ආරම්මණය ආශ්වාදනීය දෙයක් වශයෙන් ගෙන එහි ඇලෙන ස්වභාවය ලෝභය ය. ප්‍රාර්ථනාවය, ප්‍රේමයය, ආලයය, ආදරයය, ඕනෑකමය, ලොල් බවය, ගිජුබවය යනාදි නම්වලින් කියැවෙන්නේ ද ලෝභය ම ය. අඹුදරු ආදීන් කෙරෙහි පවත්නා ලෝභයට සමහර විට මෛත්‍රිය, කරුණාව යන නම් ද ධර්ම විභාග නො දන්නෝ කියති. පැවිද්දන් සම්බන්ධයෙන් පවත්නා ලෝභයට ශ්‍රද්ධාව යයි ද සමහරු කියති. මේ ලෝභය මාගේ ය, මාගේ යයි ආරම්මණයන් අල්ලා ගන්නා ස්වභාවයෙන් මක්කටාලේපය වැනිය. මක්කටාලේපය යනු වඳුරන් ඇල්ලීම පිණිස ගස්වල තබන තද ලාටු වර්ගයකි. එහි සැපුනු වඳුරාට යන්නට නො දී ඒ ලාටුවෙන් අල්ලා ගනු ලබන්නේය. එමෙන් ලෝභය ද මාගේ භාර්‍ය්‍යාවය, මාගේ හිමියා ය, මාගේ දරුවා ය, මාගේ ගෙය ය, මාගේ වත්තය, මාගේ කුඹුරය යනාදීන් හසු වූ දෙය තදින් අල්ලා ගන්නේය. ආරම්මණයෙහි එල්ලෙන ස්වභාවයෙන් ලෝභය රත් වූ කබලෙහි ලූ මස් කැබෙල්ලක් බඳු ය. රත් වූ කබලෙහි ලූ මස් කැබෙල්ල දැවි දැවී එහි ම ඇලෙන්නාක් මෙන් ලෝභය භාර්‍ය්‍යාවක් ඕනෑය, හිමියකු ඕනෑය, දරුවන් ඕනෑය, මිල මුදල් ඕනෑය, ඇඳුම් පැළඳුම් ඕනෑය යනාදීන් කාමනීය වස්තූන්හි එල්ලෙන්නේය. තෙල් සායම වස්ත්‍රාදි යමක තැවරුණ හොත් පහ කිරීමට ඉතා දුෂ්කරය. කොතෙක් සේදුව ද එය නො යයි. ලෝභය ද අල්ලා ගත් දෙය ලෙහෙසියෙන් නො හරනා බැවින් තෙල් සායමක් බඳුය. දිගින් දිගට යන ස්වභාවයෙන් එය ඟගක් වැනිය. ආරම්මණයෙහි වෙළෙන්නා වූ ස්වභාවයෙන් වැලක් බඳු ය. නො ලැබූ දෑ සෙවීම පිළිබඳ ලෝභයය, ලැබූ දෑ අයත් කර ගෙන සිටීම පිළිබඳ ලෝභයය, විෂය රස විඳීම පිළිබඳ ලෝභයය යි පවත්නාකාරයන්ගේ වශයෙන් ලෝභය තුන් ආකාර බව කිව යුතු ය. මෙය තවත් නොයෙක් ක්‍රමවලින් විභාග කර දක්වා තිබේ.