10. දිගම්බරදමන නම් පරිච්ඡේදය

පාඨිකපුත්‍ර[1] නුවටහු දැමු පරිදි කිසෙ යැ යත්:

විසාලා නුවරැ සුනක්ඛත්ත නම් ලිච්ඡවි රාජපුත්‍රයෙක් බුදුසස්නෙහි පැවිජි වැ බුදුනට මෙහෙ කරනුයෙ, එක් දවසක් බුදුන් කරා එළබැ, “දිවඇස් ලබන්නට යැ”යි පිළිවෙත් ඇරැ වියැ.[2] ඔහුට බුදුහු පිළිවෙත් වදාළහැ. හෙ වදාළ[3] නියායෙන් පිළිපැදැ දිවඇස් උපයා[4] දෙවියන් ගෙ උයන් විමන් කප්රුක් දැකැ සව්බරණින් සැදි රෑ දැක, “මොවුන්ගෙ හඬ මියුරු වුව මැනැවැ,[5] එ කිසෙ අසම් හො!”යි සිතා බුදුන් කරා එළඹැ දිවසොධා උපදනට නිසි පිළිවෙත් ඇරැවි යැ. හෙ අතීතයෙහි සිල්වත් පැවිජි කෙනකුන් කන්සක පැහැරැ බිහිරි කොටැ-පි යැ. එයින් උහුට දිවසොධා නො උපද්දි.[6] බුදුහු එ නොඋපදනාසෙ දැකැ එයට පිළිවෙත් නො වදාළහැ.

හෙ එ පමණෙකින් බුදුන් කෙරෙ වෙර[7] බැඳැ සිතී: “එකාන්තයෙන් මහණ ගොයුම් හට මෙබඳු සිතක් උපන්සෙ යැ.[8] ‘මම ද[9] රද්[10] දරුයෙමි, මෙයිත් රද්10 දරු යැ. ඉදින් මොහුගෙ නුවණ වැඩියෙ වී නම්, මෙ සර්වඥ වෙ’ යන සිතින් ඊර්ෂ්‍යායෙන් මට නො කියයි” සිතා එක් දවසක් බුදුන් කරා එළබැ “වහන්සෙ පියා[11] යෙමි, නිසා නො වෙසෙමි[12]” කී යැ. එකල්හි බුදුහු, “තො මා නිසා වසා යි මා තට කී දැයෙක් ඇද්ද?”යි වදාළහැ. “නැති, වහන්සෙ,”යි කී යැ. “මම් වහන්සෙ නිසා වෙසෙමි යි තා මට කී දැයෙක් ඇද්ද?”යි වදාළහැ. එයිද් නැතිසෙ කී යැ. මෙසෙ තා මට කී දෑ නැත.[13] මා තට කී දෑ නැත.13 මට කුමට කියහී?” වදාළො. “වහන්සෙ මට උතුරු මිනිස් ධැමින් පෙළහර නොදක්වන දෑ යැ”යි කී යැ. “තො මා නිසා වසා. මම් තට පෙළහර දක්වමි යි මා තට කී දැයෙක් ඇද්දැ”යි වදාළහැ. “නැති, වහන්සෙ”යි කී යැ. “මම වහන්සෙ නිසා වෙසෙමි, මට පෙළහර දක්වන්නෙ යැයි තා මට කී දැයෙක් ඇද්ද?”යි වදාළහැ. එයිදු නැතිසෙ කී යැ. “මා තට ප්‍රාතිහාර්යය කෙළෙන්[14] කිම? නොකෙළෙන1 කිම? එයින් තමට කවර ප්‍රයෝජන යැ? එකළ දු නොකළ දු මාගෙ සස්නට[15] වන පිරිහිණි නැති. මම් දෙව්මිනිසුන් අමා මහනිවන් පමුණුවනු සඳහා පැරුම් පිරුයෙමි. ප්‍රාතිහාර්යය කරනු සඳහා පිරුයෙම් නොවෙමි. මා තට කී දෑ නැත, තා මට කී දෑ නැත, මට කුමට කියහී?” වදාළහැ. “වහන්සෙ, මෙ නම් දැයෙක් ලොකයෙහි අග්‍ර යැයි අග පමණක් මට නොවදාරන දෑ යැ”යි කී යැ. “තො මා නිසා වසා, මම් තට අග පමණක් කියමි, මා තට කී දැයෙක් ඇද්දැ”යි වදාළහැ. “නැති, වහන්සෙ,”යි කී යැ. “මම් වහන්සෙ නිසා වෙසමි. මට අග පමණක් කියන්නෙ යැයි තා මට කී දැයෙක් ඇද්ද?”යි වදාළහැැ. “එයිද් නැතී” කී යැ. “සුනක්ඛත්තය, ලොකයෙහි මෙ නම් දෙයෙක්[16] අග්‍ර යැයි කීයෙන් කිම? නොකීයෙන් කිම? එයින් නිවන් සෑහෙන්න නොවෙ”යි වදාළහැ. සුනක්ඛත්ත, “බුදුන් ගෙ ගුණ මකමී” මෙතෙක් විප්‍රලාප බැළැ බුදුන් ගෙ කථා අස අසා පිහිට නොලදින් නොබැණැ සිටියෙ යැ.

“සුනක්ඛත්තයා[17] විසාලා නුවර වැදැ[18] පෙරැ[19] තුණුරුවන්හි ගුණ කියන කලැ මුව නො පොහොයි. දැන් එ මැ මීයෙන් අයුණු කියයි. බ්‍රම්සරවස් රක්නට නොපොහොසත් වූයෙ, තමා බාල වන බැවින් තුණුරුවන්හි අයුණු කියා ගිහි වැ වෙසෙ”යි,[20] බුදුහු වූ කල සව්නෙ දන්ති, ධම් නිය්‍යාණික යැ, සඟහු සුපිළිපන්නාහු යි, තුණුරුවන්හි ස්තොත්‍ර කරන මිනිස්හු තාගෙ දොස් දක්වතී වදාළො. මෙසෙ කුමට වදාළහැ? යත්: එ දොස් උපන් කලැ, “සව්නෙ දන්නා[21] බුදුහු මෙ දොස් දැකැ පළමු මට නො වදාළහ”යි නො කියවනු[22] සඳහා වදාළො.

