කේතුමතී රාජධානි සමය

දැන් වූ කලි ඒ මෛත්‍රෙය සර්වඥයන්ට උත්පත්තිස්ථාන වූ රාජධානිය දක්වන්නා වූ තිලෝගුරු සම්‍යක්සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක. කෙසේදයත්:-

“තදා කෙතුමතී නාම රාජධානී භවිස්සති

ද්වාදසයොජනායාමා සත්තයොජන විත්‍ථතා,

ආකිණ්ණා නරනාරීහි පාසාදෙහි විචිත්තිතා

සෙවිතා සුඛසත්තෙහි අජෙය්‍යා ධම්මරක්ඛිතා”යි.

ඒ මෛත්‍රෙය බුදුන් බුදුවන සමයෙහි දිගින් නැගෙනහිර වාසල එළිපත පටන් බස්නාහිර වාසල එළිපතට අතුර දොළොස් යොදනක් පමණ ඇත්තා වූ, පුළුළින් දකුණුදිග වාසල එළිපත පටන් උතුරුදිග වාසල එළිපතට අතුර සත්යොදනක් පමණ ඇති කෙතුමතී නම් රාජධානියක් වන්නීය.

තවද ඒ කෙතුමතී නම් රාජධානිය ක්‍ෂත්‍රිය-බ්‍රාහ්මණය-වෛශ්‍යය-ශුද්‍රය යන සතර පක්‍ෂයෙහි වූ ස්ත්‍රීපුරුෂයන් හා නො එක් රූපසංස්ථාන ක්‍රියාවෙන් යුක්ත වූ අවශේෂ ස්ත්‍රීපුරුෂයන් විසින් ගැවසීගත්තීය. එක්මාල්-දෙමාල්-තුන්මාල්-සතරමාල්-පස්මාල්-සමාල්-සත්මාල් ආදි වූ මහල්වලින් හා වටය-සිව්රැස-දිගය-අටැස-සොළොසැස ගුරුළුපියා සටහන යනාදි නොඑක් සටහනින් විසිතුරු වූ මහදොර-සුළුදොර-සිව්මැදුරුකවුළු ආදියෙන් හෙබියා වූ පදනමින් හා රන්රසුදැලින් වටකරනලද්දා වූ දොරටු තොරණ-කෙහෙල්ගස්-ධජ-පතාක-පුන්කළස් ආදියෙන් පිරිවරන ලද්දා වූ සිංහපඞ්ක්තිය, ව්‍යාඝ්‍රපඞ්ක්තිය, මෘගපඞ්ක්තිය, හස්තිපඞ්ක්තිය, අශ්වපඞ්ක්තිය, දිව්‍යරූපපඞ්ක්තිය යනාදි වූ චිත්‍රකර්මරූපපඞ්ක්තියෙන් විචිත්‍ර වූ නීල-පීත-ලෝහිතොදාතාදි ප්‍රභාසමූහයෙන් දිලිහෙන්නා වූ රන්, රිදී, මැණික්මය වූ පර්වතකූටයන් හා සදාගවු අනෙකප්‍රකාර කෙළලක්‍ෂගණන් ප්‍රාසාදයෙන් විසිතුරු වන්නීය. කුශල නමැති ජලයෙන් පවිත්‍ර කරනලද අකුශල නමැති කලුෂ ඇති බැවින් පිරිසිදු වූ චිත්ත සන්තානයෙන් යුක්ත ශුද්ධසත්ත්‍වයන් විසින් සෙවනාලද්දීය. නරෙන්‍ද්‍ර, සුරෙන්‍ද්‍ර, අසුරෙන්‍ද්‍රාදි කිසි පසමිතුරුකෙනකුන් විසින් වැද ජයගෙන පලා යා නොහැක්කීය. කුශලධම්ම, රාජධර්මයෙහි නියුක්ත වූ රජදරුවන් හා අමාත්‍යාදීන් විසින් රක්‍ෂාකරනලද බැවින් ධර්මිෂ්ට සත්ත්‍වයන්ගෙන් කරනලද ආරක්‍ෂා ඇත්තීය. මෙසේ කිසිසත්ත්‍වකෙනකුන් විසින් ජයගත නොහැක්කා වූ ශුද්ධසත්ත්‍වයන් විසින් සෙව්නාලද ප්‍රාසාදයෙහි විසිතුරු වූ ස්ත්‍රීපුරුෂයන් විසින් ගැවැසීගත්තා වූ සත්යොදනක් පළල ඇති දොළොස්යොදනක් දිග ඇති කෙතුමති නම් රාජධානියක් එකල්හි වන්නීය.

