ඵස්සය

සිතින් දත හැකි සිතට දැනෙන දේවලට අරමුණු යයි කියති. ඒ අරමුණු පිළිබඳ දැනුම සිතය, එය ක්‍රියාවෙකි. එහෙත් කථා කිරීමේදී පහසුව පිණිස දැනීම කරන කර්තෘ කෙනකු සැටියට ද පුද්ගලයකු විසින් කරන දැන ගැනීමට උපකරණයක් වශයෙන් ද ගෙන සිත පිළිබඳව කථා කරනු ලැබේ. “සිතට සැම දෙය ම දැනේ ය” යි කියනුයේ සිත “දැනීම” කරන කර්තෘ කෙනකු වශයෙන් ගැනීමෙනි. “මිනිසා සිතින් දැන ගන්නේය” යි කියනුයේ සිත උපකරණයක් වශයෙන් ගැනීමෙනි. කීම කෙසේ කළත් සැම කල්හි ම සිත ක්‍රියාවක් වශයෙන් ම සැලකිය යුතු ය. තේරුම් ගත යුතුය. අඳුරෙහි අතගාන්නා වූ කෙනකුට දැනෙනුයේ අතේ සැපුණ දෙයක් පමණකි. නො සැපුණු දෙයක් නො දැනේ. එමෙන් සිතට දැනෙනුයේ ද සිතෙහි සැපුණු දෙයක් පමණෙකි. කැපිය යුතු වස්තුවක් සම්බන්ධයෙන් නැතිව කැපීමක් නො විය හැකිවාක් මෙන් ද, කෑ යුතු දෙයක සම්බන්ධයක් නැතිව කෑමක් නොවිය හැකිවාක් මෙන් ද, ඇල්ලිය යුතු දෙයක් නැතිව ඇල්ලීමක් නොවිය හැකිවාක් මෙන් ද, දත යුතු දෙයක සම්බන්ධයෙන් තොරව දැනීමක් ද නො විය හැකිය. දැනීමක් ඇතිවීමට සැම කල්හි ම දත යුතු දෙයක සම්බන්ධයක් තිබිය යුතු ය. සිත සෑම කල්හි ම උපදිනුයේ දත යුතු දෙය හා ගැටී එය බදාගෙන ම ය. දැනීම අනෙකකි. එය විඤ්ඤාණය ය. දත යුත්ත හා ගැටීම; දැනීම නමැති ප්‍ර‍ධාන ක්‍රියාව සිදු වීමෙහි දී එය හා බැඳී සිදු වන්නා වූ අන් ක්‍රියාවෙකි. අප්‍ර‍ධාන ක්‍රියාවක් වූ එය ස්පර්ශ චෛතසිකය ය. දැනීම නොවී ගැටීම නො වියහැකි ය. ගැටීම නො වී දැනීම නො විය හැකිය. එබැවින් ඒ දෙකට පෙර පසු වී සිදු නො විය හැකිය. වෙන්වී ද සිදු නො විය හැකිය. එකකට වඩා දික් කලක් අනෙකට නො පැවතිය හැකි ය. ඒ ධර්ම දෙක එකට ම ඉපද එකට ම පැවතී එකට ම බිඳී යා යුතු ය. අඳුරේ අතගාන තැනැත්තාට අත නො පැමිණි තැන නො දැනෙන්නාක් මෙන් ස්පර්ශ වීම් වශයෙන් සිත නො පැමිණි තැන සිතට නො දැනෙන්නේ ය. යම් පමණක් පිළිබඳ දැනීමක් වේ නම් එතැනට සිත පැමිණියේ යයි කිය යුතුය. එබැවින් ස්පර්ශයාගේ වශයෙන් සිතේ ප්‍ර‍මාණය හෙවත් කුඩා මහත් බව කිය යුතුය. කුඩා වස්තුවක් අරමුණු කරන සිත කුඩා ය. ලොකු දෙයක් අරමුණු කරන සිත මහත් ය. මහත් දෙයකින් කොටසක් අරමුණු කරන සිත කුඩා ය. සියල්ල අරමුණු කරන සිත මහත් ය. මෙසේ ස්පර්ශය අනුව සිතේ ප්‍ර‍මාණය සැලකිය යුතු ය.

