වාක්‍යවිධි

ගුරුළුගොමීන් ගේ වාක්‍ය විමසා බලත්, සියබසෙහි පෙරැ පැවැති රීති බෙහෙවින් මත කරැ-ගත හැකි වෙයි. ඔවුන් යොදන පදවැළ බෙහෙවින් පැරැණි සන්න ගැටපද විවරණ පිටපොත් ආදියෙහි තුබූ පදවැළ වියැ හෙයි. ඒ පදවැළින් ගොතන වාක්‍යයෙහි දූ පැරැණි වාක්‍යරචනාවිධි තුඩුව මනා මැයි. මෙහි ලා අපට දුටු කිසි දෙයක් ඇදැ දැක්වීම වටතියි සිතම්හ. ‘අමාවතුර’ හදාරන ශිෂ්‍යයනට එයින් වැඩ සිදුවේ.

1. දසමසින් (-දසහි මාසෙහි) කෙළෙන් (-ඝටෙහි) කේල්පතින් (-කදලිපත්තෙහි) නියෙන් (-නඛෙහි) දිවියෙන් සරණ ගියහ (-පාණෙහි සරණං ගතා) නවමහ වැස්සෙන් (නවහි ...... වුට්ඨිහි) යුවළ දොර පුවරියෙහි (-පඤ්චසු වෙරෙසු) කෙහෙයෙහි ගෙනැ (-කෙසෙසු ගහෙත්වා) කනැ (-කණ්ණෙසු) සරණැ තො ද පිහිටියහ (-න සරණෙසු පතිට්ඨිතා) මෙ ආදි විසින් අටුවාපාඨයෙහි අනුවාද ගත් සැටි බලත් මැ, අමාවතුරෙහි දී කරණාධාර දෙක්හි එකවචන බහුවචන වශයෙන් රූපභෙදයක් නොසලකනසෙ පෙනේ. බහුවචන පිණිසැ කී තෙල පද එකවචන පිණිසැ ද එ සැටි මැ මිසැ අන් සැටියෙකින් නොවැටෙන හෙයිනි. දම්පියාටුවාගැටපද ආදි පැරැණි ගත්හි දූ මෙ සැටිය මැ දක්නට ලැබේ. පැරැණි ගැදි පද දෙක්හි මැ කරණාර්ථ හා ආධාරර්ථ හා කියන අචෙතන පද දෙ බස්හි සම සේ යෙදිණ. සිදත් සඟරායෙහි දී කරණ විබත් දක්වන තැනැ දෙ බසෙහි සම රූපි කියකුදු, අදරවිඛත්ති ‘අන්හි’ යන බහුවචන විභක්තිය කියති. “පහනැ තඹරන්හි බමන බමරමුළු තමඹ පිරියෙසැ සරන තිමිරබලල්වලා” යනු ආධාර බහුවචන පිණිසැ නිදර්ශන ද කෙරෙති. ආධාරබහුවචන සිදු කරන්නට අළ ඒ නිදසුන තබා අන් එක ද නිදසුනක් පැරැණි ඡෙකව්‍යවහාරයෙන් සපයා නොගත හැකි යැ. තඹරත්හි (-තාමර-සොදරයෙහි) යන පදය තඹරන්හි කියා ලිපිදොසින් තිබියැ දී ‘සිදතෙ’හි ප්‍රමාණපාඨ පිණිසැ ගියහයි ද එයින් ප්‍රමාණපාඨ නො වෙතියි ද නිශ්චය කොට ගෙනැ බැහැරැලන්නට වටනේ යැ. සියළසෙහි දී චෙතන ශබ්ද ගණයෙහිත් අවෙතන ශබ්ද ගණයෙහිත් කාරකාර්ථ කියන පදරූපයෙහි දක්නා වෙනස විමසත් මැ. ‘තඹර’ අචේතන නුයි එහි බහුවචන රූපයෙක් නොලැබියැ හෙන්නේ යැ. ගුරුළුගොමින් ආදි ජෙකයන්ගේ වහරෙහි ‘ආධාරබහුවචනයහ’යි වෙන් කළ මනා රූපභෙද නොලැබේ.

2. ගුරුළුගොමීන් පෙළ අටුවා දෙක්හි ලැබෙන අනාගත ආඛ්‍යාතයෙකැ අනුවාද පිණිසැ ගන්නා ක්‍රියාපද වර්තමාන කාලය කියන්නට යෙදියැ හෙන පද මැ වෙයි. අනාගතාර්ථ කියන විශේෂ ක්‍රියා පදයක් සියබසෙහි ලා ඔහු කිසිදු තැනෙකැ නො දකිත්.

“සත්තමෙ දිවසෙ මරිස්සතී’ති වුත්තං, සො තථෙ’ව මතො. ඉදං පඨමංපාටිහාරියං. අලසකෙනා’ති වුත්තං. අලසකෙනෙ’ව මතො. ඉදං දුතියං, කාලකඤ්ජකෙසු නිබ්බත්තිස්සතී’ති වුත්තං, තථෙ’ව නිබ්බත්තො. ඉදං තතියං ඛීරණත්ථම්හකෙ සුසානෙ ඡඩ්ඩෙස්සන්ති’ති වුත්තං. තථෙ’ව ඡඩ්ඩිතො. ඉදං වතුත්තං. නිබ්බත්තට්ඨානතො ආගන්ත්වා සුනක්ඛත්තෙන සද්ධිං කථෙස්සතී’ති වුත්තං. සො කථෙසියෙව. ඉදං පඤ්චමං පාටිහාරියං”යි සුමංගලවිලාසිනියෙහි සඳහන් ලත් තෙල පාඨයෙහි අනුවාද කෙරෙමින් ගුරුළුගොමීහු මෙ සැටි ලියති.

“සත් දවසින් මියෙ’යි වදාළහැ. හෙ එසෙ මැ මෙළෙ. මෙ පළමු වන පෙළහර යැ. ‘ආලස්‍යයෙකින් මියෙ’යි වදාළ හැ. හෙ එසෙ මැ මෙළෙ. මෙ දෙ වන පෙළහර යැ. ‘කාලකංජකඅසුරයොන්හි උපද්දි’ වදාළහැ. හෙ එහි මැ උපනැ. මෙ තුන්වන පෙළහර යැ. ‘ඛීරණත්ථම්භක නම් සොහොනට ඇදැ - පියතී’ වදාළ හැ. ඔහු එහි මැ ඇරැ දමා-පිහ. මෙ සතර වන පෙළහර යැ. ‘උපන් තැනින් අවුදු සුනක්ඛත්තයා හා බෙණ’යි වදාළහැ. හෙ එසෙ මැ වියැ. මෙ පස් වන පෙළහරයි” (178 පි:) යනු ලියති.

මෙහි මරිස්සති, නිබ්බත්තිස්සති, ඡඩ්ඩෙස්සන්ති, කථෙස්සති යන අනාගත ක්‍රියා පිණිසැ පිළිවෙලින් මියෙ, උඵද්දි, පියති, බෙණෙ යන පද සියබසෙහි ලා යොදනසෙ විමසන්නේ යැ. හැම තැනැ මෙ සැටියෙන් ම වර්තමාන කාලය කියැ හෙන ක්‍රියාපද මැ අනාගතාර්ථයෙහි දු යොදනසෙ පෙනේ. එයින් ගුරුළුගොමීන් ආදී ඡෙකයන් ගේ වහරෙහි මේ ‘අනාගතරූප’ යැයි වෙන් කළ හැකි විශේෂ රූපයෙක් නැත. එසේ නැති වත් මැ, කෙසේ නම් අනාගතාර්ථ වෙන් කොට දත හෙන්නේ යැ යත්; අර්ථ යැ, ප්‍රකරණ යැ, ලිංග යැ, ඖචිත්‍ය යැ, දෙශ යැ, කාල යැ යනාදිය ශබ්දාර්ථවිභාගයෙහි ලා ප්‍රමාණ කටයුතු බව ආචාර්යවරයෝ කියති. එ මගින් ‘මෙ වර්තමාන යැ; මේ අනාගත යැ’ යනු විනිශ්චය කළ හෙයි. වැකියෙහි වැදැ සිටුනා ‘මතු’ යනාදි පදයන්ගේ වහලිනුදු කාලවිභාගය දත හෙන තැන් ඉබොහෝ වෙයි.

සිද්ධාන්තසංග්‍රහයෙහි දී සියබසෙහි අනාගත ක්‍රියාපද වෙන් කොට ගනු පිණිසැ අන්නේ, එන්නේ ආදි ප්‍රත්‍යය දක්වා ‘හනන්නේ’ දෙන්නේ’ ආදී උදාහරණ ද කියති. ඒ උදාහරණ බලත් මැ, ශබ්දයෙකැ වරනැගිල්ලක් වත් මුත් ධාතුයෙහි වරනැගිල්ලක් නොවන හෙයිනුදු වර්තමානකාලයෙහි වැටෙන හෙයිනුදු අනාගතක්‍රියාපද විසින් නොපිළිගත මනාසෙ කුමාරතුංග සූරීහු කියති. “තමා කෙරෙහි නැති පඨමජ්ඣන් තමා කෙරෙහි ඇති එච්, සමවජිමි සමවැජිමි සමවජින්නෙම් එව්, අනික් මිනිස් සතක් හට බුහුමන් කැමැති සිත්තෙන් පරියාමුදා ඉඳුරා කිව, වැළැතැ සිටැ මොහු දන්වමි යන මිනිසුන් එවිගස දත පරිජි වේ” යන සිඛවළඳවිනිස වැකියෙහි එන ‘සමවජිමි, සමවැජිමි, සමවජින්නෙම්’ යන පද තුන විමසත් වටී. තුන් කල් වෙන් කොට කියනු පිණිසැ ඒ පද තුන එකිනෙක වෙනස් කොට එක්මැ තැනැ යෙදූහ. ‘සමවජින්නෙම්’ යනු අනාගත කාලය කියන විශේෂරූපය වෙයි.

‘සමවජින්නෙම්’ යනු අනාගත කාලය කියන විශේෂ රූපයක් කොට පිළිගනුත් මැ, ‘දනන්නේ, දෙන්නේ’ ආදි පද අනාගතක්‍රියාපද නො වෙතියි නොකියැ හැකි යැ. ‘දනන්නේ, දෙන්නේ’ ආදිය ශබ්ද වරනැගිල්ලෙහි වැටෙන පද වුව ද, කිසි ආචාර්ය කෙනකුන් අනාගත කාලය පිණිසැ වෙන් කළසෙ පිළිගත යුතු වේ. කාලයැ, කාරක යැ, පුරුෂ යැ යන මෙතෙක් දැය කිය හෙන පදය ක්‍රියාපදයෙක් වේ. සිය බසෙහි ‘දනන්නේ’ ආදිය පුරුෂ තුනෙහි වරනැඟෙමින් කාලය හා කාරකය හා කියන විටැ ක්‍රියාස්වභාවය ඇත් නුයි ක්‍රියාගණයෙහි ලා පරිගණනා කරනු වටනේ යැ. එසේ වතුදු ගුරුළුගොමීන් ආදි ආචාර්යවරයන් ගේ පදඝටනායෙකින් එබඳු ‘අනාගතරූප’ නො ලැබියැ හැකි යැ.

3. කිසි වැකියෙකැ පදාන්තරසංග්‍රහහෙතුවින් දක්නා පදවිධිද තැනැ තැනැ ඇත. ඒ පදවිධි පෙළසකුවහර හා නො සැසැඳෙයි. “මහරජ, තොප පියන් මුත්තන් ඈ සත් වන කුලපරම්පරායෙහි වූවන් රැස් කළ ධන යැ” (102 පි:) “හුරන් මුවන් ළිහිණියන් ඈ නොඑක් සතුන් නො ද මැරුහ” (107 පි:) “බුදුන් ආදීන් ගෙ ගුණ නො දන්නි” (137 පි:) තෙල වාක්‍ය තුනෙහි ‘මුත්තන්, ළිහිණියන්, බුදුන්’ යන පද විමසන්නේ යැ. පොළසකුවහරෙහි ලා මේ තැන් සමාසවිධියෙන් ‘ආදි’ ශබ්දයා හා එක් කොට ලියනු දක්නා ලැබේ. “බුද්ධාදීනං”යි ‘බුද්ධ’ - ශබ්දය හා ‘ආදි’ - ශබ්දයා හා සමාස විධියෙන් එක් කොට ලියනු පෙළවහර වේ. එසේ ද වත්, සියබසෙහි දී සමාසයට නිසි තැනැ සමාස නො කොට ‘මුත්තන්, ළිහිණියන්, බුදුන්’ යි ප්‍රත්‍යය යොදා-ලූ සැටි දක්නේ යැ. මෙහි කාරකාර්ථයක් නැතියෙන් සකුයෙහි කියන ‘උපපදවිභක්තිගණ’යෙහි ලා සසඳා ලියැ හැකි යැ. වැකියෙහි දක්නා ‘ඈ’ යනාදි පදයන් ගේ සංසර්ගය මෙයට හේතු වෙයි. එසේ වුව ද සකුයෙහි උපපදවිභක්ති යොදනුයේ සමාසගොචර නොවන තන්හි වේ. මෙහි සමාසගොචර තන්හි දු උපපදවිභක්තිරීතිය ඇසිරි කරනසෙ පෙනේ. “(සච්චක) බුදුන් දක්නා ලැබෙයි. බණ අසනු ලැබෙයි.” යනාදි තැනුදු විමසන්නේ යැ.