එක් සමයෙක්හි බුදුහු ඛුලුජනවු[23] නම් ජනවියෙක්හි උතුරු නම් නියම්ගමක් නිසා වැඩැ වසනුවො පෙරවරු සුනක්ඛත්ත ලිච්ඡවිහි හා සමඟ ගමට වැඩියො. එකල්හි කොරක්ඛත්තිය නම් නුවටෙක් ‘බලුතව’ නම් තව කෙරෙයි. දෙ දණ හා දෙ වැලමිට බිමැ ඔබා ඇවිද්දි, බල්ලකු සෙ බිමැ කන බොන දෑ හිඹැ, බලා මීයෙන් මැ කයි. මීයෙන් මැ බොයි. අත් නො පහරවයි, ළුප්[24] දොරැ හළු පීරා-පියා[25] වැකැටි ගෙනැ[26] හොවී.[27] සුනක්ඛත්ත,[28] ඔහු දැකැ, “මෙ රාත් මහණෙකැ, මොහු හා සම අනෙක් මහණෙක් ඇත්තෙ නොවෙයි. මෙ අපිස් බැවින් පිළී නො හඳී, ප්‍රපඤ්චයෙන් භික්‍ෂා භාජන නො ගෙනැ ඇවිද්දි, බිමැ ඔත්තා මැ කයි, මෙ යැ “මහණ” නම් ඇපි කුමයන[29] මහණම්හ!” යි සව්නෙ දක්නා බුදුන් පස් පස්[30] යනුයෙ, මෙ පවිටු සිත් සිතී.

එ සඳැ බුදුහු, “මෙ සුනක්ඛත්ත පාපාධ්‍යාශය ඇත්තෙ යැ. මුහු දැකැ කුම්[31] සිති යැ හො!”යි බලන්නාහු, ඔහු ගෙ අදහස් දැනැ “මෙ මොඝපුරුෂ මා වැනි සව්නෙ දන්නා බුදු රජක්හු[32] පස් පස්8 එන්නෙ, නුවටුහ ‘රාත්හ’ යි සිතයි. මෙ බාලයා දැන් මැ නිගත මැනැවැ”යි සිතා, “තො මෙසෙ හීනාධ්‍යාශය ඇත්තෙහි, ‘මම් මහණ ශාක්‍යපුත්‍රයෙමී’ කුමට පිළින කෙරෙහී?” වදාළහැ. “වහන්සෙ, මාගෙ කවර වරදක් දැකැ වදාරන දෑ යැ?” යි කීයැ. “මෙ බලුතව කරන නුවටහු ‘රාත්හ’ යි ගත්හි නො?”යි වදාළහ. “කිම? වහන්සෙ, රාත් බැවැ මසුරු දෑ යැ හො?” යි කී යැ. “මොඝපුරුෂය, මම දෙව්මිනිසුන් රාත් වනු කැමැත්තෙමි. එමැ සඳහා යැ, මා පැරුම් පිරුයෙ. ‘රාත් බව් මට මිසැ[33] අන්නට නොද වෙව’ යි යන සිත් නැත්තෙමි. නොරාතන් ‘රාත්හ’ යන පවිට් දිට්හ යැ තට උපන්නෙ.[34] එ පියා.[35] බොහො කල්හි තට අහිතයට වැටෙයි. තා ‘රාත්හ’ යි

ගත් කොරක්ඛත්තිය නම් නුවට සත් දවසෙකින් ආලස්‍යයක් ඇති වැ මියැ කාල කඤ්ජක නම් අසුර කායෙහි උපද්දි. එහි ප්‍රෙතයන් තුන් ගවු පමණ අත්බව් වෙයි, ලෙ මස් නැති වන බැවින් පරණලා වැන්නහැ,[36] කකුළුවන් ගෙ ඇස් සෙයින් ඇස් නික්මැ[37] මුදුනෙහි සිටී[38] මුව[39] හිදිකටුසිදක් වැනි වැ මුදුනෙහි මැ සිටී, එයින් ගොදුරු ගන්නා කලැ නැඹුරු වැ මිසැ නොගත හෙති, මළ කලැ බීරණත්‍ථම්බක[40] නම් සොහොනට ඇදැ-පයිති. තො කැමැති වීහි නම්, උහු කරා ගොස් පිළිවිසැ දනැ”යි වදාළො.

සුනක්ඛත්ත ලිච්ඡවි, බුදුන් එ ගමැ වළඳා වෙහෙර වැඩි කල්හි කොරක්ඛත්තිය නුවටහු කරා ගොස් “මහණ ගොයුම් ‘තා අන් සත් දවසෙකින් ආලස්‍යයක් ඇති වැ මියැ කාල කඤ්ජක නම් අසුර කායෙහි උපදිතී,[41] මළහු බීරණත්‍ථම්භක නම් සොහොනැ ඇදැ-පීයති, කී යැ. තො මඳ මඳ කොටැ කා මඳ මඳ කොටැ බො.[42] මහණ ගොයුම්හු මුසවායෙන් නිගන්මහ”යි කී යැ. එ අසා නුවට බල්ලකු සෙ ළුප් දොරැ හොත්තෙ, හිස ඔසොවා ගෙනැ ඇස වැරැ[43] බලනුයෙ, “කුම් කියහි” මහණ ගොයුම් අප සතුරු, උහු[44] උපන් තැන් පටන් ගෙනැ ඇපි හිරු නැඟි කලැ[45] කද‍ොපැණියන් වැනි වුම්හ, ඔහු එසෙ කිවමනා11 මැ යැ, අන් සෙ කිව මනා[46] මැ යැ, සතුරහු[47] බස් නම් සබා වන්නෙ නොවෙයි, තො යා, මම් කළ මනා දැ[48] දන්මි” කියා එහි මැ බැසැ හොතැ.

එකලැ සුනක්ඛත්තයා බුදුන් නො හදනා එක් දවසකට තුන් වටෙකැ “එක් දා ගියෙ,[49] දෙ දා ගියෙ’යි ගොස් ගොස් කියයි. නුවට ඔහු ගෙ බස් අසා සත් දවසක් නිරාහාර වී යැ. සත් වන දවස් උහුගෙ එක් උවටායෙක් “අපගෙ මහණු ගෙට නොඑන්නෙ අදින් සද්දා වෙයි. ලෙඩක් ඇතියෙ[50] යැ”යි හුරු මස් පිසවා බත් ගෙනැ[51] ගොස් පෙරට බිමැ බහා තිබී යැ. නුවට බත් දැකැ, “මහණ ගොයුම්හු, ගෙ බස් සබා වත්, මැනැවැ.[52] බොරු වත්,[53] මැනැවැ,1 බත් කා සුවයෙන් මළ තැන් මැනැවැ”යි දෙ අත[54] දෙ දණ බිමැ ඔබා-ගෙනැ කුස් පුරා කෑ යි. රෑ දිරවන්නට නො පොහොසත් වැ ආලස්‍යයෙන් මියැ කාලකඤ්ජක නම් අසුර කාලයෙහි උපන්.

එකල්හි තිථයො ඔහු මළ පරිදි අසා දවස් ගැණැ බලා “මෙවූ කල සබා වී යැ, දැන් මොහු අනෙක් තැනකට ඇදැ-පියා මහණ ගොයුම්හු බොරුයෙන් නිගන්මහ”යි ගොස් උහු ගෙ ශරීරය[55] වැලින් බැඳැ-ගෙනැ අදනාහු, “මෙ තැනැ පියම්හ, මෙ තැනැ පියම්හ”යි යෙති. ඔවුන් ගිය ගිය තැන් එක් හෙළි වෙයි. ඔහු අදනාහු, බීරණත්‍ථම්භක නම් සොහොනට මැ ඇරැ[56] සොහොන බව් දැනැ, “බැහැරැ ඇරැ-පියම්හ” යි ඇද්දහ.[57] එකල්හි වැල් සිඳී ගියෙ. පැසුළු සොල්වන්නට නොනිසි වූහු. එහි මැ සිටැ නැවැත්තාහැ.