තවද ඒ කෙතුමතීනම් රාජධානිය කවරකලෙකැ කොපමණ ආයුෂයක් ඇති මනුෂ්‍යයන් සමයෙහි වේ ද? යත්:- අසූදහසක් අවුරුද්දට ආයුෂය ඇති මනුෂ්‍යයන් සමයෙහි වන්නීය.

කෙසේද යත්:-

ස්වර්ගමෝක්‍ෂ සැප සාදා දෙන්නා වූ මේ ශාසනය පඤ්චප්‍රකාර අන්තර්ධානයෙන් අන්තර්ධාන වූ කල්හි ලෝකයෙහි අකුශලය උත්සන්න වන්නේය. වැදූමෑණියෝය, කුඩාමෑණියෝය, නැඟිනියෝය, බූනැනියෝය, පියාණන් නැඟිනියෝය, මයිලනුවන්ගේ ප්‍රජාපතිය යන මේ නුසුදුසු වූ ස්ථානයෙහි සත්ත්‍වයෝ රාගය උපදවන්නාහ. අනුභවකටයුතු වූ ප්‍රියවස්තුවෙහි ඉතා බලවත් වූ ලෝභය උපදවන්නාහ. පුරුෂයන්ට පුරුෂයන් කෙරෙහි ඡන්‍දරාගය හා ස්ත්‍රීන්ට ස්ත්‍රීන් කෙරෙහි බලවත් වූ ඡන්‍දරාගය උපදනේය. මවුන්ට හිත නො වන්නාහ. පියන්ට හිත නොවන්නාහ. මහණධම් නො කරන්නාහ. බඹසරවස් නො කරන්නාහ. කුලදෙටුවන් නුපුදන්නාහ. එකල අනුක්‍රමයෙන් අකුශලය උත්සන්නවීම හේතුකොට ගෙන අවුරුදු සියයෙකින් පිරිසුන්නා වූ ආයුෂය පිරිහී දසඅවුරුද්දට ආයුෂය වන්නේය. එසමයෙහි පස්මැසිකුමාරවරුන්ට පස්මැසිකුමාරිකාවන් ගෙන හැරැ ආවාහ විවාහ කරන්නාහ. චක්‍රවර්තිසූත්‍රය දෙසන්නා වූ බුදුහු එහෙයින් වදාළහ:-

“දසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු පඤ්චමාසිකා කුමාරිකා අලම්පතෙය්‍යා භවිස්සති”යි.

එසමයෙහි සියලුරස අන්තර්ධාන වෙයි. ඇල්වී අන්තර්ධාන වෙයි. අමුසාල් වරාසාල් ආදිවූ අනුලොමධ්‍යානයෙහි බත් රජදරුවන්ට අග්‍රභෝජන වන්නේය. එයින් වදාළහ බුදුහු:- එම සක්විති සූත්‍රයෙහි,

“දසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු ඉමානි රසානී අන්තරධායිස්සන්ති සෙය්‍යථීදං සප්පි නවනීතං තෙලං මධුඵාණිතං ලොණංදසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු කුද්‍රෑසකො අග්ගභොජනානං භවිස්සති සෙය්‍යථාපි භික්ඛවෙ එතරහිසාලිමංසොදනො අග්ගොභොජනානං”යි.

එසමයෙහි ප්‍රාණඝාතාදි දශඅකුශලකර්මපථය අතිශයෙන් දීප්තිමත් වන්නේය. ප්‍රාණඝාතයෙන් වැළකීම් ආදිවූ දශකුශල කර්මපථය අන්තර්ධාන වන්නේය. කුශලය යන නාමමාත්‍රයකුත් නැති වන්නේය. කුශලොත්පත්තිය කැලම නො වන්නීය. එයින් වදාළහ බුදුහු:-

“දසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු දසකුසලකම්මපථා සබ්බෙන සබ්බං අන්තරධායිස්සන්ති දසඅකුසලකම්මපථා අතිවිය දිප්පිස්සන්ති දසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු කුසලන්තිපි න භවිස්සති කුතො පන කුසලස්ස කාරකා”යි.