4. බහුවචනප්‍රත්‍යය නොයෙදුව ද, බහුභාවය ප්‍රකාරාන්තරයෙන් අඟවමින් පද යොදන තැනුදු ගුරුළුගොමීන් ගේ වාක්‍යයෙහි ඇත. තෙල වාක්‍යයන් විමසන්නේ යැ:

  1. “ඔවුන් ඇනු වැ එ එ රටින් ආ මිනිස් පිරිස් බුදුනට මැ පිරිවර වී” (207 පි:)
  2. “එ කල්හි මරපිරිස් ගල්සෙල් සෙයින් වැතිරෙමින් අවුදු වටා ගත්හ” (27 පි:)

තෙල දෙ වැකියෙහි ‘පිරිස්’ යනු නොවෙනස් වැ තිබියැ දී වාක්‍යවසානය වෙනස් වැ දෙ සැටියෙකින් සිටුනේ යැ. එක් තැනෙකැ එකවචන වෙයි. එක් තැනෙකැ බහුවචන වෙයි. මුල වැකියෙහි චෙතනයන් වෙන වෙන නො ගෙනැ පිරිස් විසින් එක් කොට සලකන ලද නුයි එහි ‘ව’ යන එකවචන ක්‍රියාව ඝටිත වෙයි. පිරිස් විසින් ගන්නා කලැ එකක් වුව ද, පිරිසෙහි හැම දෙන වෙන වෙන අවුදු වැටැලීම් ක්‍රියාව කෙළෙන් දෙ වන වැකියෙහි ‘වටා-ගත්හු’ යන බහුවචනය ද ඝටිත වෙයි. සමූහවාචී ශබ්ද වෙතනයන් කියන කලැ බහුවචනප්‍රත්‍යය නැත ද, උන් ගේ බහුභාවය වෙන් කොට ගත මනාසෙ පෙනේ නම් වාක්‍යාවසානපදය බහුවචනයෙන් යොදා-ලීම නිදොස්සෙ මෙයින් දත හෙන්නේ යැ. “යම්සෙ පර්ෂද් ඔහුගෙ රූප නො දකිත් ද” (227 පි:) යනාදි තැනුදු මෙ සැටියෙන් සැලැකිය යුතු යැ.

බහුවචනප්‍රත්‍යය නැත ද සමුච්චයාර්ථපදයන්ගේ වහලින් බහුභාවය සලකා ගන්නා තැන් පෙළ සකු දෙක්හි ඇත. ගුරුළුගොමීහු ඒ තැන් පෙළසකුනියර ගෙන ද ලියති. “සක්දෙව්රජ දූ ඔවුනට වල්ලභ වෙසවුණුරජු දූ මහතෙරුන් පෙරට කොටැ විජයත් පහයට ගියො” (278 පි:) යනු නිදර්ශන යි. මෙහි ‘ගියො’යි බහුවචනයෙන් වාක්‍යාවසානය කරති. ‘දූ’ යන සමුච්චයාර්ථපදයෙන් ‘කර්තෘහු බොහෝහ’ යනු කියන හෙයිනි. “සක්කො ච දෙවානමින්දො වෙස්සවණො ච මහාරාජා ආයස්මන්තං මහාමොග්ගල්ලානං පුරක්ඛත්වා යෙන වෙජයන්තො පාසාදො තෙනුපසංකමිංසු” යනු මෙහි පෙළයි.

5. මාතෘභාෂායෙහි දක්නා අචෙතන ස්ත්‍රීලිංග ශබ්ද සියබසින් අරවන තැනැ ගුරුළුගොමීහු එකාන්තව්‍යවස්ථායෙකැ නො සිටිති. “මහ, පොළොව රැව් දහස් රැව් සුවහස් විහිදැ හැඬවැ” (29පි:) මෙහි මූලපාඨයෙහි ‘මහාපඨවි’ යනු එයි. පාළියෙහි ලා ඒ ස්ත්‍රීලිංග ශබ්දයෙකි. එයින් සියබසට එන ‘මහපොළොව’ යනු අචෙතන වුව ද, පෙරැ සිටි ස්ත්‍රීලිංග ගෙනැ එයට සරිලන සේ ‘හැඬුවැ’ කියා වාක්‍යාවසානපදය යොදති. “මහපෙළො ගුගුළෙ” (39 පි:) යන මෙහිලා වාක්‍යාවසාන පදය “ගුගුළෙ’යි යොදති. ඒ ස්ත්‍රීලිංගභාවය නො සලකා යොදන ලද පදයෙකි. ස්ත්‍රීලිංගභාවය සැලැකුව, ‘ගුගුළ’ හෝ ‘ගුගුළා’ යනු වත් මුත් ‘ගුගුළෙ’යි ‘එ’ - විබත් නො යෙදිය හෙන්නේයැ. සිදත් සඟරායෙහි දු එන ‘පණන් වෙළපන්නී අවිදු-කිවින් නුදුටුයෙ කෙඋවම්” යන දෙ වැකි විමසත් වටනේ යැ. ‘අවිදු’ යන මෙහි ස්ත්‍රීලිංගභාවය ගෙනැ ‘වෙළපන්නී’යි යෙදුව ද, ‘උවම්’ යන මෙහි ස්ත්‍රීලිංග භාවය නොසලා ‘නුදුටුයෙ’යි යෙදුව ද, ‘උවම්’ යන මෙහි ස්ත්‍රීලිංග භාවය නොසලකා ‘නුදුටුයෙ’යි යෙදිණ. මාතෘභාෂයෙහි සිටුනා අචෙතන ස්ත්‍රීලිංග ශබ්දයන්ගේ ස්ත්‍රිත්වය පිණිසැ සර්වනාමශබ්ද ද පවා යොදන තැන් ගුරුළුගොමීන් ගේ වැකියෙහි ඇත. “අවිජ්ජා සංසාරය හිස් වන බැවින් මුදුන. රාත් මහනුවණින් ඇය කඩන බැවින් විද්‍යාමුදුන් පැලුමැ” (208 පි:) යන මෙහි ‘ඇය’ යනු අවිජ්ජා’ ශබ්දයෙහි ස්ත්‍රීලිංගභාවය දක්වමින් යොදන ලද පදයෙකි. ගුරුළුගොමීහු “උපමායෙක්, ප්‍රීතියෙක්, කථායෙක්” යනාදි පද එහි ස්ත්‍රීභාවය නො සලකා පුංරූප සෙයිනුදු ලියති. එතන්හිදී ශබ්දය ස්ත්‍රීලිංග වුව ද, එහි අචෙතනභාවය පිණිසැ පුංරූප කොට ලියනසෙ පෙනේ. මෙසේ විමසා බලත් මැ, මාතෘ භාෂායෙහි දක්නා අචෙතන ස්ත්‍රීලිංගශබ්ද සියබසින් අරවා තබන විට, ස්ත්‍රීරූපයෙනුදු කැමැත, පුංරූපයෙනුදු යෙදුව නිවරදසෙ නිශ්චය කට හෙයි.

6. “බන්ධනගත සත්ත්වයො බන්ධනයෙන් මුක්ත වූහ” (10 පි:) “ඇත්හු වල් ඇත් වෙති, අස්හු වල් අස්වෙති” (136 පි:) යන වාක්‍යයන් විමසත් මැ විශේෂ වාක්‍යවිධියෙක් මතු වෙයි. ‘මුක්ත වූහ’ යනු මිසැ ‘මුක්තයො වූහ’ යනු ගුරුළුගොමීහු නො ලියති. ‘වල් ඇත් වෙති-වල් අස් වෙති’ යන මිසැ ‘වල් ඇත්හු වෙති-වල් අස්හු වෙති’ යනුදු නො ලියති. සියබසෙහි ලා ‘ව’-ධාතු (වූ) පුරණයක් අපේක්‍ෂා කෙරේ. පුරණාර්ථ පිණිසැ සිටුනා පදයෙහි උක්තානුක්තභාවයෙක් නොලැබීයැ හෙන්නේ යැ. මෙහි අළ ‘මුක්ත-ඇත්-අස්’ යන පදයෝ ‘ව’ - ධාතුයෙහි අර්ථ පූරණය කෙරෙමින් සිටිති. එයින් එහි ලා උක්ත භාවයෙක් වේවයි. අනුක්තභාවයෙක් වේ වයි නැත. එ හෙතුවින් ඒ පද හා උක්ත බව කියන ප්‍රත්‍යයෙක් හෝ අනුක්ත බව කියන ප්‍රත්‍යයයෙක් හෝ නො යෙදේ. “බන්ධනගත සත්ත්වයො බන්ධනයෙන් මුක්තයො වූහ”යි කිව, “ඇත්හු වල් ඇත්හු වෙති”යි කිව, “අස්හු වල්” අස්හු වෙති”යි කිව වරද වන සැටිය මතුයෙහි ‘එක්, අක්’ යන රූප පිණිසැ ලියන පදවිභාගයෙහි ලා පැහැදිලි කරම්හ. සකුයෙහි දී කියන ‘අර්ථාතිශයයොග’ය සියබසෙහි දූ ප්‍රකාරාන්තරයෙකින් ලැබෙනසෙ ගුරුළුගොමීන් ගේ තෙල වාක්‍යවින්‍යාසයෙන් කියැහෙන්නේ යැ.

7. “සිල්වත්හි” (96 පි:) “දිළිඳුහි” (119 පි:) “තො කිනම්හි” (168 පි:) “දත් නම්මි; මිත් නම්මි” (101 පි:) තෙල වාක්‍යයන් විමසන විට සියබසෙහිලා ශබ්ද ප්‍රකෘතිය තසදකරු අරුතෙහි දු මසදකරු අරුතෙහි දු යොදන සැටිය පෙනේ. අතීතාදි කාලභෙදය කියන ප්‍රත්‍යය නැතුවත් පුරුෂමාත්‍රය කියනු පිණිසැ ශබ්ද වුව ද යොදන්නට මෙයින් උපදෙශ ලැබේ. ඒ ඒ ශබ්ද අස්මදර්ථයෙහි වැටෙන විට ‘ම’ කාරයා හා යුෂ්මදර්ථයෙහි වැටෙන විට ‘හ’-කාරයා හා ලං කළ යුතුසෙ තෙල පදඝටනායෙන් පෙනේ.

8. සාමාන්‍ය ආමන්ත්‍රණ යැ, විශේෂ ආමන්ත්‍රණ යැ යන ආමන්ත්‍රණ දෙක එක් මැ වැකියෙහි යොදන විට සාමාන්‍ය ආමන්ත්‍රණය එකවචනයෙනුදු, විශේෂ ආමන්ත්‍රණය බහුවචනයෙනුදු යොදනු පැරැණි මතයෙකි. “පුතැ, තෙමියසිරෙනි” යන සිදත්සඟරා පාඨය ද එයට නිදසුනෙකි. ගුරුළුගොමීහු එය ගණනට නො ගනිති. “සබඳ, ජීවකය, යා තො මැ ඇතුන් සදවයි කී යැ” 6 120 පි:) “සබඳ, ජම්බූකය” (86 පි:) “පුතැ, පංචසිඛය” (288 පි:) තෙල වාක්‍යයෙහි ආමන්ත්‍රණ දෙක ඇත ද එකවචන බහුවචන වශයෙන් භෙදයක් නො දක්වති.