එකල්හි සුනක්ඛත්තයා, “කොරක්ඛත්තිය නම් නුවටහු බීරණත්‍ථම්භක නම් සොහොනට ඇදැ-පීහ” යනු අසා “මහණ ගොයුම්හු ගෙ බසැ සබව්[58] දෙකක් දුටුම්හ. මළ මිනිස්හු[59] හොත් තැනින් නැඟී අනෙකක්හු හා බණනු නම්, නොවෙයි. එබැවින් ගොස් පිළිවිසැ බලනු මැනැවැයි, ඉදින් බිණුයෙ වී නම්, යෙදෙයි. නොබිණුයෙ වී නම්, මහණ ගොයුම්හු මුසාවායෙන් නිගන්මී”[60] සොහොනට ගොස් උහු පිට අත්ලෙන් පැහැරැ, “කොරක්ඛත්තිය, කොහි උපන්හී?”[61] පිළිවිත්. හෙ, “කාලකඤ්ජක නම් අසුරා කායෙහි උපන්මී” කියා-ලා එමැ තන්හි උඩු බලා හිනැ. මළ මිනියෙක්[62] නම් නැඟී බණන්නට නිසි නොවෙයි. මෙ කිසෙ කී යැ යත්. බුද්ධානුභාවයෙන් කී යැ. බුදුහු ඔහු අසුර යොනින් ඇරැ ශරීරයෙහි පිළිමුස්වා කියැවූහු. මෙ තැනැ පෙළහර පසෙක් වී.

කිසෙ යැ යත්:

“සත් දවසින් මීයෙ” යි වදාළහැ. හෙ එසෙ මැ මෙළෙ. මෙ පළමු වන පෙළහර යැ. “ආලස්‍යයෙකින් මියෙ” යි වදාළහැ. හෙ එසෙ මැ මෙළෙ. මෙ දෙවන පෙළහර යැ. “කාලකඤ්ජන අසුරයොන්හි උපද්දී” වදාළහැ. හෙ එහි මැ උපනැ. මෙ තුන් වන පෙළහර යැ. “බීරණත්‍ථම්භක නම් සොහොනට ඇදැ-පියතී” වදාළහැ. ඔහු එහි මැ ඇරැ දමාපීහ. මෙ සතර වන පෙළහර යැ. “උපන් තැනින් අවුදු සුනක්ඛත්තයා හා බෙණෙ”යි වදාළහැ. හෙ එසෙ මැ වි යැ. මෙ පස් වන පෙළහරයි.

මෙතෙක් පෙළහර දුටු සුනක්ඛත්ත, බුදුන් කරාගොස් වැඳැ එකත්පස්වැ හුන්නෙ යැ. බුදුහු, “”කියග, සුනක්ඛත්තය මා කොරක්ඛත්තිය නම් නුවටහු අරභයා කී දෑ නිපන් දඃ නානිපන් දැ?” යි වදාළහැ. “නිපනැ වහන්සෙ,” යි කී යැ. “මෙසෙ බැවින් උතුරු මිනිස් ධැමින් පෙළහර කරන ලද ද? නොකරන ලද දැ?” යි වදාළහැ. “කරන ලද[63] වහන්සෙ”යි කි යැ. මා මෙසෙ පෙළහර දක්වන්නහු[64] වහන්සෙ මට උතුරුමිනිස් ධැමින් පෙළහර නොදක්වන දෑ යැ’යි යෙහී?” වදාළො.

එක් සමයෙක්හි බුදුහු විසාලා නුවර නිසා මහවනවෙහෙර වැඩැ වෙසෙති. එකල්හි විසාලා නුවරැ[65] කළාරමට්ඨුක නම් නුවටෙක් ලාභයෙහි දු යශස්හි දු අග්‍රප්‍රාප්ත යැ.[66] හෙ සත් ව්‍රතපදයක්[67] සමාදන් කොටැ වැටෙයි.

කවර සත් ව්‍රතපද යැ යත්:

“දිවි පමණින් පිළි නොහඳිමි” යනු එකෙකැ. “මෙවුන්ධම් නොසෙවෙමි”[68] යනු එකෙකැ. “රහමස්මිසැ, බත්[69] නොකමි” යනු එකෙකැ. පැදුන් දෙසෙන් විසාලා නුවරට නුදුරු තන්හි උදෙන නම් දෙවාලය ඉක්මැ නොයෙමි” යනු එකෙකැ. “දකුණු දෙසෙන් ගොතම නම් දෙවාලය ඉක්මැ නොයෙමි” යනු එකෙකැ. “පැල දෙසෙන් සතඹ නම් දෙවාලය ඉක්මැ නොයෙමි” යනු එකෙකැ. “උතුරු දෙසෙන් බහුපුත්‍රක නම් දෙවාලය ඉක්මැ නොයෙමි” යනු එකෙකැ. හෙ මෙසෙ සත් ව්‍රතපද සමාදන් දළ හෙයින් විසාලා නුවර වැස්සන් විසින් පුදන ලද.

එකල්හි සුනක්ඛත්තයා බුදුනට මෙහෙ කරනුයෙ, කළාරමට්ඨුක නම් නුවටහු කරා ගොස් තුන් ලකුණෙන් යුතු පැනැ පිළිවිතැ. හෙ දුදුළු තන්හි ගමන් යන[70] අන්ධයක්හු සෙයින් එ එ තැනැ[71] පැකිලැ ආදි අන්ත නොදැකැ ඇස් පෙරළා ඔහු බලා, නොහික්මුණු කෙරෙ වුසුයෙහි, අවසර නැති බැව් දැනැ දැනැ පැන පුළුවුස්සී” කියා, “මී නොසිට, නොසිට” යි දැහැවි යැ.[72] එකල්හි සුනක්ඛත්තයා, “මෙ වැනි රාත් මහණහු කෙරෙ ගැහැටිණිමි.[73] මට අකුසල් නොවෙව” යි[74] සිතා උළුල්ලෙන් හිඳැ, “වහන්සෙ, මට කමන්නෙ[75] යැ”යි කැමැවි. නුවටුදු, “මෙ තන පටන් ගෙනැ පාන නො පුළුවුස්සි දැ?යි කී යැ. “ඉතා මැනැවැ, නො පුළුවුස්මී[76]” කී යැ. “එසෙ වුව හොත් යා, කමමී”[77] නඟා යවී. සුනක්ඛත්තයා බුදුන් කරා එළැඹැ වැඳැ එකත්පස් වැ හුන්නෙ යැ. “කියග, මොඝපුරුෂය, ‘ශාක්‍ය පුත්‍රයෙමී’ පිළින කුමට කෙරෙහී?” වදාළහැ. “වහන්සෙ, එ කුමට වදාරන දෑ යැ”? යි කී යැ. “තො කළාරමට්ඨුක නම් නුවටහු කරා ගොස් පැන පිළිවිසැ ඔහු දහවා, මෙ රාත් මහණහු මා දැහැවූසෙ නො යෙදෙයි. මට අකුසල් නොවෙව, යි[78] සිතීහී?”[79] වදාළහැ. “මම් නො මසුරෙහි.[80] හෙ තා ගෙ පවිට්දිට්හ යැ.[81] තට බොහො කලක් දුකට වැටෙයි. එ පියා” යි වදාරා, “තා ‘රාත්හැ’යි[82] ගත් කළාරමට්ඨුක නම් නුවට මඳ දවසෙකින් මැ පිළි හැඳැ කලත්‍ර ගෙනැ රහ මස් බත් වළඳ කොටැ හැම දෙවාලය ඉක්මැ ලාභයෙන් යශසින් පිරිහී මීයෙ”යි වදාළහැ. හෙ හැම ව්‍රතපද[83] භෙද කොටැ ලාභයෙන් යශසින් පිරිහී මෙළෙ.

