත්ත්වය දැක්වීමට ගන්නා වූ උපමාව ය. මේ උපමාව ද මඳක් ගැඹුරු ය. පළමු කොට උපමාව හොඳින් තේරුම් ගෙන පසුව අර්ථය හා සසඳා බලනු.
මෙහි ප්‍රධාන වූ ගමන ක්‍රියාව මෙන් සිත දත යුතුය. අප්‍රධාන වූ දුර වීම්, ළං වීම් දෙක මෙන් චෛතසික දත යුතු ය. දුර වීම්, ළං වීම් දෙක නො වන්නට ගමන ක්‍රියාව නො කළ හැකිවාක් මෙන් චෛතසිකයන්ගෙන් තොර ව සිතට නූපදිය හැකි බව දත යුතු ය. දුර වීම්, ලං වීම් දෙකින් ගමන ක්‍රියාව හෝ ගමන ක්‍රියාවෙන් දුර වීම්, ලං වීම් දෙක හෝ වෙන් නො කළ හැකිවාක් මෙන් චෛතසිකයෙන් සිත හෝ සිතින් චෛතසිකය හෝ වෙන් නො කළ හැකි බව දත යුතුය. ගමනය, දුරවීමය, ළංවීමය යන මේවා එකට පටන් ගෙන එකට පැවතී එකට නවත්නාක් මෙන් සිතේ හා චෛතසිකයන්ගේ එකට ඉපදීම ය, එකට පැවැත්මය, එකට බිඳීමය යන මේ තුන දත යුතු ය. ගමනාදී ක්‍රියා තුන, යන පුද්ගලයා ඇසුරු කොට පවත්නාක් මෙන් චිත්ත චෛතසිකයන් එක වස්තුවක් ඇසුරු කොට පවත්නා බව දත යුතු ය.