9. “එ කල්හි දෙවි පිබිදැ රජගහ සැළකළහ” (10 පි:) “රජපා ඔවුන් සිරිරු ලෙවැ යපෙත්” (115 පි:) “අප හැඹු මඳක් යෙත්වයි” (260 පි:) “එ කල්හි මහසත් .......... වැඩැසිටියො” (25 පි:) “මහසත් පැරුම් සිමිදුමින් වැඩහුන්හු” (27 පි:) තෙල වැකි විමසන්නේ යැ. ‘සැලකළහ, යපෙත්, යෙත්වායි, වැඩැසිටියො, වැඩහුන්හු” යන වාක්‍යාවසානපදයෝ බහුවචනයහ. එහි උක්ත වන ‘දෙවී, රජපා, හැඹු, මහසත්’ යන පදයෝ උත්තමයන් කෙරෙහි දු උත්තමාවන් කෙරෙහි දු ඒ ඒ තැනැ යෙදෙති. ඒ උත්තමයනට දූ උත්තමාවනට දූ ගෞරව පිණිස අවසානපද බහුවචනයෙන් තුබුසෙ පෙනේ. පෙළසකු වහරෙහි ලා ගෞරවාර්ථ බහුවචන ඇත ද, කර්තෘපදය එකවචනයෙන් තිබියැ දී ක්‍රියාපදය බහුවචනයෙන් තබන තැනෙක් නැත. සියබසෙහි දි අවිහක්තිකනිර්දෙශ වශයෙන් යොදන ශබ්දප්‍රකෘතිය කර්තෘවශයෙන් සිටියැ හෙයින් එහි එකත්වය හා බුහුත්වය හා අවසානපදයෙන් සැලැකිය හෙන්නේ යැ. “දීර්ඝතපස්වී වනාහි කලින් කලැ බුදුන් කරා එළඹැ සිටි, හිඳි, පැන පුළුවුස්සි” (56 පි:) තෙල වැකියෙහි ‘පුළුවුස්සි’ යන ක්‍රියාපදයෙහි කර්තෘ ‘දීර්ඝතපස්වී’ යන මෙයින් දැක්වේ. ඒ අවිභක්තික නිර්දේශයෙකි. විභක්තිප්‍රත්‍යය නො ගෙනැ සිට මැ කර්තෘත්වය හා එකත්වය හා ක්‍රියාපදයෙහි වහලින් දක්වා සිටුනේ යැ. එසේ වත්, වාක්‍යාවසානය බහුවචනයෙන් සිටුත් මැ, එහි වහලින් කර්තෘත්වය හා ගෞරවබහුත්වය හා දත හෙන්නේ යැ. “අප හැඹු මඳක් යෙත්වා” යනු එයින් ව්‍යක්ත සේ සැලැකිය හැකි යැ. ‘ධර්මප්‍රදීපිකා’යෙහි එන “එක් සමයෙක්හි සමන් කුමරි පන්සියක් රථ පිරිවරින් දෙව්රම් ගොස් පන්සියක් කුමරියන් පිරිවරා බුදුන් කරා එළඹැ වැඳැ එකත්පස් වැ හිඳැ පැන පුළුවුසිත්” යනාදිය ද මෙ කී නියරින් විමසන්නේ යැ.

10. මූලපාඨයෙහි දී කර්මකාරක වශයෙන් සිටුනා වාක්‍යප්‍රදේශ අමාවතුරෙහි දී බෙහෙවින් මැ කර්තෘකාරක වශයෙන් අනුවද කරන සේ පෙනේ. “මෙ ළදරු කලැ පියරජු හා ගොස් බුදුන් දුටුවිරි යැ” (123 පි:) – “ඉමිනා කිරි දහරකාලෙ පිතරා සද්ධි ආගම්ම භගවා දිට්ඨපුබ්බො”) “කවරහ, අප ගෙ දදය මඩවා-පීහ?” (151 පි:) – (“කෙන මහාධජො මද්පිතො?”) “තෙපියැ, අප ගෙ දදය මඩවා-පිව?” (152 පි:)- (තුම්හෙහි අම්හාකං ධජො මද්දාපිතො?”) යනාදි අනුවාද හා මූලපාඨ හා සසඳා බලත් මැ, පෙළෙහි කියන කර්මකාරකාර්ථය කර්තෘකාරකාර්ථයෙන් අරවා තබනසෙ පෙනේ. ගුරුළුගොමීන් ගේ වාක්‍යයෙහි බෙහෙවින් මේ සැටිය මැ දක්නා ලැබේ. “කෙටු, වැටු, ගැහැටු, වුහුටු, දුටු, පිවිටු” ආදි පදවැලෙහි කර්මකාරකාර්ථය ඇත ද, එ හැම එහි කර්තෘකාරකාර්ථය සලකා ගුරුළුගොමීන් යොදන තැන් සුලභ යැ. එයින් මැ ඔබ ගේ වැකි සිලුටුසෙ කියැ යුතු වෙයි.

11. “උපායයෙන්, සමයයෙන්, අසුරකායයෙහි, සමයෙයහි”යි යකාරාන්තපද යෙදුව මනා සෙයට මෙ කලැ විවාද කරතුදු “උපායක්” (62 පි:) “සමයෙන් (51 පි:) “අසුරකයෙහි” (176 පි:) “සමයෙහි” (22 පි:) යනාදි ප්‍රයොග ‘අමාවතුරෙ’හි ඇත. ‘ධර්මප්‍රදීපිකා’ යෙහි දූ ඇත. එයින් උච්චාරණයෙහි පහසු සලකා ඒ පද එ සැටියෙන් ලියනු වටනේ යැ. එක් සැටියෙකින් ඒ පද ව්‍යක්ත නොවනසෙ පෙනෙතුදු, ඡෙකයන්ගේ ව්‍යවහාරය ද ප්‍රමාණ කටයුතු නුයි එයින් අව්‍යක්තභාවය වැසෙන්නේ යැ. වාෂ්ටිවාචි ‘වර්ෂ’ ශබ්දය අකාරාන්ත වුව ද ‘වර්ෂා’ යි ගුරුළුගොමීහු ලියති. “එක්බිති දෙවියො ඔහු රටැ පෙරැසෙයින් නවවිධ වර්ෂා වැස්වූහ.” (69 පි:) යනු විමසන්නේ යැ. එයින් ඒ ජෙකව්‍යවහාර වී නුයි ‘වර්ෂා’ යනු සාධුප්‍රයෝගයෙක් වෙයි. ‘ඝොෂා, බ්‍රහ්මචර්යා’ යන පද යෙදුම් ධර්මප්‍රදීපිකායෙහි ඇත. එ හෙතුවින් ඒ පද යෙදුම් සාධුප්‍රයොග කොට සලකන්නේ යැ. සකුවහර අනු වැ ‘වර්ෂා’ යි කිව නිත්‍යබහුවචනාන්ත ශබ්දයෙකි. එයින් වැසි සාරමස මිසැ වෘෂ්ටිමාත්‍රය නො කියන්නේයැ. සියබසින් ‘වර්ෂා’යි කියත් මැ වෘෂ්ටිය කියැවෙයි. එය වැස්ස කියන ඡෙකව්‍යවහාර වන හෙයිනි. ගුරුළුගොමීන් ගේ බසෙහි දු නිත්‍යබහුවචනාන්ත ශබ්දයෙක් ඇත. එ නම් ‘සඟ’ ශබ්ද වෙයි. කිසිදු තැනෙකැ ගුරුළුගොමීහු ‘සඟ’ ශබ්දය එකවදනයෙන් නො ලියති. ‘සඟ’ ශබ්දයන් කියන භික්ෂූපර්ෂද් බොහෝ දෙනකුන් වන නිසා නිරතුරු බහුවචනයෙන් ලියනු ගුරුළුගොමීන් හසළ මඟ වෙයි.

12. “හෙවත්-නොහොත්” යන නිපාතයන් කෙරෙහි ‘හෙවත්’ යනු අමාවතුරෙහි කිසිදු තැනෙකැ නොලැබේ. ‘නොහොත්’ යනු නම් කිසි තැනෙකැ ඇත. “ම-පියෙ තට ඉසුරු නො දුන්නෙද? නොහොත් සැදැහැ නැත්තෙහි දැ?” (119 පි:) යන වැකියෙහි ‘නොහොත්’ යනු යෙදිණ. ‘හෙවත්’ යනු නොයොදන්නට හෙතු කිමැ? ගුඨාර්ථපදයක් දැකැ එහි අර්ථ පැහැදිලි කරනු පිණිසැ මුත් අන් කරුණක් නිසා ‘හෙවත්’ යනු නො යෙදෙයි. මෙ කලැ උගතුන් ‘හෙවත්’ යනු කෙවල නිපාත පදවශයෙන් සලකතුදු නිපාතපදයෙක් ද නොවේ. මෙහි පද දෙකෙක් ඇත. එහි අර්ථ පරික්ෂා කරත් මැ, එ කරුණ ප්‍රකට වෙයි. “හෙ, මුලැ කී ඒ දැය; වත්, කියත් හොත්” යන අර්ථ තෙල දෙ පදයෙහි ඇත. “මුලැ කී දැය ගුඪ වන හෙයින් එය පහදා කියත් හොත්: මෙසෙ ්වෙයි” යනු කියන්නට ‘හෙවත්’ යන දෙ පස සිය බසෙහි යෙදිණ. පසු කලෙකැ දෙ පද එක් කොට ගෙනැ කෙවලනිපාතවශයෙන් සලකා ගත්හ. පද්විභාග නැති වැ ගියෙන් එහි අර්ථ ද නිලීන වී යැ. ගුරුළුගොමීහු ගුඪාර්ථපදයක් ලියා නැවත එය තෝරා දී වැකි පටන් ගන්නාහු නො වෙති. එසේ වැකි ලියනු දුර්වල ලක්ෂණයෙකි. මේ හෙතුවින් අමාවතුරෙහි ‘හෙවත්’ යනු නොඑන පදයෙකි.

13.

  1. “විජයත්පහයට උතුරු දෙසෙහි සුධම් නම් දෙව්සහයෙක් ඇති” (266 පි:)
  2. “මෙ ලොව්හි මෙ බඳු මියුරු දිය නොලදින් නස්නා සත්හු හා ඇති” (300 පි:)
  3. “මහණ ගොයුම් දර්ශන සම්පත් ඇත්තෙ යැ” (89 පි:)
  4. “කුමාරය, පෙරැ මිනිස්සු බොහො කලට ආ ඇත්තාහ” (113 පි:)
  5. “සතර දෙනකුන් කෙරෙහි විස්වස් නැති” (1325 පි:)
  6. “අප ගෙ රජ සැදැහැ නැත්තේ යැ” (67 පි:)
  7. “පුහුදුන් සැදැහැත්තන් කෙරෙහි මෙ රජ හා සමයො නැති” (74 පි:)

මෙහි මුලැ සඳහන් සතර වාක්‍ය විමසා බලත්, එහි දෙ තැනෙකැ ‘ඇති’ යනු යෙදුණුසෙ පෙනේ. එකවචන බහුවචන විසින් භෙදයෙක් හෝ නො වෙයි. පෙළවහරෙහි ‘අත්‍ථි’ කියාත්, සකුවහරෙහි ‘අස්ථි’ කියාත්, සියබසෙහි ‘ඇති’ කියාත්, එක් මැ පදය ව්‍යවහාරභෙදය ගෙනැ රූප විසින් වෙනස් වැ සිටුනේ යැ. මේ නිපාතපද විසිනුදු පෙළසකු දෙක්හි මැ යෙදේ. “අස්තික්ෂීරා - අස්තිධනා” යනාදි සමාසපද විවරණ කරන ලඝුවෘත්තිකාර පුරුෂොත්තමදෙවයෝ “අව්‍යයාභ්‍යාම ස්තිනාස්තිශබ්දාභ්‍යාං සමාසඃ”යි ‘අස්ති-නාස්ති’ යන පද නිපාත වනසෙ ද කියත්. විද්‍යමානර්ථයෙහි වැටෙන වාක්‍යාවසානබොධක ‘අස්ති’ යන ක්‍රියා නිපාතපදය සියබලසෙහි ලා ‘ඇති’ කියා සිටුත් මැ, එකවචනබහුවචනභෙද නො ගෙනැ නිපාත විසින් මැ සිටුනේ යැ. මෙ හෙතුවින් ‘දෙව්සහයෙක් ඇති’ යන මෙහි දු ‘සත්හු හා ඇති’ යන මෙහි දු ‘ඇති’ යන පදය එකවචන බහුවචන නිසා වෙනස් නො වෙයි. එසෙ වතුදු එහි උක්තපදයෝ ‘දෙව්සහයෙක්’ කියා එක් තැනෙකැ එකවචන විසිනුදු ‘සත්හු’ කියා එක් තැනෙකැ බහුවචන විසිනුදු වෙනස් වැ සිටිත්.