සුනක්ඛත්ත, එ පවත් අසා බුදුන් කරා ගියෙ. “කියග, සුනක්ඛත්ත, මම් කළාරමුට්ඨක නම් නුවටහු අරභයා යමක් කිම් ද, හෙ නිපන් ද? නොනිපන් දැ?”[84] වදාළහැ. “නිපනැ, වහන්සෙ,” යි කී යැ. ඔහු සත් ව්‍රතපදය ඉක්මැ ගිය බව් සත් පෙළහරයක් වන බැවින් “උතුරුමිනිස් ධැමින් පෙළහර කරන ලද ද? නොකරන ලද දැ”යි වදාළහැ. “කරන ලද, වහන්සෙ”යි කී යැ. “මෙසෙ මා පෙළහර කරන්නහු[85] ‘වහන්සෙ, මට උතුරු මිනිස් ධැමින් පෙළහර නොකරන් දෑ යැ’යි කුමට කියහී” වදාළො.

එක්බිති පාඨිකපුත්‍ර නම් නුවටෙක් විසාලා නුවරැ ලාභයෙහි දූ යශස්හි දු අග්‍රප්‍රාප්ත වැ වසනුයෙ, පිරිසැ මෙසෙ කියයි: “මහණ ගොයුම් නුවණින් මැ වාද කෙරෙයි, මම ද නුවණින් මැ වාද කෙරෙමි. හෙ යොජනක් තැනැ වාස කෙරමින් සිටැ මා හා වාදයට දෙ ගව්වක් තැන් ආයෙ වී නම්, මම ද උහු කරා දෙ ගව්වක් තැන් යෙමි. එක් පියවරකුත් වඩා ගියාක් හට ජය වෙයි. නොගියාක් මට පරාජය වෙයි. දෙ දෙනමො එසෙ උතුරුමිනිස් ධැමින් පෙළහර කරම්හ. මහණ ගොයුම් උතුරුමිනිස් ධැමින් එක් පෙළහරයක් කෙළෙ වී නම්, මම ද පෙළහරයක් කෙරෙමි. හෙද පෙළහරයක් කෙළෙ වී නම්, මම් සතර පෙළහරයක් කෙරෙමි. හෙ සතර පෙළහරයක් කෙළෙ වී නම්, මම් අට පෙළහරයක් කෙරෙමි. මහණ ගොයුම් යම්තාක් පෙළහරක් කරන්නෙ වී නම්, මම් එයින් දියුණු දියුණු[86] කෙරෙමි”යි බුදුන් හා පෙළහර කරන්නට තමා නොනිසි බව් දනුතුදු, “උත්තම පුරුෂයන් හා වාද කොටැ[87] නොනිස්ස හට දු ප්‍රශංසා වෙ”යි යනු දැනැ කී යැ. නුවරවැස්සො එ අසා “තමා නොනිසි වුවහොත්, මෙසෙ ගර්ජනා නො කෙරෙයි. ඒකාන්තයෙන් මෙහිදු රාත් බන්දැ?” යි[88] ඔහට මහත් සත්කාර කොළො.

සුනක්ඛත්ත, තෙමෙහෙ, “පාඨීකපුත්‍ර නම් නුවට මෙසෙ කියයි” යනු ඇසී යැ. හීනාධ්‍යාශය ඇති වන බැවින් ඔහට හීනයා දක්නා රිසි උපන්.[89] හෙ බුදුනට වතාවත් කොටැ, බුදුන් ගඳකිළියට වන් කල්හි, පාඨිකපුත්‍රයා කරා ගොස්, “තෙපි මෙ නම් දැයක්[90] කියාල?” යි පිළිවිතැ. “සැබැවැ, මා එසෙ කීයෙ යැ”යි කී යැ. “ඉදින් එසෙ වී නම්, තෙපි නොබව.[91] රිසි සෙ පුන පුනා එසෙ මැ කියව. මම් මහණ ගොයුම්හු ගෙ උවටායෙක්මි. උහු ගෙ මාත්‍ර[92] දන්මි. හෙ තොප හා පෙළහර කරන්නට නො නිස්සැ. මම් මහණ ගොයුම් හට කියා භය උපදවා උහු අනෙක් තැනකට ගෙනැයෙමි. තෙප් නොබව”යි උහු අස්වසා බැණැ බුදුන් කරා ගොස්, “වහන්සෙ, පාඨිකපුත්‍ර නම් නුවට, ‘වහන්සෙ හා උතුරුමිනිස් ධැමින් පෙළහර කෙරෙමී’ යෙ”යි කී යැ. බුදුහු, “සුනක්ඛත්ත, හෙ, ‘මම් බුදුමි’ යන තෙපුල් නොපියා, ‘බුදුමි’ යන සිත් නොපියා, ‘බුදුමි’ යන දිට්හ නො විහිදැ මා කරා එන්නට නො නිස්සැ. ඉදින් ආයෙ වී නම්, තුවට්යෙන්[93] වගුළ තල් පකක් සෙයින් ගෙලෙන් හිස හො කැඩී පලා යෙයි. මුදුන හො සත් කඬක් වැ පැළී යෙ”යි වදාළහැ.

එකල්හි සුනක්ඛත්ත, “වහන්සෙ, තෙලෙ බස් රක්නෙ මැනැවැ”යි කී යැ. “එසෙ කුමට කියහී?”[94] වදාළෙන් “පාඨිකපුත්‍ර තෙමෙහෙ ‘බුදුමි’ යන තෙපුල් නොපියා, සිත් නොපියා, දිට්හ[95] නො විහිදැ, සිය වෙසින් පැනී හො, නොපැනී හො, සිහ වග්[96] ඈ වෙසින් හො, වහන්සෙ කරා ආයෙ වී නම්, භගවත්හු ගෙ[97] බස් බොරු වෙයි.