එකල මනුෂ්‍යයෝ අසවල්පුරුෂයා විසින් මවු මරණ ලද්දීය. පියා මරණ ලද්දේය. මහණබමුණෝ ජීවිතයෙන් තොරකරන ලද්දාහ. කුලදෙටුවන් ඇතිබවත් නොදන්නේය. එසේහෙයින් මෙතෙම ඉතා ආශ්චර්යවත් සපන් පුරුෂයෙකැයි ඔහු ම පුදන්නාහුත් වෙති. ප්‍රශංසාකරන්නාහුත් වෙති. එයින් වදාළහ බුදුහු:-

“දසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු යෙ තෙ භවිස්සන්ති අමත්තෙය්‍යා අපෙත්තය්‍යා අසාමඤ්ඤා අබ්‍රහ්මඤ්ඤා න කුලෙ ජෙට්ඨාපචායිනො තෙ පුප්පා ච භවිස්සන්ති පාසංසාච”යි.

එකල මනුෂ්‍යයෝ භයලජ්ජා නැති වැ ආචාරධර්මය ඉක්ම මෑණියෝය, දියණියෝය, නැගනියෝය, බහුනැනියෝය යනාදි සංඥා නූපදවා බලු කැණහිලුන් මෙන් නිර්ලජ්ජි වන්නාහ. එයින් වදාළහ බුදුහු:-

“දසවස්සා’යුකෙසු භික්ඛවෙ මනුස්සෙසු න භවිස්සති මාතා, ති වා මාතුච්ඡා’තීවා මාතුලානී’ති වා ආචරියභරියාති වා ගරුනං දාරාති වා සම්භෙදං ලොකො ගමිස්සති යථා අජෙලකා කුක්කුට සූකරා සොණසිගාලා”යි.

එකල මනුෂ්‍යයන්ට ඔවුනොවුන් කෙරෙහි බලවත් වූ කෝපය නැවත නැවත උත්පත්ති වශයෙන් එළඹ සිටිනේය. වදාළේ මැනෝ:-

“දසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු තෙසං සන්තාන අඤ්ඤමඤ්ඤම්හි තිබ්බො ආඝාතො පච්චුපට්ඨිතො භවිස්සති තිබ්බො ව්‍යාපාදො තිබ්බො මනොපදොසො තිබ්බං වධකචිත්තං මාතු’පි පුත්තම්හි පුත්තස්සපි මාතරි පිතූපි පුත්තම්හි පුත්තස්සපි පිතරිභාතුපි භාතරි භාතුපි භගිනියා භගිනියාපි භාතරි”යි.

එසමයෙහි ශස්ත්‍රාන්තඃකල්පය වන්නේය. අන්තඃකල්පය තෙමේ දුර්භික්‍ෂාන්තඃකල්පය රොගාන්තඃකල්පය ශස්ත්‍රාන්තඃකල්පය යි ත්‍රිප්‍රකාර වන්නේය. ඒ ත්‍රිවිධ වූ අන්තඃකල්පයන් අතුරෙන් සත්ත්‍වයන්ට ලෝභය අධික වූ සමයෙහි දුර්භික්‍ෂාන්තඃකල්පය වන්නේය. මෝහය අධික වූ සමයෙහි රොගාන්තඃකල්පය වන්නේය. ද්වේෂය අධික වූ සමයෙහි ශස්ත්‍රාන්තඃකල්පය වන්නේය. ඒ තැනින් දුර්භික්‍ෂාන්තඃකල්පයෙන් නටුවා වූ සත්ත්‍වයෝ ආහාරතෘෂ්ණාව බලවත්බව හේතුකොට ගෙන බොහෝසේ ප්‍රේතලෝකයෙහි උපදනාහ. රෝගාන්තඃකල්පයෙන් නටුවා වූ සත්ත්‍වයෝ අප කෙරෙන් අනන්‍ය වූ සත්ත්‍වයන්ට මෙබඳු වූ රෝගයෙක් නුවූයේ වී නම් යහපත් වන්නේය යි මෙත්සිත් උපදනා හෙයින් බොහෝ සේ ස්වර්ගයෙහි උපදනාහ. ශස්ත්‍රාන්තඃකල්පයෙන් නටුවා වූ සත්ත්‍වයෝ ඔවුනොවුන් කෙරෙහි බලවත් වූ ආඝාත ඇති බැවින් නරකයෙහි උපදනාහ. මේ ත්‍රිවිධ වූ අන්තඃකල්පයන් අතුරෙන් මෙතැන්හි ශස්ත්‍රාන්තඃකල්පය දතයුත්තේය.