“මහණ ගොයුම් දර්ශනසම්පත් ඇත්තෙ යැ, මිනිස්සු බොහො කලකට ආ ඇත්තාහ” යන තෙල දෙ වැකියෙහි ‘ඇත්තෙ, ඇත්තාහ’ යන පදයෝ දෙ දෙන ‘ඇති’ යන අසංඛ්‍යයෙන් මැ නීපන්හ. එසේ වුව ද, එකවචන බහුවචන විසින් වෙන් වෙන් වැ සිටිති. හෙතු කිමැ යත්: ‘ඇත්තෙ, යන පදයෝ ද්‍රවශශරීරයෙහි වැටෙති. මුලැ කී දෙ වැකියෙහි ‘ඇති’ යනු වද්‍යමානමාත්‍රය කියන ‘වාක්‍යවසානබොධක ක්‍රියා නිපාත’ වත් මුත් ද්‍රව්‍යයෙහි නො වැටේ. ‘ඇත්තෙ, ඇත්තාහ’ යන මෙයින් වෙතන වේ වයි, අවෙතන වේ වයි, යම් මැ ද්‍රව්‍යයක් කියත්. ‘ඇති, යන මෙයින් එසේ ද්‍රව්‍යය නො කියත්. මෙසේ විමසා බලත්, ‘ඇති’ යනු වාක්‍යාවසානයෙහි වැටෙන කලැක්‍රියානිපාත විසිනුදු ද්‍රව්‍යයෙහි වැටෙන කලැ ශබ්ද විසිනුදු සැලැකියැ හෙන්නේ යැ. ද්‍රව්‍යයෙහි වැටෙන කලැ ‘එ’ - ආදි ප්‍රත්‍යය ගෙනැ ‘ඇත්තෙ, ඇත්තාහ’ යනාදි විසින් රූපොන්නයනය ගනී. එසේ රූපොන්නයනය ගනුත් මැ, ඒ ද්‍රව්‍යයෙහි “ඇති දැය කිමෙකැ හෝ!” යන අපෙක්ෂායෙක් උදා වේ. එ විට අර්ථපූරණ වශයෙන් ඇති දැය සඳහන් කරන්නේ යැ. මාතෘභාෂායෙහි මෙ බඳු තැනැ එන ‘අස්ථ්‍යර්ථතද්ධිත’ය පිණිසැ සයබසෙහි තෙල මාර්ගය සිටුනේ යැ. ‘මහණ ගොයුම් ඇත්තෙ යැ’ කිව, හෝ කුමක් ඇත්තේ හෝ! යන අපෙක්ෂා ඇති වෙයි. ඇති දෑ ආයුෂ නුයි, ‘මිනිස්සු බොහෝ කලට ආ ඇත්තාහ’ කියා වැකිය සිටී. ‘ඇත්තෙ, ඇත්තාහ’ යනාදී ද්‍රව්‍යවාචකපදයෝ අර්ථපූරණය ද බලා සිටිත් නුයි, අර්ථපූරණයක් නැති වැ කිසි දු කලෙකැ වැකියෙහි නො යෙදෙති. තෙල ව්‍යවස්ථායෙන් “බ්‍රහ්මදත්ත නම් රජෙක් ධන ඇත්තේ යැ” යනු නිර්දෝෂ වාක්‍යයෙක් වේ. ‘ධන’ යන මෙයින් ඇති දෑ කියූ හෙයිනි. ‘අස්ති’ යන නිපාත ක්‍රියායෙහි එන අර්ථය පිණිසැ වැකිය ගළපත් මැ, “බ්‍රහ්මදත්ත නම් නම් රජෙක් ඇති” යන මෙතෙක් මැ නිර්දෝෂ වත් මුත් “බ්‍රහ්මදත්ත නම් රජෙක් ඇත්තේ යැ” යනු නොවියැ හෙන්නේ යැ. එක් පදයෙක් වාක්‍යාවසානබොධක නිපාතක්‍රියා වෙයි. අනෙක් පදය අර්ථපූරණය ද අපෙක්ෂා කරන ද්‍රව්‍යවාචක පද වෙයි. මේ යැ, එයට හේතු නම්,

ආචාර්ය ගුරුළුගොමීන් ගේ යෙදුම්හි ලා මෙ කී ක්‍රමය හැම තැනැ පැතිරැ-ගෙන සිටුනේ ය. ‘නැති, නැත්තේ යැ, නැත්තාහ’ යනා දි පද පිණිසත් කියුව මනා දැය මෙතෙක් මැ යැ. ‘ඇත්-ඇත, නැත්-නැත’ යනු ‘ඇති-නැති’ යන දෙ පදයෙහි රූපාන්තර නුයි, විශෙෂාර්ථයෙක් නො ලැබේ.

“දැන් මට මෙහි අනෙක් පිළිසරණෙක් ඇත්තෙ නො වෙයි” (164 පි:)

“මෙහි මා කිසි නෑ කෙනෙක් ඇත්තාහු නො වෙති” (27 පි:)

තෙල දෙ වැකියෙහි අර්ථපූරණයක් අපේක්ෂා නො කොටැ ‘ඇත්තෙ ඇත්තහු’ යන පදයෝ යෙදුණහ. හේ කිමෙකැ යත්: ‘ඇත්තෙ’ යනු ‘පිළිසරණෙක්’ යන්නෙහි විශේෂණ වන බැවිනුදු ‘ඇත්තාහු’ යනු ‘නැ කෙනෙක්’ යන්නෙහි විශේෂණ වන බැවිනුදු නාමවිභක්ති ගෙනැ පරනිපාත වැ යෙදුණුසෙ පෙනේ. සමානවස්තුක විශේෂණය විශෙෂ්‍යයෙන් පර වැ සිටුත් මැ. විශෙෂ්‍යයෙහි ඇති ලිංගවිභක්ති වචන ගන්නේ මැ යැ. එයින් මේ ප්‍රයෝග මුලැ කී ව්‍යවස්ථා නො බිඳුනේ යැ. ‘ඇත්තෙ-ඇත්තාහ, නැත්තෙ-නැත්තාහ’ යනාදි පද ක්‍රියාපද වශයෙන් ගෙනැ මෙ කලැ උගතුන් වාක්‍යඝටනා කරතුදු ගුරුළුගොමීන් ගේ වහර අනු වැ සොයා බලන්නකුට ඒ ඝටනායෙහි වරද මහත්සෙ වැටැහෙයි. ‘ඇති-නැති’ යන පද ද්‍රව්‍යය කියන කලැ කම් කතු ආදි අර්ථ පහළ කරන්නට නාමවිභක්ති ගෙනැ වර නැගෙතුදු ක්‍රියාව කියන කලැ නාමවිභක්ති නොගන්නේ වේ.

14

  1. “බෝසතාණො වනාහි ඇත්ගණනින් කෙළදහසක් ඇත්නට බල ඇතියව්හු” (19 පි:)
  2. “බුදුහු වනාහි දෙ තිස්වරලකුණෙන් හා අසු අනුව්‍යඤ්ජනයෙන් සැදි සිරිරු ඇතියව්හු” (124 පි:)

මෙහි ‘බල ඇතියව්හු, සිරිරු ඇතියව්හු’ යන පද ගුරුළුගොමීහු යොදති. ‘හැකියව්හු, යනාදි මෙ බඳු අන් පද ද ‘ධර්මප්‍රදීපිකා’යෙහි දී යොදති. මෙහි නිෂ්පත්තිය විමසත් මැ ‘බල ඇතියාවූහ. කියැ යුතු තන්හි ‘බල ඇතියව්හු’යි පදසිද්ධිය සිටුනාසෙ පෙනේ. ‘වූ’-යනු ශබ්දයෙකි. එ වනාහි ‘ව’ - ධාතුයෙන් සිද්ධ යැ. එහි ලා බැහැරින් ළං විය යුතු අර්ථයක් පුරවනු පිණිසැ ‘බල ඇති’ යනු යෙදිණි. එ අනුප්‍රයෝගයෙකි. පද මැදැ ‘ආ’ - කාරාගමයෙන් හා පදඅගැ නාම විභක්ති ගැනීමෙන් හා ‘බල ඇතියාවුහු’ යනු සිද්ධ වෙයි. පසු වැ සන්ධිවිධියෙන් ‘බල ඇතියව්හු’ කියා වාක්‍යයෙහි සිටුනේ යැ. ‘හැකියව්හු - වැනියව්හු’ යනාදිය ද මෙ සැටිය මැ ගත් තැන් වෙයි. ‘බල ඇතියහු’යි කියැ යුතු තැනැ ‘ව’ - කාරාගමයෙන් ‘බල ඇතියව්හු’ යනු සිද්ධ වනසෙ කෙනෙක් කියති. ඒ කථායෙහි ලා සත්‍යය ඇතිසෙ නො සිතම්හ. ‘ව’ - කාරාගමයකට හේතු නොපෙනෙන හෙයිනැ. “අරක් ඇතියා වැ, පිරිවර ඇතියා වැ” යනාදි තන්හි ‘ව’ - ධාතුහු ගේ පූර්වක්‍රියාව හා අනුප්‍රයෝගය ප්‍රකට කොටැ පෙනෙන හෙයින් ‘ව’ - ධාතුයෙන් සිද්ධ ‘වූ’ ශබ්දයා හාත් අනුප්‍රයොග සලකන්නේ මැනැවැ.

‘එ, මෙ’ - ශබ්ද බුහුබසැ වර නඟන විටත් මෙ කි ‘වු’ - ශබ්දය සිය බසෙහි කිසි තැනෙකැ යෙදෙනසෙ පෙනේ. ‘එවුහු’ යනු ස්වරලෝපයෙන් ‘එව්හු’ කියා සිටුනේ යැ. එකපද බවට ගිය ද, ‘එ, වු’ යන පද දෙකක් මෙහි ඇතිසෙ කියැ යුතු යැ. ‘එ’ - යනු විශේෂණයි. ‘වූ’ යනු විශෙෂ්‍යයි ‘හු යනු විභක්තිප්‍රත්‍යය යි. “නුවරැ වූවෝ මෙසේ කියති”යි කිව. ‘වූවෝ’ යනු තන්හි ‘වු’ - ශබ්දයෙන් එහි වැදැ සිටුනා ඇත්තන් කියත්. ‘එව්හු යන මෙයිනුදු ‘එ ඇත්තො’ යන අර්ථ කියත්. විශෙෂණ විශෙෂ්‍යවශයෙන් සිටුනා ‘එ, වු’ දෙ සද එක් වැ විබත් ගෙනැ “එව්හු” ආදි පද සිද්ධ වෙයි. වකාර-උකාරයන් ගේ ඔෂ්ඨජත්වය පිණිසැ පිළිපෙරැළියෙන් “ඔව්හු” ආදි පද සිද්ධ වෙයි. අන්කරු බුහුබස් කිරියෙහි ලා “එහු, ඔහු” යන උක්තපද දක්නට ඇත. ‘එ’ - ශබ්දයා හා ‘හු’ විභක්තිය හා එක් වැ ගෙනැ ‘එහු’ යි වෙයි. අන්කරු බුහුබස් කිරියෙහි ලා “එහු, ඔහු” යන උක්තපද දක්නට ඇත. ‘එ’ - ශබ්දයා හා ‘හු’ - විභක්තිය හා එක් වැ ගෙනැ ‘එහු’ යි වෙයි. පර උපකාරයා ගේ ඔෂ්ඨජත්වය පිණිසැ පිළිපෙරැළියෙන් ‘ඔහු’ යනුදු සිද්ධ වෙයි. එසේ වතුදු, හුදු ‘එ’ - ශබ්දයෙන් කර්මාදීන් ගේ බහුත්වය පහළ නො කළ හැකි යැ. ‘එ, වු’ දෙ සද වෙසෙසුන් වෙසෙස් විදියෙන් එක් වැ සිටැ - ගෙනැ එ බඳු තැනැ බහුත්වය කියන්නේ යැ. ‘මෙ’ - ශබ්දය පිළිබඳ කොටැ ද මෙතෙක් මැ කියැ යුතු යැ. ගුරුළුගොමීන් මෙ ලෙස නිපන් පදරුප ‘අමාවතුර’ තුළැ බෙහෙවින් යෙදුසෙ ඒ ඒ තන්හි මැ දන්නේ යැ.

15. “මම වනාහි අඹුන් මිනිස්බැවැ විරාග ඇති වැ පිරිමිබවට පතා (291 පි:) තව්තිසැ වැසි දෙවියන් කෙරෙහි උපදනෙයිම් සක්දෙව්රජහු පුත් වැ ගොපක නම් දෙව්පුතක් වැ උපන්නෙමි” (291 පි:)

තෙල වැකියෙහි ‘උපන්මි’ යනු අවසානපදය වෙයි. ‘මම’ යනු එහි ප්‍රකෘතිකර්තෘ වෙයි. ‘දෙව්පුතක්’ යනු විකෘති කර්තෘ සිටි සැටිය වෙයි. මෙහි ‘දෙව්පුතක්’ යන පදය විමැසියැ යුතු තැනෙක් වේ. මෙ ගත් කරන ගුරුළුගොමීහු මෙහි මැ ‘යක්ෂයක් වැ, මහතවසක් වැ’යි අන් තන්හි දු එ බඳු පද යොදති. ඔබ ගේ ‘ධර්මප්‍රදීපිකා’යෙහි:

“ඔව්හු සසර වසන කලැ මගධ රට රජගහනුවර තරහල් දරුවෙක් වැ පාපමිත්‍රසංසර්ගයෙන් පරදාරපරිග්‍රහ කොට ජීවිතපර්යවසානයෙහි අවසර ගත් අනෙක් පින්කමෙකින් වගුරට කොසඹෑ නුවර අසූකෙළක් ධන ඇති සිටුදරුවක් වැ උපද කල්‍යාණමිත්‍රසංසර්ගයෙන් බොහෝ පින්කම් කොට මියන කල්හි රජගහ නුවර ලා කල පව් අවසර ගත්තෙන් රෞරවමහානරකයෙහි උපද අනෙකවර්ෂකොටිසහස්‍රයෙහි පැසී බොහෝ දුක් විඳැ පව් ගෙවා කර්ණාට ජනපදයෙහි කොටළුවක් ව උපන්හු”යි.

මෙ එක් මැ වැකියෙහි ‘තරහල් දරුවක් වැ, සිටුදරුවක් වැ, කොටළුවක් වැ’ කියා එ බඳු පද තුන් තැනෙකැ මැ යොදති.