මුසාවායෙන් නිගන්මහ” යි කී යැ. මොව්හු විනා අනෙක්[98] “මුසවායෙන් බුදුන් නිගන්මහ” යි එ පන්සාලිස් හවුරුද්ද මුළුල්ලෙහි කීවාහු නැත්. ඔහු තමන් සසරැ වසන කලැ, “මහරජ, සලගල් සුළඟින් යන්නෙ වී නම්, සඳහිරු[99] දෙ දෙන බිමින් යන්නාහු වුහු[100] නම්, හැම ගඟ හො උඩුහො බලා[101] යන්නෙ වී නම්, අහස් පැළෙන්නෙ වී නම්, මුහුදු වියළෙන්නෙ වී නම්, පොළො නස්නෙ වී නම්, මෙරගල් සහමුලින් ඉපිරැ යන්නෙ වී නම්, මම බොරු නොකියමි” යනු දක්වමින් කීහ:

“සචෙ පවාතො ගිරිමාවහෙය්‍ය

චන්දො ච සුරියො ච ඡමා පතෙය්‍යුං,

සබ්බාව නජ්ජො පටිසොතං වජෙය්‍යුං

න ත්‍වෙවහං රාජ මුසා භණෙය්‍යං

නභං ඵලෙය්‍ය උදධි විසුස්සෙ

සංවට්ටයං භූතධරා වසුන්ධරා,

සිලුච්චයො මෙරු සමූලමුබ්බහෙ

න ත්‍වෙවහං රාජ මුසා භණෙය්‍යං” යි.

මෙසෙ තමන්[102] පැරුම් බිමැ සිටි කලැ පවා මුසවා නොකියනුවො දැන් තමන් සව් කෙලෙස් පහා[103] සව්නෙ දැනැ බුදු වැ සිාටි කලැ මුසවා කුමට කියනුවහ! “කිම, වහන්සෙ, පාඨිකපුත්‍රයා සිත් දැනැ කියන දෑ ද? නොහොත් දෙවි කෙනෙක් කීහු දැ” යි කී යැ. “මම් ඔහු සිත දතිම් මැයැ. දෙවි කෙනෙක් මට කීහු මැයැ. ලිච්ඡවි රජුන් ගෙ අජිත නම් සෙනාපතියෙක්[104] මට උපස්ථාන කොටැ මියා තව්තිසැ දෙව්නුවර උපනැ. එ දෙව්පුත් මා කරා අවුදු, “වහන්සෙ, පාඨිකපුත්‍ර නම් නුවට අලජ්ජි යැ, මුසවා කියයි. මිනිස්හු මා සිරිරු හළුකිස කොටැ පාඨිකපුත්‍රයා කරා ගොස්, ‘අජිත සෙනාපති කොහි උපන්[105] හො?”යි පුළුවුත්හැ. හෙ ‘මහා නරකයෙහි[106] උපැද මා කරා අවුදු මම් තොප කීවා නො කොටැ මහණ ගොයුම්හු ගෙ වාදයෙහි සිටැ නිරයැ උපන්මී’ වැලැප්පැ, යි කී යැ.[107] නුවර වැස්සනට එසෙ මැ කියයි. “වහන්සෙ, මම් නිරයැ නො උපන්මි.[108] තව්තිසැ වැසි දෙවියන් කෙරෙහි උපන්මී. වහන්සෙ, එ නුවට ‘බුද්මි’[109] යන තෙපුල් නොපියා, එ සිත් නොපියා, එ දිට්හ නො විහිදැ, භගවත්හු[110] කරා එන්නට නො නිස්සැ. ආයෙ වී නම්, ඔහු මුඳුන් සත් කඩක් වැ පැළෙ”යි කී යැ. මම ද දතිම්[111] මැ යැ. “සුනක්ඛත්තය, විසාලා නුවර පිඬු සැරැ පස්බතැ දිවාවිහාර සඳහා පාඨිකපුත්‍රයා ගෙ අරමට එළබෙමි. දැන් තට රිසියෙන්නෙ වී නම්, උහුට කියා”යි වදාළො.

බුදුහු[112] “පෙළහර කරන්නට යම්හ”යි නොකියා “දිවා විහාරයට[113] යම්හ” යනු කුමට වදාළහැ[114] යත්: හෙ බුදුන් දක්නෙ නොවෙයි. පෙළහර කොහි කෙරෙයි! එයින් එසෙ නොකියා, “දිවා විහාරයට යම්හ”යි වදාරා, විසාලා නුවර වැදැ අහරකිස සාහා දිවාවිහාර සඳහා බුදුහු පාඨිකපුත්‍රයා ගෙ අරමට වැඩියො එකල්හි සුනක්ඛත්ත, වෙළෙවි වැ ගොස් විසාලා නුවරට වැදැ ප්‍රධාන ලිච්ඡවීන් කරා[115] බමුණු මහසල් කුලන් කරා ගැහැවි මහසල් කුලන් කරා නන් තොටුවන් කරා මහණ බමුණන්[116] කරා ගොස්, “බුදුහු දිවා විහාර සඳහා පාඨිකපුත්‍රයා ගෙ අරමට එළබියහ. වහා එයට යව, එ දෙ මහණුන්ගෙ ප්‍රාතිහාර්ය බලන්නට යැ”යි කී යැ. එකල්හි ලිච්ඡවි රජ්ජුරුවො ද බමුණුමහසල් කුලො ද[117] ගැහැවිමහසල් කුලො ද නන් තොට්ටො ද මහණ බමුණො ද පාඨිකාරාමයට ගියො. එ දවස් එහි අනෙ සුවහස් මිනිස් පිරිසි වි යැ.

එබඳු මහත්[118] පිරිස් රැස් කරන්නට සුනක්ඛත්තයා හැරැ අනෙක් නිසි කෙනෙක්[119] ඇත්තාහු නොවෙති.[120] එයින් බුදුහු එ තාක් කල් උහු ගෙනැ ඇවිද්දො. එකල්හි පාඨිකපුත්‍ර නම් නුවට එ පවත් අසා සිතී: “මම දෙවි මිනිස්නට[121] අග පුඟුල් වැ සිට භවත් ගොයුම් හට විරුද්ධ වීමි. මාගෙ සතනැ රාත් බැවෙන් හො පෙළහර කරන්නට නිසි ගුණ දැහැමෙක්[122] හො නැති. මහණ ගොයුම් වනාහි පෙළහර කෙරෙයි. උහු ගෙ පෙළහර දැක මහජනයො ‘තො පෙළහර කරන්නට නොපොහොසත් වූයෙහි, තා ගෙ පමණ නො දැනැ[123] ලොකයෙහි අග පුඟුල් වැ සිටි බුදුන් හා සමඟ මල්ලයුද්ධ[124] කරන්නක්හු සෙයින් කුමට ගර්ජනා කෙළෙහි?” යි දඬු පහණින් මා සපති”යි[125] මහජනා රැස් වන බව් දු[126] බුදුන් වඩනා බව් දු5 අසා බිය පත් වැ, දෙ ගව්වක් තැන් පලා ගොස් තිඹිරිකණුවිරිවැද්දා අරමට වැදැ, සිතට සුව නොලබන්නෙ, සැඟවෙන තැන් සොයා වටා[127] වැදැ ඇවිදුනෙ, අරම්පසනැ[128] එක් ගහනයක් දැකැ එයට වැදැ පමණක්[129] මත්තෙ හුන්නෙ යැ.