එකල මනුෂ්‍යයෝ ඔවුනොවුන් කෙරෙහි මෘගසංඥා ඇතිවැ කොල තෙල මුවා ගණුව, මරව, හසුකරව යනාදීන් තුඩුවැඩියා බණන්නාහ. අතින් ඇල්වූ පමණකන් තණපත් පරණලාපත් සියුම්මුවහත් ඇති කඩුපත්සේ මැවී යෙයි. එයද සත්ත්‍වයෝ ඔවුනොවුන් ඒ ආයුධයෙන් මරන්නාහ. වදාළේ මැ නෝ:-

“දසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු සත්තාහං සත්‍ථන්තරකප්පො භවිස්සති. තෙ අඤ්ඤමඤ්ඤං මිගයඤ්ඤං, පටිලභිස්සන්ති. තෙසං තිණ්හානි සත්‍ථානි හත්‍ථෙසු පාතුභවිස්සන්ති. තෙ තිණ්හෙන සත්‍ථෙන එස මගො එස මගො’ති අඤ්ඤමඤ්ඤං ජීවිතා වොරොපෙස්සන්ති” යි.

ඒ සත්ත්‍වයන් අතුරෙන් යම් කෙනෙක් නුවණැත්තෝ වී නම් ඒ නුවණැති මනුෂ්‍යයෝ පළමුකොට ම මේ විනාශය අසා මේ ලෝකවිනාශය පැමිණ සිටියේය. දෙදෙනකු එක තෙනකැ හිඳ ජීවත්වන්ට නො පිළිවන් වන්නේය යි සිතා ගල්ගුහා පර්වත ගුහා ආදියෙහි සතියක් පමණට සෑහෙන ආහාර තබා ගස්අතුරට වනලැහැප් අතුරට පර්වතගුහාවට දිවයින්වලට වැද දෙදෙනෙක් ඔවුනොවුන්ට නොපෙනෙන පරිද්දෙන් සැඟවී ඉඳිනාහුය. වදාළේ මැ නෝ :-

“තෙ තිණගහණං වනගහණං රුක්ඛගහණං නදීවිදුග්ගං පබ්බතවිසමං පවිසිත්‍වා සත්තාහං වනමූලඵලාහාරා යාපෙස්සන්ති”යි.

ඒ වනාන්තර, පර්වතගුහා, ගල්ගුහා ආදියට වන්නා වූ සත්ත්‍වයන් හැර අවශේෂ සත්ත්‍වයෝ ඔවුනොවුන් ආයුධයෙන් කොටාගන්නාහුය. සියලු පොළොව එක මස්කළවිටක් මෙන් වන්නීය. ඉක්බිත්තෙන් සත්වැනිදහස් ඉකුත් වූ කල්හි තමන් තමන් සැඟවුනා වූ ස්ථානවලින් නික්ම ඔවුනොවුන් වැළඳ මම යම්සේ ජීවත්ව උන්හෙයින් තොප විසින් දක්නා ලද්දෙම් වෙමි ද? පින්වත් වූ සත්ත්‍වය, එපරිද්දෙන්ම තොයිත් ජීවත්ව උන් හෙයින් මා විසින් දක්නාලද්දෙහි වේ දැ යි මෙසේ සමග සතුටු වන්නා වූ කථාවෙන් සුවදුක් කියා ඔවුනොවුන් අස්වසා නොමිය උන් හෙයින් ඔවුනොවුන් ඇස දැකපුමෝ වේ දැ යි සතුටුව සමග වන්නාහුය. වදාළේ මැනෝ:-