  1. “හො තෙරැ එක් සැඩෙලෙක් වෙසෙයි” (85 පි:)
  2. “ඒ කල්හි ඒ නුවරැ ගණිකාවක් රථයට නැඟී පන්සියක් මාගමුන් පිරිවරා නුවර ගොඩවමින් ඇවිද්දි” (61 පි:)

තෙල දෙ වැකියෙහි ‘සැඩෙලෙක්’ යනුදු ‘ගණිකාවක්’ යනුදු අවසාන ක්‍රියායෙන් උක්තපදයි. එහි ‘සැඩොලෙක්’ යනු පුරුෂයකු කියයි. ‘ගණිකාවක්’ යනු ස්ත්‍රියක කියයි. මෙ බඳු වැකියෙහි පුරුෂයා කියන තැනැ, ‘එක්’ යනුදු ස්ත්‍රියක කියන තැනැ ‘අක්’ යනුදු ඇතියි ගෙනැ ලිංගභෙදවශයෙන් ‘එක්, අක්’ කියා ප්‍රත්‍යය දෙකක් කොට දක්නාහු මෙ කලැ ඇත. ‘දෙව්පුතක්, යක්ෂයක්, මහතව්සක්’ යනාදි විසින් මුලැ සඳහන් පදස්ත්‍රියක කෙරෙහි නොවැටෙනුයෙන් දුෂ්ටපද විසින් සලකා ‘දෙව්පුතෙක් වැ, යක්ෂයෙක් වැ, මහතව්සෙක් වැ’ කියා සංස්කරණ කරනුවෝ ද ඇත. එයින් මෙහි ලා යථාභූතාර්ථ කිමැයි? සොයනු වටනේ යැ.

‘සැඩෙලෙක් වෙසෙයි’ යන මෙහි ‘සැඩොලෙක්’ යනු උක්තකර්තෘපද වේ. එහි කකාරයා (-ක්) අඥාතාදි අර්ථයෙහි වැටෙන ප්‍රත්‍යයෙකි. ආචාර්ය පාණිනීහු දූ අඥාතෙ (15.2.73) ආදී සූත්‍ර කිහිපයෙකින් සකුවෙහි දූ ලා අඤාතාදී අර්ථයෙහි ‘ක’ - ප්‍රත්‍යය කියති. සියබසෙහි දු අඥාතාදි අර්ථ කියන්නට කකාරය (-ක්) යෙදෙනසෙ සලකන්නේ යැ. ‘එ’ - යනු අවසාන ක්‍රියාව නිසා උක්ත වූ පදයෙහි යෙදෙන එකවචන සම්බන්ධය නොගන්නා ප්‍රත්‍යයෙකි. එය කිසි දු තැනෙකැ ස්ත්‍රියක නො දක්වයි. චෙතනයන් කෙරෙහි පුරුෂභාවය මිසැ ස්ත්‍රීභාවය නොගන්නෙන් නියතාර්ථප්‍රත්‍යයෙක් ද වෙයි. ‘සැඩෙලෙක් වෙසෙයි’ කී කලැ කකාර (-ක්) යෙන් අඥාතභාවය කියැවේ. ඉන් පෙරට සිටුනා ‘එ’ - කාරයෙන් එ සැඩලා ක්‍රියායෙන් උක්ත වූ කර්තෘවශයෙන් සිටුනා පුරුෂයකු බව කියැවේ. ‘ගණිකාවක් ඇවිද්දි’ කී කලැ කකාරයෙන් අඥාතභාවය කියැවේ. ගණිකා පුරුෂයකු නොවනුයෙන් ‘එ’ - කාරය නො ළඟ වෙයි.

වැකියෙකැ උක්තපදය වේ වයි, අනුක්තපදය වේ වයි, එහි යෙදෙන විභක්ති ප්‍රත්‍යය එ වැකියෙහි මැ අන් පදයෙකැ යෙදෙත් මැ, ඒ දෙපදයෝ විශේෂණ විශෙෂ්‍ය විසින් එකාර්ථ වෙති. විශෙෂ්‍ය විසින් එකාර්ථ නොවත් හොත් සමානවිභක්ති නො ගනිති. මුලැ සඳහන් ලත් ‘දෙව්පුතක්, යක්ෂයක්, මහතව්සක්’ ආදී පදයෝ එ එ වැකියෙහිලා වෙන් වෙන් අර්ථ දක්වන පද වෙති. එයින් එකාර්ථ නො වෙත් නුයි, ප්‍රධාන වැ සිටුනා උක්ත පද හා සමානවිභක්තික වැ නො සිටිත්. සියබසෙහි ‘ව’ - යන ක්‍රියාර්ථය අර්ථපූරණයක් අපෙක්ෂා කෙරේ. එයින් සිද්ධ ‘වැ’ - යන පූර්වක්‍රියා නිපාතය ද අර්ථපූරණයෙන් මා සාර්ථක වෙයි. ‘දෙව්පුතක්, යක්ෂයක්, මහතව්සක්’ ආදි පදයො ‘වැ’ යන පූර්වක්‍රියායෙහි ලා අර්ථපූරණය පිණිසැ යෙදෙති. යම් පදයක් අර්ථපූරණය පිණිසැ ක්‍රියාපදයක් හා ළඟ වත් මැ, එ පදය ක්‍රියාපදයෙහි ‘උක්ත’ යැ කියා හෝ ‘අනුක්ත’ යැ කියා හෝ පරිගණනා නො ලබයි. එයින් උක්ත බව කියන ප්‍රත්‍යයෙක් වේ වයි, අනුක්ත බව කියන ප්‍රත්‍යයෙක් වේ වයි, එහි නො ලැබේ. මේ හේතුවින් ‘දෙව්පුතෙක් වැ, යක්ෂයෙක් වැ, මහතව්සෙක් වැ, යනාදි විසින් උක්තභාවය කියන ‘එ’ - කාරය නොයොදා - ලැයි හෙන්නේ මැ යැ. තෙල පදයෝ ‘දෙව්පුතක් වැ, යක්ෂයක් වැ, මහතව්සක් වැ’ යනාදි විසින් උක්තභාවය කියන ‘එ’ - ප්‍රත්‍යය නො ගෙනැ අර්ථපූරණය පිණිසැ සිටුනා අනුප්‍රයොග විසින් සිටිත්. එ එ වැකියෙහි අවසාන ක්‍රියායෙන් උක්ත වන ප්‍රකෘතිය තමාට අයත් විභක්තිප්‍රත්‍යය ගත් වන බැවින් එහි විකෘතිය ‘වැ’ යන ක්‍රියාර්ථයෙහි පුරණාර්ථ පිණිසැ අනුප්‍රයුක්ත වේ නුයි. ලිංග විභක්ති වචන නො ගනී. ‘ධර්මප්‍රදීපිකා’ යෙහි ලා “ජනයො පාපමිත්‍රසංසර්ගයෙන් දුර්ජන වෙති. කල්‍යාණමිත්‍රසංසර්ගයෙන් සජ්ජන වෙත්” යනාදි නානා වාක්‍යඝටනාත් මෙහි ලා සසඳන්නේ යැ. “දුර්ජනයො වෙති; සජ්ජනයො වෙත්” යනුවෙන් නොගෙනැ “දුර්ජනවෙති, සජ්ජනවෙති” යනුයෙන් ඝටනා කළේ, ‘ව’ - යන ක්‍රියාර්ථයෙහි පූරණ වන හෙයිනැ, මේ ප්‍රයොග පෙළ සකු වහර පිණිසැ බලත් හොත්, විපර්යසගණයෙහි වැටෙතුදු සියබස්වහර පිණිසැ බලත් හොත්, බසෙහි දහම මිසැ කියැ යුතු අන් දැයෙක් ඇත්තේ නො වෙයි.

16.

  1. “මෙ තෙක් කල් මෙවෙනි පෙළහරයක් නුදුටු විරිමු” (24 පි:)
  2. පිරිසිදු වන්නට යනුයෙම් සැඩලක්හු දිටිමු” (71 පි:)
  3. “මම දෙව්දුවක්මු” (228 පි:)

අමාවතුරෙහි එන මෙ තුන් තැනැ ම-ශබ්දකාරකයෙහි වැටෙන ‘නුදුටු විරිමු, දිටිමු, දෙව්දුවක්මු’ යන රූප ඇත. ‘ධර්මප්‍රදීපිකා’යෙහි දු මිනිසක්මු, කැත දුවක්මු’ යන රූප දෙකෙක් ඇත. මෙ හැම පසෙක් වේ. මෙ පස් තන්හි මැ ‘මම්’ යනු උක්තපද වෙයි. එ ද එකවචන මැ යැ. එයින් ‘නුදුටුවිරිමු, දිටිමු, දෙව්දුවක්මු, කැතදුවක්මු” යනුදු එකවචනයි.

ගුරුළුගොමීන් ගේ ආම්නාය ප්‍රමාණ කොට-ගෙනැ ‘නුදුටුවිරිමු’ යනාදි පද පරීක්ෂා කරත් මැ, ම-ශබ්දකාරකබහුවචනයෙහි ලා සම්මත ‘මු’ - ප්‍රත්‍යය ඔව්නට අභිමත නොවනසෙ විශද කොට කියැ හෙන්නේ යැ. ‘ධර්මප්‍රදීපිකා’යෙහි වේ වයි, ‘අමාවතුරෙහි’ වේ වයි. ම-ශබ්දකාරකබහුවචන කියන තැනැ ‘මො, මහ, ම්හ’ යන මෙ තෙක් මැ ප්‍රත්‍යය විසින් කියත් මිසැ ‘මු’ - යන බහුවචනප්‍රත්‍යය නො කියති. ‘අපි’ - යනු උක්ත වනු පිණිසැ ම-ශබ්දකාරකබහුවචනයෙහි ‘මු’ - ප්‍රත්‍යය යොදා කළ එක ද පදයක් හෝ ඇත් නම් ‘නුදුටුවිරිමු’ යනාදිය බහුවචනයහයි කියැ හැකි යැ. ගුරුළුගොමීන් විසින් එ බඳු පදඝටනායෙක් නො කැරිණ. ‘මම්’ - යනු උක්ත වන තැනැ මිසැ, ‘අපි’ - යනු උක්ත වන කිසි දු තැනෙකැ පදාන්ත ‘මු’ - කාරය නො ලැබෙනු යෙන් ගුරුළුගොමීන් ගේ ආම්නායෙහි ලා එකවචන වත් මුත් බහුවචන නො වෙති යි සුවිනිශ්චිත වෙයි.

‘මු’ (-ම්+උ) යන මෙහි මකාරය අස්මදර්ථය කියයි. අස්මදර්ථයෙහි වැටෙන ශබ්දයෙකැ වාච්‍යය ස්ත්‍රියක් වූ නම්, එ බව කියන්නට යෙදූ ‘උ’ - ප්‍රත්‍යය ‘නුදුටුවිරීමු’ යනාදියෙහි අගැ ලා යෙදිණ. ‘නුදුටුවිරීමු. දිටිමු. දෙව්දුවක්මු. මිනිසක්මු. කැතදුවක්මු’ යන පස් තැනැ මැ වාච්‍යය ස්ත්‍රියකැ, ඔ ද එකක් මැ යැ.

දම්පියාටුවාගැටපදයෙහි එන ‘උම්’ යන රූපය මෙහි හෙලි කළ ‘මු’ - කාරයෙහි මුල් අවස්ථා විසින් සැළැකියැ හෙයි.