එකල්හි බුදුහු සිතුහු: “ඉදින් මෙ බාල, කිසිවක්හු කියම්න ගෙනැ ආයෙ වී නම්, නස්සි. එ බාල නො නසිවයි, හුන් පහණ උහුගෙ ශරීරයෙහි ඇලෙව” යි ඉටුහු ඉටු සිත් හා සමඟ එ පමණ උහු ගෙ ශරීරයෙහි ඇලිණ. මෙ හම අඳු බානෙක්හි[130] මැසුවාක්හු වැනි වී මැ යැ. පා සුන්නාක්හු වැනි වී. එකල්හි පිරිවැස්සො, “පාඨිකපුත්‍ර කොයට ගියෙ යැ හො!” යි සොයති. උහු පස් පස්[131] ගොස් වැදැ හුන් තැන දැකැ ආ එක්තරා පුරුෂයෙක්, “තෙපි කා සොයව?” යි පිළිවිත. “පාඨිකපුත්‍රයා, සොයම්හ” යි කීහු. හෙ තිඹිරිකණු පිරිවැද්දා අරම්හි හුන්නෙ යැ”යි කී යැ. එ අසා පිරිස් වැස්ෙසා එක් පුරුෂයක්හු කැඳවා-ගෙනැ තො තිඹිරිකණු පිරිවැද්දා අරම්හි ගොස් පාඨිකපුත්‍ර නම් නුවටහුට කියා: “තා ගෙ පෙළහර බලන්නට ලිච්ඡවි රජ්ජුරුවො ද බමුණු මහසල් කුලො ද ගැහැවිමහසල් කුලො ද නන් තොට්වො ද මහණ බමුණො ද තාගෙ[132] අරම්හි රැස් වූහ. බුදුහු දු දිවා විහාර කොටැ හුන්නාහ. වහා එන්නෙ යැ”යි, යවූහු.[133] එ පුරුෂ, ගොස් එ පවත් සැළ කොටැ, “එන්නෙ යැ”යි කී යැ.

එකල්හි පාඨිකපුත්‍ර, “එමි, එමි” යි කියා එහි මැ හැලෙයි. හුනස්නෙන් නො නැංග හෙයි. එ සඳැ පුරුෂ, “තා හිද්ම[134] ඇට දක්වා පහණැ ඇලුණෙ ද? පහණ තා හිද්මෙහි ඇලුණෙ ද? ‘එමි, එමී, කියා එහි මැ හැලෙයි,[135] අස්නෙන් නොනැංගහෙයි”[136] බැණැ ඔහු නො ගෙනැ යා හී[137] තො නටියෙහි” යි ගොස් එ පවත් පිරිස්වැස්සනට කී යැ. එකල්හි බුදුහු, “හෙ මා දක්නට නො නිස්සැ, ආයෙ වී නම්, උහු මුඳුන් පැළෙ”යි වදාළො.

එකල්හි ලිච්ඡවි රජුන් ගෙ එක්තරා මහ ඇමැත්තෙක් හුනස්නෙන් නැඟී පිරිස් වැස්සනට[138] “කුඩා තමක් බලව, මම් උහු මෙ පිරිසට ගෙනැ එමී” කියා උහු[139] කරා ගොස් හැම දෙනා රැස් වූ සෙ කියා, “මහණ ගොයුම් අවුදු තාගෙ ගමනින් මැ තා[140] දිනුවා[141] කරම්හ. මහණ ගොයුම්හු පැරැද්දා කරම්හ”යි බැණැ, නො ගෙනැ යාහී, පිරිසට ගොස් එ පවත් සැළ කෙළෙ, “පාඨිකපුත්‍ර නටියෙ මැ යැ”යි කී යැ.

එකල්හි බුදුහු “හෙ මා දක්නට නො නිස්සැ, ඉදින් ආයෙ වී නම්, හිස සත් කඩක් වැ පැළෙ”යි වදාළහැ. ඉදින් ලිච්ඡවීහි පාඨිකපුත්‍රයා වර බානෙන් බැඳැ[142] ගොනුන් සියක් වියෙන්[143] හො දසක් වියෙන් හො අදවන්නාහු වුහු නම්,[144] වර හො සිඳෙයි. බඳ තැනින් පාඨිකපුත්‍රයා හො කැඩෙ”යි වදාළහැ.

එකල්හි ජාලිය නම් දාරුපත්තිකයා අතැවැස්සෙක් සිතී: “දැන් පෙළහර තිබියෙව යි, මහණ ගොයුම්, ‘පාඨිකපුත්‍රයා අස්නෙනුද් නො නැංග හෙ’යි කී යැ. එසෙ බැවින් මම් ගොස් කිසියම් උපායෙකින් ඔහු අස්නෙන් නඟා-පියමි. මෙ පමණෙකින් මහණ ගොයුම් හට පරාජය වෙ”යි සිතා හුනස්නෙන් නැඟී පිරිවැස්සනට

“කුඩා තමක් බලව, මම ගොස් උහු අළියෙම් නම්, මැනෑ මැ යැ”යි[145] පාඨිකපුත්‍රයා කරා ගොස් මහපිරිස් රැස් වූයෙ කියා, බුදුන් එමැ අරම්හි දිවාවිහාර ගත වැ වැඩහුන්සෙ කියා. “ගමනින් මැ තට ජය කරම්හ, මහණ ගොයුම් හට පරාජය කරම්හ”යි බැණැ “එමි, එමී” කියා උහු අස්නෙන් නො නැංග හෙනසෙ දැකැ උහු පරිභූත වූ බව් දැනැ මෙ කී යැ.

