දුර්දාන්තදමන නම් ප්‍රථම පරිච්ඡේදය පන්සියපනස්දාවැළින් ඇදැ ගත් දෙසියපස්දාවස් පමණ ගෙනැ ඒ ඒ ජාතියෙහි දුර්දාන්තයන් දැමුසෙ කියන්නට ගෙතිණ. මෙ හැම ජාතක අටුවායෙහි එයි. භූරිදත්ත ජාතක, සඞ්ඛපාලජාතක, වම්පෙය්යජාතකාදිය සිල් පිණිසැ සඳහන් කරනු ‘සඟිඅටුවා’ යෙහි දු පළට වෙයි. ‘සත්කෘත්යභ්යාස’ ආදි අභ්‍යාස විධි ‘චරියාපිටක අටුවා’ යෙහි දු ඇත. එයින් ඒ ඒ අටුවා ද මෙහි ලා වහල් වූසෙ සිතියැ හෙන්නේ යැ. පීතෘශොක සන්හිඳුවනු කියන්නට මෙකී තක්කලජාතකය දැක්වූව ද, එහි ලා ඒ ජාතකය ඝටිත වන සෙයක් නො දනුම්හ. ඉදිරිපත් කරන කරුණට සාධක වශයෙන් කියන ජාතකයන් කෙරෙහි කිසිවක් යම්තමෙකින් යෙදෙනසෙ කියැ හෙන තැනුදු ඇත.
ස්වසන්තානදමන - පරසන්තානදමන නම් දෙවන තුන්වන පරිච්ඡෙද ජාතක අටුවායෙහි එන ‘නිදානකථා’ යෙහි අනුවාදයි. එහි දු තැනැ තැනැ අන් අටුවායෙන් ගත් දැය ද දක්නා ලැබේ.
ගහපතිදමන නම් සතර වන පරිච්ඡේදය මැදුම්සඟියෙහි ‘උපාලිසූත්‍ර’ ය හා අටුවා ඇසිරි කොට කළ අනුවාදයෙකි. එහි එන මාතඞ්ගකථා යෙහි දී උපාලිසූත්‍ර අටුවා හා ජාතක අටුවා හා දෙකම ඇසිරි කළසෙ පෙනේ.
බ්රාහ්මණදමන නම් පස් වන පරිච්ඡෙදය දික්සඟියෙහි ‘කූටදන්ත සුත්‍ර’ ය හා අටුවා ඇසිරි කොට කරන ලද අනුවාදයි.
රාජදමන නම් සවන පරිච්ඡේදය දික්සඟියෙහි ‘සාමඤ්ඤඵල සූත්‍ර’ ය හා අටුවා ගෙන කළ අනුවාදයි.
අඟුල්මල්දමන නම් සත්වන පරිච්ඡෙදය මැදුම්සඟියෙහි ‘අඞ්ගුලිමාල සූත්‍ර’ ය හා අටුවා ඇසිරි කොට කළ අනුවාදයි.
පරිබ්රාජකදමන නම් අට වන පරිච්ඡේදය සූත්‍ර නිපාතයෙහි ‘සභිය සූත්‍ර’ ය අටුවා ඇසිරි කොට කළ අනුවාදයි. මෙහි දී ‘බුද්ධවංස අටුවා’ යැ. ‘අඞ්ගුත්තරාගම අටුවා’ යැ යන මෙ ද ඇසිරි කළසෙ පෙනේ.
මාණවකදමන නම් නව වන පරිච්ඡෙදය මැදුම් සඟියෙහි ‘සච්චක සූත්‍ර’ ය හා අටුවා ඇසිරි කොට කළ අනුවාදයි.
දිගම්බරදමන නම් දස වන පරිච්ඡෙදය දික්සඟියෙහි ‘පාඨීකසුත්ර’ ය හා අටුවා ගෙනැ කළ අනුවාදයි.
ජටිලදමන නම් එකොළොස් වන පරිච්ඡේදය මැදුම්සඟියෙහි ‘පුණ්ණොවාද සූත්‍ර’ යා හා අටුවා ගෙන කරන ලද අනුවාදයි.
තාපස දමන නම් දොළොස් වන පරිච්ඡේදය සූත්‍ර නිපාතයෙහි ‘පාරායණ සූත්‍ර’ ය හා අටුවා ගෙනැ කරන ලද අනුවාදයි.
භික්ෂුදමන නම් තෙළෙස් වන පරිච්ඡේදය ‘මහාසමයසූත්ර’ ය හා සූත්‍රාර්ථ ඇතුළත් වැ සිටුනා ‘දික්සඟි අටුවා’ හා ‘සංයුත්සඟි අටුවා’ හා දෙක ඇසිරි කොට කරන ලද අනුවාදයි.