(අ) “මතු ජෙනුයුම් කිසෙයින් ජෙමි” (29 පි:)

(ආ) “මානුසිම්හි, මිනිසකුම්” (61 පි:)

(ඇ) “රැකෙන තැනක් නැහැයුම්” (173 පි:)

(ඈ) “උක්කණ්ඨිතා, දැන් භවගහණහි උකැටියුම්” (266 පි:)

(ඉ) “අඳුබල් දෙවියුම්” (173 පි:)

(ඊ) “නිරයට යනුවියුම්”(227 පි:)

(උ) “අනාවාසා, වසන තැනක් නැතියුම්” (277 පි:)

මේ සත් තැනැ පදාන්තයෙහි ‘උම්’ - යන රූපයෙක් ඇත. එහි ‘ම’ - කාරයා අස්මදර්ථය පහළ කෙරෙයි. ‘උ’ - කාරයා ස්ත්‍රීභාවය පහළ කෙරෙයි. ‘දම්පියාටුවාගැටපද’ යෙහි දී ‘උකැටියුම්’ යනාදිය ‘ම’ - ශබ්දකාරක එකවචන බව හා ස්ත්‍රියක වාච්‍ය වන බව හා කියන්නට ‘උම්’ - යනු යෙදුහු. බහුවචනයෙහි මෙබඳු යෙදුමෙක් නැත. ගුරුළුගොමීන් ගේ අවධිය වත් මැ, එ ‘උ’ - කාරයා ‘ම’ - කාරයා තුළැ වැදැ ගැන්ම නිසා ‘මු’ - යන රූපය නැගිණ. ‘දම්පියාටුවාගැටපද’ යෙහි එන ‘උම්’ - යනුත්, ‘අමාවතුරෙහි’ එන ‘මු’ - යනුත් එයින් සමානාර්ථයි. පැරැණි සියබසෙහි ලා ස්ත්‍රීප්‍රත්‍යය එකවචනයෙහි සිටිය ද, බහුවචනයෙහි පහ වැ යෙයි. එයින් ‘උම්’ - යනු එකවචනයෙහි වත් මැ, එයින් මැ නිපන් ‘මු’ - යනු බහුවචන නොවියැ හේ. තවද, කියැ යුත්තෙක් ඇත. ‘දම්පියාටුවාගැටපද’ යෙහි ලා කිසි දු තැනෙකැ ‘ම’ - ශබ්දකාරක බහුවචනයෙහි ‘මු - ප්‍රත්‍යය නොයෙදුහු. ‘කව්සිළුමිණ’ කව ද තෙල සම්ප්‍රදාය මැ ගෙනැ ලියුසෙ එහි එන ‘නුළුමු’ ආදි පද වැළෙන් පෙනේ. වෙසතුරුදාසන්නයෙහි “මද්දී ච දෙව අහං තෙ හුසා” යන කැනැ “මහරජ, මම තොප යෙහෙළි මද්‍රීමි” යි ව්‍යාඛ්‍යාත යැ. “මද්දි අය්‍යෙ, අයං තෙ හුසා” යන තැනැ “හිමියා මව, මම තොප යෙහෙළි මද්‍රීමු” යි ව්‍යාඛ්‍යාත යැ. වෙසතුරුදාසන්නකාරයන් ගුරුළුගොමීන් සෙයින් ව්‍යවස්ථායෙකැ නො සිටැ ‘මි, මු’ යෙදූ සැටි එයින් පෙනේ.

සිද්ධාන්තසංග්‍රහයෙහි ම-ශබ්ද කාරක බහුවචනයෙහි ‘මු’ - ප්‍රත්‍යය කියති. ගුරුළුගොමීන් ගේ පොත් මැ ප්‍රමාණ කොටගෙනැ බලත් හොත්, එබඳු ප්‍රත්‍යයෙක් සියබසෙහි නැති යි කියැ යුතු යැ. එසේ වුව ද බහුවචනයෙහි ප්‍රසිද්ධ ‘මො’ - යන ප්‍රත්‍යය ‘මු’ - යි විකාරයට යා හැකි වේ. අස්මදර්ථයෙහි පළට ‘ම’ - කාරයා (-ම්) හා බහුවචනයෙහි පළට ‘ඔ’ - කාරයා හා දෙ දෙන එක් වැ ‘මො’ - යනු සිද්ධ වේ. ‘ඔ’ - කාරයා කණ්ඨයෙනුදු ඔෂ්ඨයෙනුදු උපදනේයැ. ‘උ’ - කාරයා කෙවල ඔෂ්ඨයෙන් උපදනේ යැ. කණ්ඨ ඔෂ්ඨජ ‘ඔ’ - කාරයා ගේත් ඔෂ්ඨජ ‘උ’ - කාරයාගේත් එකදෙශයෙකින් සම්බන්ධයෙක් ඇත. ඒ සම්බන්ධය ගෙනැ ‘මො’ - යනු ‘මු’ බවට වැටේ. සිදතෙහි ‘ම’ - කාරයා හා ‘උ’ - කාරයා හා දෙක එක් වැ ගෙනැ ‘මු’ - ප්‍රත්‍යය (ම්+උ=මු) සිද්ධසෙ කියතුදු, ‘මු’ - යනු ‘මො’ යන්නෙහි විකාරයක් බව මැ පෙනේ. එසේ නොවේ නම්, ගුරුළුගොමීන් ආදීන්ගේ වහරෙහි මසදකරු බුහුබස්හි එය ආ යුතු වෙයි. ගුරුළුගොමීන් ආදීන් නො යෙදුව ද, ආචාර්යවරයන් ඔසදකරු බුහුබස් හි ‘මු’ - ප්‍රත්‍යය ගත්සෙ උන් උන්ගේ වහරින් දත හෙන තැන ඉබොහෝ වෙයි.

17.

  1. “මම මෙ පැනයන් බොහො දවස් බොහො මහණ බමුණන් පුළුවුස්නෙයිමි තොහො කොටන්නක්හු සෙයින් කිසි සාරයක් නො ලදුමි” (128 පි:)
  2. “මම් පෙරැ මෙ පියෙස්හි සිටියෙයිම් මෙරගල් දක්මී” (231 පි:)
  3. “තව්තිසැ වැසි දෙවියන් සුධම් දෙව්සභයෙහි නටන්නෙයිම් ඇසීමි” (287 පි:)
  4. “තව්තිසැ වැසි දෙවියන් කෙරෙහි උපදනෙයිම් සක්දෙව්රජහු පුත් වැ ගොපක නම් දෙව්පුතක් වැ උපන්මි” (291 පි:)

තෙල වාක්‍යයෙහි ‘පුළුවුස්නෙම්, සිටියෙම්, නටන්නෙම්, උපදනෙම්” යන අස්මදර්ථයෙහි වැටෙන පද මකාරයෙන් පෙරට වැ ‘ඉ’ - ප්‍රත්‍යයක් කොටැ ‘පුළුවුස්නෙයිම්, සිටියෙයිම්, නටන්නෙයිම්, උපදනෙයිම්’ කියා යොදති. ‘ධර්මප්‍රදීපිකා’ යෙහි දු ‘මහදන් දෙන්නෙයිම්’ යි මෙබඳු පද යෙදිණ. ගුරුළුගොමීහු මතු නොවෙති. පැරැණි කිසි ඇජර කෙනකුන් මෙබඳු පද යෙදුසෙ ඔවුන්ගේ ලිපියෙන් දත හෙන්නේ යැ. ‘ආයෙයිම්, ඇතියෙයිම්, වැසියෙයිම්’ ආදි විසින් එන දම්පියාටුවා ගැටපද ආදිය නිදර්ශන යි.

මේ පදසිද්ධි පිණිසැ සිදතෙහි විශෙෂ අනුශාසනා නැත ද, ඡෙකව්‍යවහාර වන හෙයින් පිළිගත මනා වෙයි. මේ ‘ඉ’ - ප්‍රත්‍යයෙන් කිමෙක් දැක්විණි ද? එ එ සිද්ධි අතීත බව දැක්විණ. ‘පුළුවුස්නෙම්, පුළුවුස්නෙයිම්’ යන රූප විමසා බලත් මැ, වර්තමානයෙහිත් අතීතයෙහිත් ලා පසරුත්සද වරනැඟිසෙ පෙනේ. කිසි විටෙකැ ශබ්ද ප්‍රකෘතිය ද ධාතුධර්ම ඇසිරි කරනසෙ මෙයින් නිශ්චය කළ හැකි යැ.

18.

  1. “තො කුමක් කොටැ තනතුරු පිළිලදහු” (62 පි:)
  2. “තො ඔසප්හු වෙහි” (77 පි:)
  3. “තො කවරෙහි? තො කවරහු?” (150 පි:)
  4. “තො කවරහු?” (228 පි:)
  5. “කුමට සාධුකාර දුන්හු” (228 පි:)
  6. “තො මෙ සුත බුදුන් දෙසන්නා ඇසුහු?” (228 පි:)
  7. “තො කොතැනැ සිටැ ඇසුහු?” (228 පි:)
  8. “තී සිටී තැන් දුරැ; බුදුන් දුටුහු” (228 පි:)
  9. “තො ද රාත් වුහු දැයි? කීහ.” (228 පි:)
  10. “තො සොවන්හු” (229 පි:)

මේ වාක්‍යයෙහි ලා ‘තො’ - යනු ස්ත්‍රියක කියයි. පෙළ සකුවහරෙහි දී ‘ත්‍වං’ - කාරය පුංස්ත්‍රීනපුංසක වශයෙන් භෙදකර පදයෙන් නොවේ. සියබසෙහි එ පදය ‘තො’ - යි සිටුනේ යැ. පුරුෂයකු කෙරෙහි වේ වයි ස්ත්‍රියක කෙරෙහි වේ වයි, යොදා-ලියැ හැකි වේ. මෙහි ‘තො’ - යන්න ස්ත්‍රියක කෙරෙහි වැටෙන හෙයින් ‘පිළිලදහු’ යනාදි පදත් ස්ත්‍රියක කෙරෙහි වැටෙනසෙ සළකන්නේ යැ.

‘තො’ - යනු එකවචන වන බැවින් ‘පිළිලදහු’ යනාදි පද ද එකවචන වෙයි. එකවදන වත් මැ, පදාන්ත ‘උ’ - කාරය ස්ත්‍රීප්‍රත්‍යය වශයෙන් සළකන්නේය. ‘දෙව්දුවක්මු’ යනාදි පදවැලෙහි බැසැ සිටුනා නියරට සරිලන නියරෙක් තසදකරු අරුතෙහි දු ඇති සැටිය මෙයින් පෙනේ. “තො ඔසප්හු වෙහි” යන මෙහි ‘වෙහි’ යන කිරිය තසදකරු අරුතෙහි එකවචන වෙයි. එහි විවාදයෙක් නැත, ‘තො’ - යනු එ කිරියෙහි උක්තපද වෙයි; එකවචන ද වෙයි. එහි දු විවාදයෙක් නැත. ‘ඔසප්හු’ යනු ‘තො’ යනුයෙහි විශේෂණ වෙයි. එ බහුවචන වෙතියි කියැ හේ ද? නො කියැ හේ මැයැ. එයින් ‘ඔසප්හු’ යනුදු එකවචන මැ වේ නුයි, පදාන්ත ‘හු’ - ප්‍රත්‍යයෙහි බැසැ සිටුනා ‘උ’ - කාරය ස්ත්‍රීප්‍රත්‍යය මැ වෙයි. ‘පිළිලදහු’ යනාදි හැමයෙහි වාච්‍යය ද ‘තො’ - යනු මිසැ අනෙකෙක් නොවේ. ‘පිළිලදහු’ යනාදි පදවැළ තශබ්දකාරයෙහි ස්ත්‍රීභාවය කියන එකවචන කොට අපි සිතම්හු. එහි වාච්‍යය ‘තො’ - යි එකවචන වන බැවිනැ. දම්පියාටුවාගැටපදයෙහි දු තෙල යෙදුම් ඇත. “ආරාධිකා, සිත් අරියහු විහි” යන ක්‍රියාපදය එකවචන නොවියැ හැකි යැ. මෙ ද ස්ත්‍රියක කියු තැනෙක් වේ. එහි මැ “කාසි ත්‍වං, තො කවරහු? සිල් රකින්නියක්හු? නොරක්නියක්හු?” (91 පි:) මෙ ආදි ප්‍රයෝග ඇත. වෙසතුරුදා සන්නයෙහි දු, “ත්‍වං දහරා, තො ළදරියෙහි; රූපවතී, රූ ඇතියහු; පුරිසානං අභිපත්ථිතා, පිිරිමින් විසින් වෙසෙසින් පතන ලදුවහු” (246 ගාථා) යනාදි ප්‍රයොග ඇත. මෙ හැම විමසත් මැ, පෙරැ සියබසෙහි ‘හු, මු’ ප්‍රත්‍යය දෙක ගෙනැ පැවැති ව්‍යවස්ථා අද වහරෙහි ලා බිඳුණුසෙ පෙනේ.

19.

  1. “හාත්පස්හි මල්වැසි වට” (11 පි:)
  2. “ආකාශයෙහි දිවබෙර ගුගුරයි” (11 පි:)
  3. “සුළඟ හමන කලැ අතු සැලෙයි” (51 පි:)
  4. “ඇස් පෙරැළී මළ මිනිසුන් ඇස් වැනි වි යැ” (82 පි:)
  5. “සියල් සිරිරින් ස්වෙද වැහිණ” (123 පි:)
  6. “සියලු නුවරැ ආයුධ දිළිණ” (130 පි:)
  7. “තුබු තුබු තැනැ ඇඟිලිනස්සි” (132 පි:)
  8. “දඬු පහණ හකුරු අවුත් මහතෙරුන් මැ වෙරැ හෙයි” (141 පි:)
  9. “හැම ගඟ හො උඩුහො බලා යන්නෙ වී නම්” (182 පි:)
  10. “වර හො සිඳෙයි” (185 පි:)
  11. “පියෙහි පියෙහි පියුම් පිපෙයි” (257 පි:)
  12. “එකෙකී දළ සත් සත් පොකුරුණි වෙයි” (273 පි:)

‘අමාවතුරෙ’ න් ඉදිරු දොළොස් වැකියෙක් මෙහි දැක්විණ. අවසාන ක්‍රියායෙන් උක්ත වැ සිටුනා චෙතනපදයෙහි බහුත්වය හෙළි කරනු පිණිසැ, ‘ඔ, හු’ - යන විභක්තීහු ඇත. කිසි විටෙකැ එ විභක්තීන් අචෙතන පදයෙහිත් යෙදෙතුදු, නොයෙදෙන තැන් ද වෙයි. එසේ නොයෙදෙන විටැ අචෙතනපදයෙහි විද්‍යමාන වන බහුත්වය ශබ්ද ශක්තීන් මැ හෙළි වෙයි. හෙළි වුව ද, බහුවචන විභක්ති නැතියෙන් අවසාන ක්‍රියාපදය බහුවචනයෙන් නො සිටුනේ යැ. එකවචනයෙන් සිටුනේ වෙයි. මෙහි අළ “අතු සැලෙයි” යනාදිය නිදර්ශන යි.