“තෙ තස්ස සත්තාහස්ස අච්චයෙන තීණගහණා වනගහණා රුක්ඛගහණා නදීවිදුග්ගා පබ්බතවිසමා නික්ඛමිත්‍වා අඤ්ඤමඤ්ඤං ආලිඞ්ගිත්‍වා සභාගායිස්සන්ති. සමස්සා සිස්සන්ති. දිට්ඨාභො සත්ත ජිවසි දිට්ඨා භො සත්ත ජීවසි”යි මෙසේ ඒ සත්ත්‍වයෝ ඔවුනොවුන් සමග බවට පැමිණ පින්වත්වූ සත්ත්‍වයෙනි, අධික වූ අකුශල කර්මය හේතු කොට ගෙන අපගේ නෑයෝ අපකියමන් නො ගෙන ඇමදෙන ම නටහ. උපායෙන් අපි ජීවත් වූම්හ. එසේ හෙයින් අපි කුසල් කළමෝ වී නම් යහපත් වන්නේය යි කියා ප්‍රාණඝාතයෙන් වළක්නාහ. ඒ ප්‍රාණඝාතයෙන් වැළැක්කාවූ දසඅවුරුද්දට ආයුෂය ඇති දරුවෝ උපදනාහ. වදාළේ මැ නෝ:-

“අථඛො භික්ඛවෙ තෙසං සත්තානං එවං භවිස්සති. මයං ඛො අකුසලානං ධම්මානං සමාදානහෙතු එවරූපං ආයතං ඤතික්ඛයං පත්තා. යන්නූන මයං කුසලං කරෙය්‍යාම. කිං කුසලං කරෙය්‍යාම යන්නූන මයං පාණාතිපාතා පටිවිරමෙය්‍යාම. ඉදං කුසලධම්මං සමාදාය වත්තෙය්‍යාමාති තෙ පාණාතිපාතා පටිවිරමිස්සන්ති. ඉදං කුසලධම්මං සමාදාය වත්තිස්සන්ති. තෙ කුසලා නං ධම්මානං සමාදානහෙතු ආයුනා’පි වඩ්ඪිස්සන්ති. වණ්ණෙන’පි වඩ්ඪිස්සන්ති. තෙසං ආයුනා’පි වඩ්ඪමානානං වණ්ණෙනාපි වඩ්ඪමානානං දසවස්සායුකානං මනුස්සානං වීසති වස්සාසුකාපුත්තා භවිස්සන්ති”යි.

ඉක්බිත්තෙන් ඔවුන්ගේ දරුමුණුබුරෝ ක්‍රමයෙන් අදත්තාදානයෙන් වළකුම්හ, කාමමිථ්‍යාචාරයෙන් මෘෂාවාදයෙන් ප්‍රියසුන්‍යවචනයෙන්, ඵරුෂවාක්‍යයෙන්, ස්වර්ගමොක්‍ෂයට බාධක වූ ව්‍යර්ථකථාවෙන්, අධික ලෝභයෙන්, අධික ද්වේෂයෙන්, විපරීත දෘෂ්ටියෙන් වළකුම්හ. මේ දශකුශලකර්මපථය සමාදන්ව පවතුම්හ. දෙමව්පිය ආදීන් කෙරෙහි උපදනා අධර්මරාගය, ප්‍රයෝජන විනදසුතු ප්‍රියවස්තු වහි අධික ව උපදනා විෂමලෝභය, පුරුෂයන් පුරුෂයන් කෙරෙහි ස්ත්‍රීන්ට ස්ත්‍රීන් කෙරෙහි බලවත් වූ ඡන්‍දරාගයෙන් උපදනා මිථ්‍යාධර්මය යන මේ ත්‍රිවිධ වූ ධර්මයන් දුරුකරම්හ. මවුන්ට හිතවම්හ. පියන්ට හිතවම්හ. මහණුවම් කරම්හ. බඹසරවස් රකුම්හ. කුලදෙටුවන් පුදම්හ යි කියා ඒ කුශලධර්මයන් පුරනට පටන්ගන්නාහ.