මෙහි අදහස් කරන ස්පර්ශය වස්තු දෙකක ඔවුනොවුන්ට ලං වීම වැනි දෙයක් හෝ ආලෝක ධාරාවක් බිත්ති ආදියක සැපීම වැනි ස්පර්ශයක් හෝ නොවේ. රූප ධර්ම කෙරෙහි මුත් මේ නාම ධර්ම විෂයෙහි එබඳු ස්පර්ශයක් නො ලැබිය හැකි ය. එබඳු ස්පර්ශයක් වීමට නම් කොළඹ සිට රුවන්වැලි සෑය ගැන සිතන්නහු ගේ සිත අනුරාධපුරය දක්වා දික් විය යුතුය. එංගලන්තය ගැන සිතන්නහු ගේ සිත එංගලන්තය දක්වා දික්විය යුතු ය. සිතෙහි එවැනි ස්වභාවයක් නැත. සිත් උපදිනුයේ ශරීරය තුළ ම ය. ශරීරයෙන් පිටතට එයින් කොටසක් යන්නේ නැත. සිතක් ඉපදීමට ඇත්ත වශයෙන් ම ආරම්මණයේ ස්පර්ශයක් වුවමනා නම් නැති දේවල් අරමුණු කරන සිත් වලට ඉපදිය හැකි බවක් නැත. නැතිම දේවල් අරමුණු කොට ද අතීතයේ තිබී දැන් නැති දේවල් අරමුණු කොට ද මෙතෙක් ඇති නොවූ අනාගත දේවල් අරමුණු කොට ද සිත් උපදනා බැවින් සිත ඇත්ත වශයෙන් ම ආරම්මණයේ හැපීමක් නොවී උපදනා බව තේරුම් ගත හැකිය. අතින් යම් කිසිවක් ගත හැකි වීමට, අත ගනු ලබන වස්තුවෙහි සැපීමක් විය යුතු ය. සිතීමත් අරමුණු ගැනීමකි. එබැවින් සිතක් ඇති වීමට ද ගැටීමක් විය යුතුය. එබැවින් සිත හා ආරම්මණයන් ගේ ස්පර්ශයක් ඇති බව ද කිය යුතුය. ස්පර්ශ චෛතසික යයි කියනුයේ එයට ය. එය වස්තු දෙකක ළං වීම වූ ගැටීමට වෙනස් වූවකි. වස්තු දෙකක ගැටීම නම්, දෙකින් එකකටවත් අයත් නොවන පරමාර්ථ වශයෙන් දැක්විය හැකි කිසිවක් නැති දෙයකි. චෛතසික ස්පර්ශය වනාහි පරමාර්ථ වශයෙන් ලැබෙන චිත්තාංගයකි. හෙවත් සිට අයත් වූවකි. එයට ස්පර්ශය යි කියනුයේ ඒ අර්ථය පැවසීමට සුදුසු අන් වචනයක් නැති නිසාත් ස්පර්ශයෙන් වන ඵලය එයින් සිදුවන නිසාත් ය. අතින් යම් කිසිවක් ගත හැකි වීම, අත ඒ වස්තුවේ ස්පර්ශවීමේ ඵලය ය, සිතට අරමුණ ගත හැකි වීම චෛතසික ස්පර්ශයාගේ ඵලය ය. ස්පර්ශ චෛසිකය කුමක් ද යන බව තේරුම් ගැනීමේ දී අතෙහි යම් කිසිවක් ගැටීමෙන් සිදුවන ඵලය බඳු ඵලයක් සිදු කරන එක්තරා චිත්තාංගයක් සැටියට තේරුම් ගත යුතු ය.

ශරීරය කුඩා දෙයකි. එහි ගස් ගල් කඳු සේ මහත් වූ චිත්ත චෛතසිකයන් උපදින්නේ කෙසේ ද? යනු මෙහි ඇති වන ප්‍ර‍ශ්නයකි. ශරීරය කුඩා බවත් සැබෑ ය. ප්‍ර‍මාණය කියත හොත් එයට වඩා ඉතා මහත් චිත්ත චෛතසිකයන් උපදනා බවත් සැබෑ ය. එය මෙසේ තේරුම් ගත යුතු ය. චිත්ත චෛතසික සංඛ්‍යාත නාම ධර්මයන්ගේ ස්වභාවය ගස් ගල් ආදි රූප ධර්මයන්ගේ ස්වභාවයට ඉතා වෙනස් ය. ඒවා ප්‍ර‍සාදයන්හි හෙවත් ඔපවල පහළ වන ඒවාය. ඉතා කුඩා කැඩපතක් ගෙන මුහුණ බැලුව හොත් මුහුණේ ඡායාව කුඩා නොවී නියම ප්‍ර‍මාණයට ම එහි තිබෙනු දැකිය හැකිය. කුඩා කැඩපත තුළ එයට වඩා මහත් වූ ඡායාවක් තිබෙන්නට බැරිය යි වාද කිරීමට එහි කරුණක් නැත. පිහිටි වස්තුවට වඩා මහත් වූ අභ්‍යන්තරයක් ඇති බව ඔපයේ ස්වභාවය ය. ඡායාවන්ට මිස වස්තූන්ට ඔපය තුළට නො වැදිය හැකිය. කුඩා කැඩපත ඔස්සේ අභ්‍යන්තරය ද ඉතා විශාල බැවින් ඔපය පිහිටි වස්තුවට වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් මහත් වූ ඡායාවන්ට ඒ ඔපයෙහි ඉඩ තිබේ. කුඩා වූ ශරීරය තුළ ගස් ගල් කඳු පමණට මහත් බව කිය යුතු චිත්ත චෛතසිකයන්ට ඉඩ ඇති බව ද කැඩපත්වල ඡායා පහළ වීමට අනුව සලකා ගත යුතු ය.

චිත්තයේ හා ස්පර්ශයේ සැටි තත් වූ පරිදි තේරුම් ගැනීම පහසු කරුණක් නො වේ. එය ඉතා ගැඹුරු කරුණකි. එය නිවැරදි ලෙස තේරුම් ගත හොත් අභිධර්මයේ උගන්වන ඉතිරි ධර්මයන් ගේ සැටි තෙරුම් ගැනීමට පහසු වන්නේ ය. චිත්ත ස්පර්ශ දෙක නිවැරදි ලෙස තේරුම් ගැනීම අභිධර්මය ඉගෙනීමේ අත්තිවාරම ය. මෙය මැනවින් අවබෝධ කර ගැනීමට උත්සාහ කෙරෙත්වා. ඒ ධර්ම දෙක මැනවින් තේරුම් නො ගත් පින්වත්හු අභිධර්මය දනුම්හ යි කියතත් ඔවුහු සත්‍ය වශයෙන් අභිධර්මය දන්නෝ නො වෙති.