නාගදමන නම් තුදුස් වන පරිච්ඡේදය ‘විශුද්ධිමාර්ග’ ය හා ‘ජාතකාර්ථකථා’ ච හා ඇසිරි කොට කරන ලද අනුවාදයි. මෙහි දී ‘පාදපඞ්කඡස්තව’ නම් පැරැණි ග්රන්ථයෙක් ද සඳහන් වේ.
යක්‍ෂදමන නම් පසළොස් වන පරිච්ඡේදය සංයුත්සඟි අටුවා යැ, සූත්‍රනිපාත අටුවා යැ යන මෙහි එන ආළවක කථාව හා ‘ආළවක සූත්‍ර’ ය ඇසිරි කොට කරන ලද අනුවාදයි.
අසුරදමන නම් සොළොස් වන පරිච්ඡේදය ‘බුද්ධවංස අටුවා’ යැ, ‘දම්පියා අටුවා’ යැ, ‘දික් සඟිඅටුවා’ යැ යනාදියෙන් කරුණු ගෙන කළසෙ පෙනේ.
දෙවදමන නම සතළොස් වන පරිච්ඡේදය දික්සඟියෙහි ‘සක්ක පඤ්හ සූත්‍ර’ ය මැදුම්සඟියෙහි ‘චූලතණ්හාසඞ්ඛය සූත්‍ර’ යැ, ‘ජිනාලඞ්කාරවර්ණනා’ යැ යනාදිය ඇසිරි කොට කරන ලද අනුවාදයි.
බ්රහ්මදමන නම් අටළොස් වන පරිච්ඡේදය මැදුම්සඟියෙහි ‘බ්‍රහ්ම නිමන්තණිය සූත්‍ර’ ය හා අටුවා ඇසිරි කොට කරන ලද අනුවාදයි.
ගුරුළුගොමීහු මෑ කිසි තැනෙක දී ඒ ඒ සඟි හා සූත්‍ර සඳහන් කරති. මෙහි සඳහන් නොලත් පත පොතින් ගත් කරුණු විරල වෙයි.
මේ සංස්කරණය පිණිසැ පොත් දසයක් පමණ වහල් කැරැගතුම්හ. බම්බලපිටියේ වජිරාරාමාධිපති වැ වැඩ විසූ, යසවතුරින් මෙරට හෙළි කළ මහපඬිරුවනක් වූ, පැලෑනේ සිරි වජිරඤාණ මහානායක හිමිපාණන් අතින් පුස්කොළපොත් සතරක් මුලැ දී මැ ලදුම්හ. මූලගිරිරාජමහා විහාරාධිපති වැ වැඩ විසූ, ගෞරවාර්හ මොදරවානේ සිරි සොමානන්ද නායක හිමිපාණන් අතින් ලත් පොත යැ, පණ්ඩිත දෙනගම පියතිස්ස ස්ථවිරයන් වහන්සේ සපයා දුන් පොත යැ, මාතරැ පඹුරන වාලුකාරාමාධිපති, කඹුරුගමුයේ සිරි රතනජොති හිමිපාණන් වෙතින් අප ශිෂ්‍ය ආචාර්ය අමරපාල සේනාරත්න මහතා සපයා දුන් පොත යැ, මිරිපැන්නේ අරියාකරවිහාරයෙන් ලත් පොත යැ යන පොත් හා අන් පොත් දෙකෙක් දැයි මෙ හැම පොත් දසයෙකි. මේ පොත් වර්ග කොට බලත් මැ, ආචාර්ය පරම්පරා තුනෙකැ පොත්සෙ පෙනේ. උඩරට පහතරට දෙක්හි මැ ලියූ පොත් තෙල පොත් අතරැ ඇත. අපි මෙ හැම පරීක්ෂාකාරී වැ බැලුම්හ. අනුවාදපාඨ හා පෙළ අටුවා හා සසඳාලුම්හ. දැන් පළ වැ ඇති පොත් අතුරින් මහානාම සංස්කරණය හා සොරත සංස්කරණය හා මෙහි ලා වෙසෙසින් සසඳා බැලුම්හ. අමාවතුරෙහි අගනාකම මතු කැරැ-ලීමෙහි ගෞරවය මහානාම සංස්කරණයට දියැ යුතු යැ. එහි දු ශොධනය නොලත් බොහෝ තැන් සොරත සංස්කරණයෙහි ශොධිත වෙයි. පුස්කොළ පොත් හා පෙළ අටුවා සසඳා බලන කහට වුව ද එය පෙනෙ දැයෙකි. සොරත සංස්කරණය සිය ගුරුකුලයෙහි අක්ෂර වින්‍යාසය ගුරුළුගොමීනුදු පිළිගත්සෙ දක්වතුදු ‘ඒ සැබැවැ’ යි නොකියැ හෙන්නේ යැ.