මෙසේ මතුමත්තෙහි වඩ වඩා ඒ සත්ත්‍වයන් කුශලධර්මයෙහි හැසිරෙන්ට පටන්ගත් කල්හි විසිඅවුරුද්දට ආයුෂය ඇති මනුෂ්‍යයන්ට තිස්අවුරුද්දට ආයුෂය ඇති දරුවෝ උපදනාහ. තිස්අවුරුද්දට ආයුෂය ඇත්තවුන්ට සතළිස් අවුරුද්දට ආයුෂය ඇති දරුවෝ උපදනාහ. සතළිස්අවුරුද්දට ආයුෂය ඇත්තවුන්ට පනස් අවුරුද්දට ආයුෂය ඇති දරුවෝ උපදනාහ යනාදී ක්‍රමයෙන් දෙසියයක් අවුරුද්දට ආයුෂය ඇති වන්නාහ.

එසමයෙහි මේ ජම්බුද්වීපය හුනවනයක් බටවනයක් මෙන් අතුරු නැති වැ මනුෂ්‍යයන්ගෙන් ගැවැසීගන්නේය. කුකුළුපයන සරගම් නියම්ගම් රාජධානියෙන් සමෘද්ධවන්නේය. සියලු ජනපදයෝ සොරුන් සතුරන්ගෙන් භය නැති හෙයින් සුභික්‍ෂ වන්නාහ. එකල මේ බරණැස්නුවරට එම නම වන්නේය. ඉක්බිත්තෙන් දෙසියයක් අවුරුද්දට ආයුෂය ඇති මනුෂ්‍යයෝ කුශල කර්මවිපාකය දක්නාහු වඩ වඩා මතුමත්තෙහි දානසීලාදි කුශල ධර්මයන් පුරන්නාහ. ඉක්බිත්තෙන් අනුක්‍රමයෙන් ආයුෂය මතු මත්තෙහි කුශලධර්මසමාදානයෙන් වැඩෙමින් තුන්සියයෙක, සාරසියයෙක, පන්සියයෙකැයි කියාද, ඉක්බිත්තෙන් අවුරුදු දහසෙක, දෙදහසෙක, තුන්දහසෙක, සාරදහසෙක, පන්දහසෙකැයි කියාද ඉක්බිත්තෙන් දසදහසෙක, විසිදහසෙක, තිස්දහසෙක, සතලිස්දහසෙක, පණස්දහසෙක, සැටදහසෙක, සැත්තෑදහසෙක, අසූදහසෙක, අනූදහසෙකැයි කියාද, ආයුෂය මතුමත්තෙහි වැඩෙන්නේය. අනූදහසක් අවුරුද්දට ආයුෂය ඇතිකල්හි බරණැස්නුවර නම් පෙරළී යොදනක් පමණ උත්පලනම් නුවරෙක් වන්නේය. ඉක්බිත්තෙන් මනුෂ්‍යයන් අධිකතරව දශකුශලකර්මයෙහි හැසිරෙන්ට පටන්ගත් කල්හි ලක්‍ෂයක් අවුරුද්දට ආයුෂය වන්නේය.

