අලෝභ අද්වේෂ අමෝහ

මෙහි අලොභාදිවු ධර්මයෝ සදෙන නොයෙක් දෝෂ දුරුකරණ හෙයින්ද, නොයෙක් ගුණ එළවන හෙයින්ද සත්ත්‍වයන්ට බොහෝ උපකාරී වන්නාහ. විශේෂයෙන් යෝගාවචරයන්ට බහූපකාරී වන්නාහ. ඒ එසේ මැයි. අලෝභය මාත්සර්යමලයට ප්‍රතිපක්‍ෂය, අද්වේෂය දෞශ්ශීල්‍යමලයට ප්‍රතිපක්‍ෂය, අමෝහය කුශලධර්මයෙහි අභාවනාවටප්‍රතිපක්‍ෂය. අලෝභය දානයට හේතුය. අද්වේෂය ශීලයට හේතුය. අමෝහය භාවනාවට හේතුය. අලෝභයෙන් ප්‍රිය විප්‍රයොගදුඃඛය නොවන්නේය. අද්වේෂයෙන් අප්‍රියසම්ප්‍රයෝග දුඃඛය නො වන්නේය. අමෝහය රාග වශයෙන් පැමිණීම නසන්නේය. අලෝභය ලෝභ වශයෙන් පැමිණීම නසන්නේය. අද්වේෂය ද්වේෂ වශයෙන් පැමිණීම නසන්නේය. අමෝහය මෝහයවශයෙන් පැමිණීම නසන්නේය. අලෝභය ත්‍යාගයෙන් භෝගප්‍රතිලාභය වන හෙයින් භෝගසම්පත්තියට ප්‍රත්‍යය වන්නේය. අද්වේෂය මෛත්‍රියෙන් මිත්‍රප්‍රතිලාභ වන හෙයින් මිත්‍රසම්පත්තියට ප්‍රත්‍යය වන්නේය. අමෝහය යම්හෙයකින් අමූඪ වූ තෙනත්තේ තමහට වැඩම කෙරෙමින් ආත්ම සමෘද්ධිය කෙරේද, එහෙයින් ආත්මසම්පත්තියට ප්‍රත්‍යය වන්නේය. අලෝභයෙන් ජාතිදුඃඛය නොවන්නේය. අද්වේෂයෙන් ජරාදුඃඛය නොවන්නේය. අමෝහයෙන් මරණදුඃඛය නො වන්නේය. අලෝභයෙන් ප්‍රේතලෝකයෙහි උත්පත්තිය නොවන්නේය. අද්වේෂයේ නරකයෙහි උත්පත්තිය නො වන්නේය. අමෝහයෙන් තිරිසන්යෝනියෙහි උත්පත්තිය නොවන්නේය. මෙසේ වර්ණනා කරන ලද නුගුණ ඇති ලෝභ-ද්වේෂ-මෝහ තුනින් සත්ත්‍වයෝ අපායේ උපදනාහ. මෙසේ වර්ණනා කරන ලද ගුණ ඇති අලෝභ-අද්වේෂ-අමෝහ තුනින් සත්ත්‍වයෝ ස්වර්ගයෙහි උපදනාහ. එසේහෙයින් ස්වර්ගයට යනු කැමැති සත්ත්‍වයන් විසින් සිල්සමාදන්ව කිසිවෙක ලෝභයක්වත් කිසිවක්හට ද්වේෂයක්වත් කිසිවෙක මෝහයක්වත් නො කටයුත්තේය. මේ කාරණය හේතුකොටගෙන බුදුරජාණන් වහන්සේ එකල ඒ භද්දජිස්ථවිරයන්ගේ පූර්වජන්මයෙහි නෑයෝ ප්‍රාසාදලෝභයෙන් මස්, කැසුප්, නා’මඩු ආදිව එම ප්‍රාසාදයෙහි උපන්නෝ වේදැයි වදාළසේක. ඉක්බිත්තෙන් භාග්‍යවත්වූ බුදුරජාණන් වහන්සේ ප්‍රාසාදය උඩනැඟෙත් නැඟෙත් පෙරළි පෙරළී දියෙහි වැගිර පීඩාවට පැමිණෙන්නාවූ භද්දජිස්ථවිරයන් වහන්සේගේ පූර්වඥාතීන් දැක ප්‍රාසාදය උඩනැඟී නොදී හරවා ගංගාවෙන් එතර වැඩිසේක. එසඳ සර්වඥයන් වහන්සේට ගන්තෙරම් අස්නක් පැනවූහ. බුදුරජාණන්වහන්සේ පනවන ලද උතුම් වූ බුද්ධාසන මස්තකයෙහි යුගදුරු මුදුනෙහි දිලියෙන්නාවූ ළහිරුමඬලක් මෙන් සවණක් රැස් විහිදුවමින් දිලිහි දිලිහී වැඩ උන්සේක. ඉක්බිත්තෙන් භික්‍ෂූන් වහන්සේ එවේලෙහි ස්වාමීනි! මේ ප්‍රාසාදය භද්දජිස්ථවිරයන් පෙරවිසූ ප්‍රාසාදයෙක් දැයි විචාළ සේක. එසඳ බුදුරජාණන් වහන්සේ මහණෙනි! භද්දජිස්ථවිරයන් පෙර මහාපනාද කාලයේ විසූ ප්‍රාසාදය වේදැයි වදාරා යට කියන ලද ක්‍රමයෙන් පූර්වචරිතය දේශනාකොට දුඃඛ සමුදය නිරෝධ මාර්ගය යන චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට නොයෙක් කෙළදහස් ගණන් දිව්‍යමනුෂ්‍යයන් මාර්ගඵලයට පමුණුවා එසමයෙහි “මහාපනාද රජ්ජුරුවෝ නම්” දැන් භද්දජි ස්ථවිරයෝය. සුමෙධාදේවී නම් විසාඛාවෝය. විශ්වකර්මදිව්‍යපුත්‍රයා නම් ආනන්‍ද ස්ථවිරයෝය. ශක්‍රදේවෙන්‍ද්‍රයෝ නම් තිලෝගුරු සම්‍යක්සම්බුදුරජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාරා දේශනාව නිමවා හුනස්නෙන් පැන නැඟී ආර්යසමූහයා විසින් පිරිවරන ලදුව ජේතවනමහා විහාරයට වැඩ වදාළ සේක. භද්දජිස්ථවිරයන් වහන්සේ ආයුපමණින් සිට අතිමධුර වූ ඵලසමාපත්ති සැපය අනුභව කොට ආයු කෙළවර සසරදුක් හැර නිරුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.