පාඨිකපුත්‍රය, අතීතයෙහි කෙශරසිංහරාජයෙක් හට මෙ වැනි සිතෙක් උපනැ: ‘එක්තරා වනළැවකට වැදැ වාස කරන තැනක් තන් කොටැ-ගෙනැ එහි වැසැ සවස් වෙලෙ[146] එයින් නික්මැ වජඹමි,[147] වැජැඹැ හාත්පස්හි සතර දිසා බලමි,[148] සතර දිසා බලා තුන් යලක් සිංහනාද කෙරෙමි.[149] සිංහනාද කොටැ ගොදුරු සඳහා යෙමි, ගොස් උතුම් උතුම්[150] මුවමළු මරා මියුරු මියුරු මස් කා එ මැ වාසයෙහි වෙසෙමි’යි සිතී.[151] එ කල්හි සිංහරාජ එක්තරා වනළැවක් නිසා වාස කෙළෙ. එහි වාස කොටැ සවස් වෙලෙහි එයින් නික්මිණ. නික්මැ වැජැඹැ හාත්පස්හි සතර දිසා බැලී යැ. සතර දිසා බලා තුන් යලක් සිංහනාද කෙළෙ. සිංහනාද කොටැ ‘ගොදුරු සඳහා යෙමි’ යි ගොස් උතුම් උතුම් මුවමුළු මරා මියුරු මියුරු මස් කා එ මැ වාසයෙහි වෙසෙයි. එක් දවසක් සිංහරාජ, ගොදුරු ගෙනැ නවත්නෙ, තමා බියෙන් බලන බලු කැණහිලකු[152] දැකැ කුළුණු කොටැ ‘යහළු නො බා, සිට, තො කිනම්හි?’ කී යැ. ‘මම ජම්බුක නම්මි,[153] ස්වාමි යැ’යි කී යැ. ‘සබඳ, ජම්බුකය, තො මෙ තන පටන්-ගෙනැ මා සැමිවටනට හැක්කෙහි දැ?’ යි කී යැ. ‘සැමිවටනට නිස්සෙමි, ස්වාමි යැ’යි කී යැ. හෙ එ තැන පටන්-ගෙනැ ඔහු සැමවටී[154] සිංහ, ගොදුරු කා එන්නෙ, මහත් මහත් මස්කඩ ගෙනැ එයි. හෙ මස් කා නොදුරු තන්හි පහණපිටෙකැ වෙසෙයි. හෙ කීප දවසෙකින් මැ තර වි යැ. මහත් කඳට වී එකල්හි සිංහ, ඔව්හට ‘යහළු,[155] මා වජඹන කල්හි නුදුරු ත්හි සිටැ, ‘හිමි වොරජ, හිමි වොරජ’ යි[156] කියන්නට නිස්සෙහි දැ? යි කී. හෙ, උහුට වජඹන කල්හි එසෙ කියයි. එයින් සිංහයාට අහඞ්කාර උපද්දි.

“එක් දවසක් එ ජරසිඟල්, කෙමෙකැ පැන් බොන්නෙ තමාගෙ සෙය දිට.[157] තමාගෙ තර ශරීරයද මහත් කඳට ද දැකැ, ‘මම් ජරසිගාලයෙක්මී’ නො සිතා තෙමෙ මැ තම හට මෙසෙ කී යැ: ‘යහළු ජම්බුක හිමි තා මෙ අත් බැවින අනුන් ඉඳුල් මස් කනු යෙදෙ ද? කිම, තො නොපිරිමියෙක් වී ද?[158] උහු දු සතර පයැ දෙ දළ යැ. දෙ කන යැ. එක් වල්පතෙකැ තට දු මෙ හැම ඇති. හුදෙක් කෙසුරුබර මත්ත නට නැත්තෙ යැ’යි උහු මෙසෙ සිතන්නා හට අහඞ්කාර උපනැ. හෙ, මන් දොසින් ‘මම් කවරෙමි? එ මුව රජ කවර? මා නො ද නෑ යැ, නො ද ස්වාමි යැ, මම් ඔහට කුමට හරසර[159] දක්වමි? මම ද එක් වනළැවක් නිසා වාසයක් කොටැ-ගෙනැ වෙසෙමි. එහි වාස කොටැ සවස් වෙලෙ වාසයෙන් නික්මෙමි. වාසයෙන් නික්මැ වජඹමි. වැජැඹැ[160] හාත්පස්හි සතර දිසා බලමි. සතර දිසා බලා තුන් යලක් සිංහනාද කෙරෙමි, සිංහනාද කොටැ ගොදුරු සඳහා යෙමි. ගොස් උතුම් උතුම් මුවමුළු මරා මියුරු මියුරු මස් කා එහි මැ වාස කෙරෙමී, සිතා-ගෙනැ එ ජරසිඟල් එක්තරා වනළැවක්[161] නිසා වාසයක් කොටැ-ගෙනැ විසී යැ. එහි වැසැ සවස් වෙලෙ වාසයෙන් නික්මැ හාත්පස්හි සතර දිසා බැලී යැ. සතර දිසා බලා ‘තුන් යලක් සිංහනාද කෙරෙමී’ කැණහිල් හඬ හැඩී. එ[162] සෙයින් මැ තො ද නොබුදු වැ ‘සීලා දි ගුණයෙන් වැඩැ සිටි[163] බුදුනට දෙම්හ’ යි[164] දෙ සතර පසය වළඳා සම්මාසම්බුදුන් හා ගැහැටෙහි.[165] ‘කෙසරසීරජහු[166] හා සමයෙමී සිතු ජරසිඟල් හු සෙයිනැ”යි ජාලිය නම් දාරුපත්තිකයා අතැවැසි මෙ උපමා

ඇරැ දක්වා ද, පාඨික පුත්‍ර නම් නුවටහු එ අස්නෙන් සොලවන්නටද් නොපොහොසත් වූයෙ පිරිසට අවුදු, “පාඨිකපුත්‍ර පරිභූත වී යැ. ‘එමී, එමී’ කියා එහි මැ හැලෙයි. හුන් අස්නෙනුදු නැඟෙන්නට නොනිස්සැ”යි කී යැ.

එකල්හි බුදුහු පිරිස්වැස්සනට, “ඉදින් ලිච්ඡවීහි පාඨික පුත්‍රයා වරබානින් බැඳැ ඇතුන් ලවා අදවන්නාහු වුහු[167] නම්, වරබාන් හො සිඳෙයි. පාඨිකපුත්‍රයා හො කැඩෙයි. හෙ, එ තෙපුල් නො පියා, එ සිත් නො පියා, එ දිට්හ[168] නො විහිදැ, මා කරා එන්නට නොනිස්සැ. ඉදින් ආ නම්, උහු සිත් සත් කඩක් වැ පැළෙ”යි වදාළො. වදාරා එ පිරිස් වැස්සනට ධම් දෙසූහු. එ ධම්දෙස්නෙන් සුවසුදහසක් දෙනා අධිගම කරවා[169] තෙජො ධාතු සමාපත්ති සමවැදැ සත් තලක් පමණ තැන් අහසට නැඟී අනෙක් සත් තලක් පමණ තැනට රැස් විහිදැ, දිලී,[170] දුමා මහවනවෙහෙර ගොස් වැඩැ සිටියො. සුනක්ඛත්ත ලිච්ඡවි වූ කල බුදුන් ගෙ මෙබඳු පෙළහර දැකැ ද තමා පින් නැති වන බැවින් දුලද ගෙනැ සඟමොක් සුව දෙන මෙ සස්නෙන් පහ වී.

මෙ සෙයින් බුදුහු තමන් පුරුෂදම්‍යසාරථී වන බැවින් පාඨිකපුත්‍රයා ගෙ සමාගමයට රැස් වූ[171] ආදි ශබ්දයෙන් ගත් නුවටනුදු, එවුන් ලද[172] ගත් නොඑක් දහස්නුදු දමා අමාමහ නිවන් පැමිණිවූහු.