එකල උත්පලනම් නුවර නම් පෙරලී සත්යොත්නක පමණ පදුමනම් නුවරෙක් වන්නේය. ඉක්බිත්තෙන් සත්ත්‍වයන් වඩ වඩා කුශලධර්මය පුරන්ට පටන්ගත් කල්හි කෙළලක්‍ෂයක් අවුරුද්දට ආයුෂය වන්නේය. ඉක්බිත්තෙන් සත්ත්‍වයන්ගේ කුශලකර්මසමාදානයෙන් මතුමත්තෙහි ආයුෂය වඩාගෙන ගොස් අසංඛ්‍යයක් අවුරුද්දට ආයුෂය වන්නේය. එසමයට පදුමනම් නුවර නම් පෙරළී දොළොස්යොදනක් පමණ මන්‍දාර නම් නුවරෙක් වන්නේය. එසමයෙහි මිනිස්ලොව දෙව්ලොවටත් වඩනේය. උපන්කල් නොදනිති. මියෙන කල් නොදනිති. ජරා විලිපිලි නැත, රෝගාන්තරාය නැත. එසේ හෙයින් නොපෙනෙන්නාවූ ජරා මරණ ඇති සත්ත්‍වයෝ නරක දුකින් බලවත් පීඩා විඳි සත්ත්‍වයන් ස්වර්ගලෝකයෙහි ඉපද දුක්සිහි නැතිවීමෙන් කුශල් කිරීමට ප්‍රමාදවන්නාක් මෙන් නැවතත් කුශලධර්ම පූරණයෙහි ප්‍රමාද වන්නාහ. නැවත අකුශලකර්මයෝ සත්ත්‍වසන්තානයෙහි පහළවන්නාහ. හළාහලවිසමිශ්‍ර ජලය වැදීමෙන් අමෘතජලය පිටත්ව පලායන්නාක් මෙන් සත්ත්‍වයන්ගේ සන්තානයෙහි අකුශලකර්මය වැදීමෙන් කුශලධර්මය පිරිහෙන්ට පටන් ගන්නේය. ඒ කුශල ධර්මය පිරිහෙන්ට පටන්ගත් කල්හි ආහාරජ රූපයන්ගේ පිරිහීමෙන් අවශේෂ වූ කර්මජ-චිත්තජ-සෘතුජ-රූපයන් තුන්දෙනාගේ පරිහාණිය මෙන් ආයුෂය පිරිහෙන්නේය. එකල අසංඛ්‍යයක් අවුරුද්දට ඇත ආයුෂය ක්‍රමයෙන් පිරිහී කෙළ ලක්‍ෂයක් අවුරුද්දට ආයුෂය වන්නේය. එයින් ක්‍රමයෙන් පිරිහී ලක්‍ෂයක් අවුරුද්දට ආයුෂය වන්නේය. එයින් ක්‍රමයෙන් පිරිහී අනූදහසක් අවුරුද්දට ආයුෂය වන්නේය. ඒ අනූදහසක් අවුරුදු ක්‍රමයෙන් පිරිහී අසූදහසක් අවුරුද්දට ආයුෂය ඇතිව සිටිනේය. එසමයෙහි මනුෂ්‍යයෝ අසූදහසක් අවුරුද්දට ආයුෂය ඇතිවන්නාහ. පන්සියයක් හැවිරිදි කුමාරයාට පන්සියයක් ඇවිරිදි කුමාරිකාව ගෙන හැර ආවාහ විවාහ කරන්නාහ. එකල සියලු ජම්බුද්වීපයෙහි උත්තමාධමවූත් සියලු සත්ත්‍වයෝ ආහාරපානවර්ගය, ඛාද්‍යය, භොජ්‍යය, ලෙය්‍යය, පෙය්‍යය යන චතුර්විධ ආහාරවර්ගයෙන් ද, වස්ත්‍රාභරණ සුවඳමල් සුවඳවිලවුන් ආදියෙන් ද, මුත්තාමාණික්‍යාදි දශවිධ රත්නයෙන් හා ශාලිව්රීභ්‍යාදි සප්තවිධ ධාන්‍යයෙන් හා අපරියන්ත වූ උපභොගපරිභොග සම්පත් පිරිවර ආදියෙන්ද, දිව්‍ය වූ පංචකාමකොට්ඨාසයක් හා සමානවූ ඉෂ්ටවූ කාන්තවූ මනවඩන්නාවූ සැපවිඳින්ට සුදුසු වූ රූප-ශබ්ද-ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය සඞ්ඛ්‍යාත පඤ්චකාමගුණයෙන්ද යුක්තවන්නාහ. වර්ෂාවත් දෙපෝයෙන් දෙපෝය, දසදවසින් දසදවස, පස්දවසින් පස්දවස, මධ්‍යමයාමයෙහි භූමිරසය වඩමින් වස්නේය.

එකල මන්‍දාර නම් නුවර නම්පෙරළි දිග දොළොස් යොදුන් පුළුල සත්යොදුන් යටකී සියලු සම්පතීන් සමෘද්ධ වූ කෙතුමතී නම් රාජධානියෙක් වන්නේය. එයින් වදාළහ බුදුහු:-

“අසීතිවස්සසහස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු අයං බාරාණසී කෙතුමතී නාම රාජධානි භවිස්සති. ඉද්ධාවෙව පීතාව, බහුජනාව, ආකිණ්ණමනුස්සාච, සුභික්ඛාව අසීතිවස්සසහස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු ඉමස්මිං ජම්බුදීපෙ චතුරාසීති නගර සහස්සානි භවිස්සන්ති කෙතුමතීරාජධානි පමුඛානී”යි.

මෙසේ ඒ කෙතුමතී නම් රාජධානිය අසූදහසක් අවුරුද්දට ආයුෂය ඇති මනුෂ්‍යයන් සමයෙහි වන්නේය.