  1. “හැම බෙරහු තමන් තමන් ගෙ ධ්වනි වුහුට්හු” (10 පි:)
  2. “ගංගාවො නො ගොස් සිටියහ” (10 පි:)
  3. “ගල්කුළුහු දු අවි සුවහස්හු දු අහසින් ගොස් පැරුම් සිමිඳුමීන් හුන් මහ සත්හු කරා පැමිණැ දිවකුසුම් වැ වගුළො” (29 පි:)
  4. “පන්සියක් කූටාගාරයො අහසින් ගියහ” (228 පි:)
  5. “ඔවුන් ගෙ ඇත් අස්හු ද ඵලකායුධයො ද අපට කුම් කෙරෙති” (214 පි:)
  6. “හැම රුක්හු හැම තණ ආදීහු වියැළි දොළොස් අවුරුද්දක් නො නැඟෙති” (248 පි:)
  7. “පැනයො ද නො නසිත්ව යි” (251 පි:)

තෙල වැකියෙහි අචෙතනපදයන් ‘ඔ, හු” - යන විබත් ගත් සැටිය දක්නට ලැබේ. අචෙතනපදයන් චෙතනපදයන් සෙයින් කිසි විටෙකැ යෙදෙන හෙයිනැ. දැන් බහුවචන විභක්ති ඇත් නුයි, අවසාන පදය බහුවචනයෙන් සිටුනේ යැ. “හැම බෙරහු ......... වුහුට්හු” යනාදිය නිදර්ශන යි.

“ඇත්හු ද අස්හු ද රිය ද පද ද - ඇත්අස්රියපද” යන සිද්ධාන්ත සංග්‍රහ පාඨයෙහි දී චෙතනඅචෙතනභෙදය ‘හු’ - විභක්තියෙන් දක්වන හෙයිනුදු, අමාවතුරෙහිත් “බුදුන් නොබුදුහයි, දහම් නොදහමැයි සඟහු නොසඟහයි” යන පාඨයෙහිත් චෙතන අචෙතනභෙදය ‘හු’ - විභක්තියෙන් දක්වන හෙයිනුදු ‘හු’ - විභක්තිය නම් වෙසෙසින් මැ චෙතනපද විෂය කොට ගත්සෙ සැළැකියැ හෙන්නේ යැ. ‘ඔ’ - විබත් ද මෙ සැටිය මැ වෙයි. ගුරුළුගොමීන් මෙ වෙනස නොඑක් තැනැ දී හෙළි වන සේ තමන්ගේ අනුවාද බෙහෙවින් මැ කළ බව පාඨසංසන්දනයෙන් ප්‍රකට වන්නේ යැ. “පඨවීහිමවන්තසිනෙරු චක්කවාළමහාසමුද්දචන්දසුරියා ඉමිනා නිම්මිතා” යන පාඨයෙහි ලා “පොළොව් හිමගල් මෙරගල් සක්වළගල් මහමුහුදු හිරිසඳ මුහු විසින් මවන ලද්දෙ යැ” යනු අනුවාද යි. මූලපාඨයෙහි විභක්තියෙන් බහුත්වය කියතුදු, අනුවාදයෙහි බහුවචන විභක්ති නැත. අචෙතනශබ්ද වන හෙයිනැ. මෙබඳු යෙදුම් තෙල අමාවතුරු අනුවාදයෙහි බොහෝ තන්හි දක්නට ඇත.

20.

“ඉදින් මෙ කුලදූ මා නිසා මහත් යශස් නොලදු නම්, මා සූවිසි බුදුන් අතැවැසියෙක් නම් නො වෙයි” (77 පි:)

තෙල වැකියෙහි එන ‘මා සූවිසි බුදුන් අතැවැසියෙක් නම්, නොවෙයි” යන මෙහි වරද දක්නාහු ඇත. ඔහු “මම් සූවිසි බුදුන් ඇතැවැසියෙම් නම් නොවෙමි” කියා ශුද්ධ කොට ලියති. අප දුටු පැරැණි පොත්හි ‘මා සූවිසි බුදුන් අතැවැසියෙ නම් නො වෙයි” යනු එන බව ද එක් පොතෙ කැ ‘අතැවැසියෙක්’ යනු තුබු බව ද මෙහි ලා කියම්හ.

මාතෘභාෂායෙහි ලා මකාරයා නැත ද උත්තමපුරුෂ ආඛ්‍යාතපද සිද්ධ වෙයි. පෙළෙහි ‘කරෙ’ යනු දු සකුවෙහි ‘කුර්වෙ’ යනු දු නිදර්ශනයි. එ දෙ පදයො පෙළසකු දෙක්හි පිළිවෙලින් උත්තම පුරුෂ ආඛ්‍යාතපද වෙති. එහි මකාරයෙක් නැත. සියබසෙහි දී මකාරයා නැති වැ උත්තමපුරුෂයෙහි වැටෙන ක්‍රියායෙක් සිදු නොවේ. එ ක්‍රියායෙන් උක්ත වන එකවචන පදය ද මකාරයා නැති වැ නො සිටුනේ යැ. එයින් වාක්‍යාවසාන පදයෙහි මකාරයා වැටෙත් මැ, ඒ පදයෙන් උක්ත ඒකවචනයෙහි දු මකාරයොගය නියත ලක්‍ෂණයෙකි. ඡන්දොහෙතුයෙන් වන විපර්යාසාදිය තබා විමසා බලත් මැ, සියබසෙහි තෙල නියර තහවුරු දැයෙක් වෙයි.

මහශබ්ද‍යෙහි වේ වයි, අන් ශබ්දයෙකැ වේ වයි, මදසකුරු අරුතෙහි ක්‍රියායෙන් උක්ත බව කියන ප්‍රත්‍යය ‘ම’ - කාරයා වේ නුයි, ‘මම්’ - යන මෙහි දු පදාන්ත ‘ම’ - කාරයා මශබ්ද උක්ත බව දක්වයි. එය මශබ්දයෙහි ‘පළමුවිබත් ලකුණැ’ යි සලකනු කෂ්ටමතයි. එය මශබ්දයෙහි පළමු විබත් ලකුණ වේ නම්, “මම ගියෙම් වෙමි” යන මෙහි ‘ගියෙම්’ යනුදු මශබ්දයෙහි පළමු විබත් වියැ යුතු යැ. එසේ නොවේ.

මුලැ කී වැකියෙහි ‘නො වෙයි’ යනු මශබ්දකාරක ක්‍රියාපදයෙක් නොවේ. එයින් වැකියෙහි සිටුනා මශබ්දය අපෙක්‍ෂා නොකළසෙ පෙනේ. “අපි දෙ දෙන රාජ්‍යසම්පත් හැර මහණ වන්නමො ජීවත් වන උපායක් නැති හෙයින් මහණ වූවමො නොවෙයි” යනු රත්නාවලි පාඨයෙකි. මෙහි දු ‘අපි මහණ වන්නෙමා - වූවමො’ යන පද කෙරෙහි අපේක්‍ෂා නොතබා ‘නො වෙයි’ යනු යෙදිණ. සැමියන් අතින් මෙහෙ ගන්නා කුලයෙක මා උපන්නේ නැත” යනු බුත්සරණ පාඨයෙකි. මෙහි ද මෙහිලා සසඳන්නේ යැ.

මුලැ කී වැකියෙහි ‘අතැවැසියෙක්’ යනුවෙන් තමන්ගේ අවස්ථාන්තරයක් මත කෙළේ නුයි ඒ අවස්ථාන්තරය අපේක්‍ෂා කොට ‘නො වෙයි’ යනු යොදා මශබ්දාර්ථය අප්‍රධාන වන සේ යට කොට තැබූහ. එයින් එහි ‘මා’ යනුදු සදොස්සෙ නො කියැ හෙයි.

මසදකරු කිරියෙන් උක්ත නොවූවත්, මශබ්දයා පදාන්ත මකාර යොගය ගන්නා තැන් ද ඇත. “බුදු වූ මම් මැ වේ ද” යනාදිය නිදර්ශනයි. මේ නිදර්ශනයෙහි දු මනොද්වාරයෙහි අපාතයට ගිය අතීතාවස්ථාව බලා “වේ ද” යනු යෙදිණැයි සිතම්හ. මාතෘභාෂායෙහි එන ප්‍රයොගයෙන් හා සසඳත් මැ, ‘ඝටිත නොවනසෙ ඇත් නුයි වහරවිදි පෙරළනු නොමනා දැයෙකි.

  1. “වහන්සෙ සිතා පිරික්සා සරණ යන්නට වදාරන දෑ යැ” (88 පි:)
  2. “වහන්සෙ, අඟුල්මල් දෑ යැ හො!” (138 පි:)

මෙහි එන ‘දෑ’ - යන්න ගෞරවාර්ථප්‍රත්‍යය වශයෙන් පිළිගනිති. “කරන දෑ යැ, පුළුවුස්නා දෑ යැ, වැඩහිඳිනා දෑ යැ, ඉවසූ දෑ යැ” යනාදි විසින් තන් තන්හි තෙල රූපය ගත්සෙ පෙනේ. මේ ‘දෑ’ යන්න ‘සෙ’ - යන්නෙහි විකෘතියෙකිහි සළකම්හ. අත්‍යන්ත ගෞරව පිණිසැ පාත්‍ර වැ සිටිනවුන් ගේ නම එළියෙහි ලා කියනු නො යෙදෙයි. ඉරියවු ඈ එළියෙහි ලා කියනුදු නො යෙදෙයි. පර්යාසයෙන් කියන කලැ යෙදෙයි. ‘බුදුහු වැඩියහ’ යනු එළියෙහි ලා කියමන් වෙයි. ‘වැඩි බන්දහ, වැඩි වන්හ, වැඩි සේකැ, වැඩි දෑ යැ’ යනු එළියෙහි ලා කියමන් නො වෙයි. එයින් ‘වැඩියහ’ යනුවට වඩා ‘වැඩිබන්දහ’ යනාදි පද ගෞරව දැක්වීමෙහි දී යුතු වේ. ‘බඳු, වන්, සෙ දෑ’ ආදිය සමානාර්ථ යැ. තෙල පද යොදා ගෞරව දක්වනු ගුරුළුගොමීන් ගේ බසෙහි බෙහෙවින් ප්‍රසිද්ධ දැයෙකි. ‘බඳු’ - යන අර්ථ ‘සෙ’ - යන්න එකාරාන්ත වන හෙයින් ‘ක’ - කාරාගමයෙන් ‘සෙයෙකැ’යි සිටුනේ යැ. ‘සෙ’ - යන මෙයින් නිපන් අන් ප්‍රකෘතියෙක් නම් ‘දෑ’ යනුයි. ‘ස, ද’ යන දෙ දෙන උත්පත්ති ස්ථානයෙන් සම්බන්ධ වෙති. ‘නමස්ස’ යනු ‘නමඳ - කියා සිටුනේ ඒ සම්බන්ධ හේතුවින් වේ. ‘එ, ඈ’ යන දෙ දෙනා ද උත්පත්ති ස්ථානයෙන් සම්බන්ධ වෙති. ‘මෙ’ යනු ‘මැ’ - කියා සිටුනේ ඒ සම්බන්ධ හෙතුවින් වේ. එහෙයින් ‘සෙ’ - යනු ‘දෑ’ - කියා පෙරැළියැ හෙයි. ‘භදන්ත’ ශබ්දය බෞද්ධ ව්‍යවහාරයෙහි රූඪ ශබ්දයෙකි. එයින් නිපන් ‘භන්තෙ’ යනු සියබසෙහි ලා ‘වහන්සෙ’ කියා සිටුනේ යැ. පසු වැ ඒ රූපය මැ ‘වහන්දෑ’යි පෙළුණුසෙ පෙනේ. මෙසේ ‘සෙ, දැ’ දෙදෙනාගේ සම්බන්ධය ප්‍රකට වන හෙයින් ‘වදාරන සෙ යැ’ යනු ‘වදාරන දෑ යැ’ යි අන් සැටියෙනුදු ලියතියි සළකම්හ. පසු කලෙකැ ගෞරවාර්ථ ප්‍රත්‍යය වශයෙන් බිඳැ-ගෙනැ, ‘මෑණියන්දෑ’ යනාදි පදඝටනා යොදතුදු, ගුරුළුගොමීහු එබඳු පදඝටනා නො කරති.