දිගම්බරදමන නම් දහ වන පරිච්ඡේද නිමි.

  1. පටික පුත්‍ර-මු

  2. එරවියැ

  3. එනියායෙන්

  4. ලැබැ

  5. මැනැවැයි

  6. උපන

  7. වෛර

  8. උපන්නෙයැ

  9. මමත්, මයිත්

  10. රද (රජ) දරු

  11. වහන්සෙ වහන්සෙ පියා-මු

  12. නොවෙමි

  13. නැති

  14. කෙළෙම්

  15. සස්න

  16. දැයෙක්

  17. සුනක්ඛත්ත සුනක්ඛත්තය

  18. විසාලා නුවර වැස්සො-හැම, වැස්සෙ-මු: මොහු-මු:

  19. පෙරෙ

  20. ගිහිව වෙයි, වැටෙයි-මු:

  21. දත්

  22. නො කියවුනු

  23. මුළුජනවූ-හැම

  24. ළිප්, ලුප්, එබ්, ලප්

  25. පිහිරා, හාරාපියා

  26. වකටියෙ ගෙන, වකැටි ගෙන

  27. හෙවී

  28. සුනක්ඛත්ත නම් ලිච්ඡවිහි

  29. කුමන-මු.

  30. පසුපසු

  31. කුමක්

  32. බුදුරජක්, බුදුරජක්සෙ (රජකු)

  33. මටමය

  34. උපන්නෙ යැ

  35. එයයො

  36. වැන්න

  37. නැක්ම

  38. ඇස, සිටි

  39. මුවය

  40. බීරස්ථම්හ

  41. උපද්දි

  42. බොව

  43. මර, හැර, බැවැර

  44. සතුරහු

  45. දුටු

  46. මැනැමැයැ

  47. සතුරන්ගෙ

  48. වටනා දෑ

  49. ගියෙයි

  50. ඇත්සේ යැයි-මු

  51. හූරුමස් සහිත බස් පිසවාගෙනැ, හූරුමස් පිසවා බත් ගෙනැ, හූරුමස් පිසවා බත් ගෙන්වාගෙනැ.

  52. මැනැ

  53. බොරුබවත්

  54. බිම ඔවා (බා) ගෙන දෙඅත

  55. ශරීරයෙහි

  56. ඇදැ

  57. ඇද්දාහු, ඇද්දාහ

  58. සබාබව්

  59. මළමිනිස්සු හොත් තැනින් නැඟී අනිකක්හු හා බණන්නෙ නොවෙයි, මිනිසු-මු

  60. නිගන්නි

  61. උපන්නෙහි, උඵන්න හ.

  62. මිනිසෙක්-හැම “මත සරීරං-අටුවා

  63. කරවන ලද

  64. දක්වන්නාහු-හැම, දක්වන්නාහට-මු

  65. එනුවර, නුවර

  66. වෙ

  67. ව්‍රතපදයන්

  68. සෙවීම්

  69. රහමස් බත්-හැම

  70. යනුබැරි

  71. තැන්, තන්හි

  72. දැහැසිටිය

  73. ගැහැටිණි, ගැහැටිණීම මට, ‘ඝට්ටියිම්හ’-අටුවා

  74. නො වෙදැයි

  75. කමවන්නෙ යයි

  76. පිළිවුස්මි, පිළිවිස්මි

  77. කමටමි

  78. නොවෙයි, නොම වෙවයි

  79. සිතියැ

  80. මසුරුමි

  81. පවිටුදිට්යහ

  82. රාතැයි, රාත්නැයි

  83. දනවුපද (පාද)

  84. නිපන්නෙ ද

  85. කරන්නා හට

  86. දියුණු කොට, දියුණු දියුණු කොට

  87. වාසයට, වාදයට-මු

  88. බවදැයි, බඳැයි, වනැයි-මු

  89. උපනු

  90. දෙක්

  91. නොබවට

  92. මාත්‍රා

  93. තුවටුයෙන්, තුවටයෙන්

  94. කියහි (කීහි) දැයි

  95. දිටුහ

  96. සිංහ වක්

  97. භවත් ගොයුම්හු ගෙ භවත්හු ගෙ

  98. අනෙකෙක්

  99. හිරුසඳ හිරුසඳු

  100. යන්නෙ වී නම්

  101. උඩු බලා, උඩුහොය

  102. තමා

  103. පහයා

  104. සෙනාධිපතියෙක්

  105. උපන

  106. මහත් නරකයෙහි

  107. වැලප වැලප කිය, වැලැපැයි කියැ

  108. නො උපන්නෙමි

  109. බුදුමි

  110. භවත්හු

  111. දනිම්

  112. බුදුන්

  113. දිවා විහාර සඳහා

  114. කුමටය යත්

  115. කරා ගොස්

  116. නන් මහණ බමුණන්

  117. බමුණුමහසල් කුල ද

  118. මහ

  119. කිසි කෙනෙක්

  120. ඇත්තේ නො වෙයි

  121. දෙව්මිනිස්හට

  122. දැහැමෙක්

  123. නො දැකැ

  124. මල්ලවයුද්ධ

  125. සිපති

  126. බව්නුදු

  127. වලට, වට

  128. පසතැ

  129. පහණයක්

  130. අණතෙක්හි, අනෙකෙක්හි, අනනෙක්හි අඳනෙක්-හි “අන්දුබන්ධනබද්ධො විය” අටුවා

  131. පසු පස්

  132. තමාගෙ-හැම

  133. කියා (යි) යවූහු-මු

  134. හිඳුම, හිඳුමෙහි

  135. ගැලෙහි-මු

  136. ගෙහි

  137. නො ගෙනයහී, නො නැංගියහී-මු

  138. පිරිස්නට

  139. මුහු

  140. අරම්හි

  141. දුනුවා

  142. බන්දා

  143. සත්සියයක් වියෙන්

  144. අදවන්නාහු නම්

  145. මැනැවියි

  146. වෙලෙහි

  147. වජඹිමි

  148. බලා, බලමින්

  149. කොට

  150. උතුම් වැ

  151. සිතී යැ

  152. කැළහිලන්

  153. නමි-මු:

  154. සැමිවැටිය

  155. යහළුව

  156. ඔරජ

  157. දුට

  158. නො පිරිමියෙක් ද

  159. හරහසර

  160. වජඹ

  161. ළැහැවක්, ළැහැබක්

  162. ඔහු එසෙයින් මැ

  163. වැඩසිටි, වැඩසිටි

  164. දෙන

  165. ගැහැටෙනහි, ගැහැටෙයි

  166. කෙසුරුසි රජහු

  167. වු

  168. දිටුහ

  169. අධිගම කළහ

  170. නොයෙක්සෙ දිලි

  171. රැස්වූ නුවටනුදු-මු

  172. නුවට ලද-මු