22.

i. “පස්වක් බමරගණන් හා නන් විසිතුරු ලිහිණිගණයො මියුරු සරයෙන් කුල්මින් ඇවිදිති” (12 පි:)

(“පංචවණ්ණඊමරගණා නානප්පකාරා ච සකුණසංඝා මධුරස්සරෙන විකුජන්තා විචරන්ති.”)

ii. “කිසවච්ඡ නම් තවුස්පාණන් හා සෙනාපතිහි හා මවුන් පුස්නා රාම නම් වෙණෙඳ දරුවකු හා මෙ තුන් දෙන දිවි ලදහු” (65 පි:)

(“කිසවච්ඡතාපසො සෙනාපති මාතුපොසකරාමො’ති තයො’ච මනුස්ස තා අරොගා අහෙසුං”)

iii. “ඇතැම් බමුණන් හා ගහපතිහි බුදුන් වැඳැ එකත්පස් වැ හුන්හ” (100 පි:)

“බ්‍රාහ්මණගහපතිකා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තංනිසීදිංසු.”)

iv. “කෛරාටිකයන් හා අන්ධබාලයො යි” (101 පි:)

(“කෙරාටිකා චෙ’ව අන්ධබාලා ච”)

v. “ශාක්‍යරජුන් හා කොලිය රජහු කිඹුල්වත් නුවර හා කොලිය නුවර හා දෙ අතුරෙහි රොහිණි නම් ගඟ එක් අවුණෙක් බඳවා බොහො ගොයම් කරවති” (214 පි:)

(“සාකියකොලියා හි කිර කපිලවත්ථුනගරස්ස ච කොලිය නගරස්ස ච අන්තරෙ රොහිණිං නාම නදිං එකෙනෙව ආවරණෙන බන්ධාපෙත්වා සස්සානි කරොන්ති”.)

මෙහි මුල් වැකියෙහි ‘ඇවිදිති’ යන ක්‍රියාව බමරගණන් කෙරෙහි දු ලිහිණි ගණන් කෙරෙහිදු සමසේ යෙදේ. එයින් එ දෙ ගණ ක්‍රියායෙන් එකාර්ථ යැ. එයින් මැ දෙ ගණ මැ ප්‍රධාන යැ. ‘බමරගණන් හා’ යන මෙහි සභාර්ථයෙහි කතු විබත් කිව, බමරගණ අප්‍රධාන වෙයි. එ අප්‍රධාන නොවනුයෙන් සහාර්ථයෙහි කතුවිබතෙක් මෙහි නැත. මෙ තැනැ ‘හා’ - යනු වාචාර්ථයෙහි නිපාතයෙක් වේ.

භ්‍රමරගණයාගේ ද උක්තකර්තෘභාවය දක්වනු පිණිසැ තුබුව මනා වනුයේ ‘ඔ, හු’ දෙ විබතින් එකෙකි. “එකල්හි ලිච්ඡවි රජ්ජුරුවො ද බමුණු මහසල්කුලො ද ගැහැවි මහසල්කුලො ද නන් තොට්ටො ද මහණබමුණො ද පාඨිකාරාමයට ගියො” (183 පි:) යනුයෙන් ගුරුළුගොමීහු මැ චාර්ථනිපාතයොගය ඇත ද, වාක්‍යාවසානපදය පිණිසැ තුබුව මනා ‘ඔ’ - විබත් ලියති. ‘බමරගණන්’ යන මෙහි දු ‘ඔ, හු’ දෙ විබතින් යමක් තුබුව මනා වුව ද, බමරගණා හා එක් කොට ගෙනැ ‘ලිහිණිගණ’ ශබ්දයෙහි ලා ‘ඔ’ - විබත් ලියති. එක් කොට ගත්සෙ දක්වන්නට ‘හා’ - නිපාතය යෙදිණ. උක්තභාවය කියන ‘ඔ’ - ආදි ප්‍රත්‍යය එහි නො යෙදේ නුයි ‘බමරගණන්’ යනුයෙන් ‘අන්’ විබත් යෙදුසෙ දන්නේ යැ. මාතෘභාෂායෙහි චාර්ථසමාසයෙන් පද එක් පිණිසැ ‘හා’ - නිපාතයෙනුදු පද එක් කොට ගෙනැ අගපදයෙහි විභක්ති ලියති. බමරගණන් හා නන් විසිතුරු ලිහිණිගණයො, බමුණන් හා ගහපතිහි, කෛරාටිකයන් හා අන්ධබාලයො, ශාක්‍ය රජුන් හා කොලිය රජහු” යන ප්‍රයොග නිදර්ශනයි. අටුවාපාඨ ඒ ඒ තැනැ දක්වා-ලුම්හ. අටුවාපාඨ හා සසඳා බලත් මැ, සියබසෙහි එන වෙනෙස හෙළි වෙයි. “නාගයන් හා සුපර්ණයො, අසුරයන් හා දෙවියො, නෑයන් හා මිත්‍රයන් සෙයින්” යනාදි විසින් අමාවතුරෙහි අන් තන්හි දු මෙ යෙදුම් ඇත.

“කිඹුල්වත් නුවර හා කොලිය නුවර හා දෙ අතුරෙහි” (214 පි:) තෙල නිදර්ශනයෙහි ‘හා’ - යනු දෙ තැනෙකැ ඇත. එහි කියන අතුර (=අන්තරය) කිඹුල්වතට අයත් වෙයි. කොලියනුවරට ද අයැති වෙයි. එයින් එ දෙ තැනැ ‘හා’ - යනු තුබුව මනා වෙයි. සමුච්චයාර්ථය පිණිසැ ‘හා’ - යනු ඒ ඒ පදයෙහි වෙන වෙන යෙදෙත් මැ, එ හැම පදයෝ සමාන විභක්තික වැ සිටිත්. “ශාක්‍ය රජුන් හා කොලිය රජහු” යනාදි තන්හි ‘හා’ - යනු සමුච්චයාර්ථ වුව ද, එක් මැ තැනැ යෙදේ. භින්නවිභක්තික බව ද පෙනේ.

23.

  1. “සෙනානී කෙළඹියා දු සුජාතා නම් දැරී” (23 පි:)
  2. “මෙ කථා වස්තුව ගෙනැ ගොස් මෙ තමා ගෙ සථරහු මහනුවට හට කියයි” (52 පි:)
  3. “අප වත්හිමියො දෙව්දත් තෙරහු මහත් අනුභාව ඇත්තාහ” (114 පි:)
  4. “වහන්සෙ, අප වත්හිමියො භාර්ගයො මන්ත්‍රාණිපුත්‍රයො සස්නෙහි අභිරත වෙත්වයි” (138 පි:)
  5. “අප වත්හිමියො පුණුමහතෙරහු වැඩියහ” (193 පි:)
  6. “අප නැන්දණියන් පුතණුවො බුදුහු වැඩියහ” (257 පි:)
  7. “අඟුරට භද්දිය නුවර මැඩ මහසිටහු පුතු ධනඤ්ජයසිටහු දු විසාඛා නම් වැ” (259 පි:)
  8. “තී පියා තිම්බරු නම් ගඳෙවු දෙව්රජහු වනමි” (285 පි:)
  9. “සක්දෙව්රජ මාතලීසංග්‍රාහකයා පිතෙක් සිඛණ්ඩි නම් ඔහට ඇය දියටී වැ සිටි” (287 පි:)

තෙල වැකියෙහි ‘දු සුජාතා’ යනුදු ‘සථරහු මහනුවට හට’ යනු දැයි ඒ ඒ දෙ පදයෝ ඒකාර්ථ වෙති. ‘වත්හිමියො දෙව්දත් තෙරහු’ යනුදු ‘වත්හිමියො භාර්ගයො මන්ත්‍රාණිපුත්‍රයො’ යනුදු ‘වත්හිමියො පුණුමහ තෙරහු’ යනුදු ‘නැන්දණියන් පුතණුවො බුදුහු’ යනුදු ‘දූ විසාඛා’ යනුදු ‘පිතෙක් සිඛණ්ඩි’ යනුදු එ සැටියෙන් මැ එකාර්ථ යි.

“විශෙෂ්‍යයෙහි සිටුනා ලිංගවිභක්ති වචන විශෙෂණයෙහි දු තුබුව මනා වෙයි” යනු මාතෘ භාෂායෙහි ව්‍යවස්ථා යැ. එසේ වුව ද, සියබසෙහි ලා නීලපීතාදි ගුණවිශෙෂණ විශෙෂ්‍යයා හා එකාර්ථ වුව ද, පූර්වනිපාත වැ සිට ලිංගවිභක්ති වචන නොගනුතුදු, විශෙෂ්‍යයෙන් පරනිපාත වත් මැ, ලිංගවිභක්ති වචන සෙව්නේ යැ, “කිරිමව්හු ඇතුළුවටනැ වැදැ බලන්නාහු එ පෙළහර දැකැ ගොස් රජ හට කීහු” (16 පි:) යන මෙහි ‘බලන්නාහු’ යනුදු “පස්වගමහසඟහු බුදුන් වඩනවුන් දුරින් දැකැ” (34 පි:) යන මෙහි ‘වඩනවුන්’ යනු දැයි සියබසෙහි ඉබොහෝ නිදසුන් ඇත.

චෙතනයකු කියන සාමාන්‍ය වචනයක් හා විශෙෂ වචනයක් හා සමානාධිකරණ වැ සිටුත් මැ, පූර්වපද වුව ද ලිංග විභක්ති වචන සෙව්නාසෙ පෙනේ. ‘වත්හිමියො, භාර්ගයො, මන්ත්‍රාණි පුත්‍රයො’ යන පදයෝ තුන් දෙන තුල්‍යාදිකරණයහ- පද විසින් තුනක් වැ සිටිය ද එකවස්තුකයහ. එහි ‘මන්ත්‍රාණිපුත්‍රයො’ යනු විශෙෂවචන වෙයි. ‘වත්හිමියො’ භාර්ගයො’ යන දෙ වචන සාමාන්‍ය වචනයි. විශෙෂ්‍ය වන ‘මන්ත්‍රාණිපුත්‍රයො’ යන්නෙහි සිටුනා ලිංගවිභක්ති වචන විශෙෂණ වන ‘වත්හිමියො, භාර්ගයො’ යන දෙ තන්හි දු ඇත. සියබසෙහි තුල්‍යාධිකරණ විශෙෂණ විශෙෂ්‍ය විධියෙහි ලා චෙතනයකු කියන සාමාන්‍ය වචනය පූර්වපද වෑ සිට විශෙෂ්‍යයෙහි ලිංග විභක්ති වචන සෙව්නාසෙ කියැ හැකි වුව ද, නීලපීතාදි ගුණ විශෙෂණාදිය පූර්වනිපාත වැ සිට එසෙයින් නොපවත්නාසෙ ගුරුළුගොමීන් ගේ පදඝටනායෙන් විනිශ්චය කළ යුතුයි. සාමාන්‍ය වචන විශෙෂ වචන විසින් වෙන වෙන සඳහන් කළ වචන ‘පර්යායවචන’ විසින් ගත ද වටී. ප්‍රාණිවාචක පර්යාය වචන සමානාර්ථ වුවත්, වෙන වෙන ලිංග විභක්ති වචන යොදා ගුරුළුගොමීන් ලියූසෙ පෙනෙන හෙයිනැ.

ගලන හොයෙක් එල්ලේ නො යෙයි. එ සෙයින් මැ ග්‍රන්ථභාෂාව මිසැ ව්‍යවහාර පථයෙහි වැටෙන බසෙක් එක් සැටියෙකින් මැ නො වැටෙයි. කාලවශයෙන් ප්‍රදෙශ වශයෙන් බිඳෙමින් නඟිමින් බස්මින් වැටෙයි. සියබසෙහි ද තෙල සැහැවී ඇත. එසේ ද වත්, එහිලා අව්‍යක්තයන් නිසා වන වෙනස ව්‍යක්තයන් විසින් නොගතමනාසෙ ගුරුළුගොමීන් ගේ පදඝටනායෙන් ප්‍රකාශ වෙයි. පොළොන්නරු සෙමෙහි සාමාන්‍ය ජනයාගේ වහරවිදි නො ගෙනැ ග්‍රන්ථභාෂා වශයෙන් පිළිගත මනා ව්‍යක්ත භාෂායෙන් මැ අමාවතුර ලියූ බව මෙතෙක් මෙහි අල වාක්‍ය ප්‍රදෙශ රාශියෙන් දත හෙන්නේ යැ. සාමාන්‍ය ජනයා ලියු කියු බසින් ‘අමාවතුර’ කරන ලද නම්, යටැ කී ‘වාක්‍යවිධි’ අද තෙක් නො පවත්නේ වෙයි. ඇද දැක්වුව මනා වියරණ විදි මෙහි බොහෝ ඇත ද, මේ ලිපියෙහි එ හැම නොකියැ හෙන්නේ යැ. මෙ ග්‍රන්ථය සංස්කරණ කරත් මැ, ශොධන වශයෙන් අප කළ වෙනස මේ තැන් සිට දක්වම්හ.