උයන් ආදියෙහි ලෝභයෙන් ගොම පැණි ආදිව උපදනා බව

උයන් ආදියෙහි ලෝභයෙන් ගොම පැණි ආදිව උපදනා පරිදි කෙසේද? යත්:-

යටගිය දසව කසීරට පොතලී නම් නුවරෙක් විය. එහි අස්සක නම් රජ්ජුරුකෙනෙක් රාජ්‍යය කරන්නාහ. ඒ රජ්ජුරුවන්ගේ උබ්බරී නම් බිසෝකෙනෙක් වූහ. ඒ බිසව් විශිෂ්ට වූ රූ ඇත්තෝය. මනා වූ දැකුම් ඇත්තෝය. බැලුබැලුවන්ට ප්‍රසාද එළවති. උතුම් වූ රූපසෞන්දර්යයෙන් සමන්විතයෝය. මනුෂ්‍යරූපය ඉක්ම දිව්‍යරූපයට නො පැමිණි උතුම් වූ රූපශ්‍රී ඇත්තාහ. එබඳුවූ රූපශ්‍රීසෞන්දර්ය ඇති බිසව් කිසියම් ව්‍යාධියකින් අභිනව යෞවනයෙහි ම කළුරිය කළාහ. ඒ බිසවුන් කළුරිය කළපසු රජ්ජුරුවෝ සෝකයෙන් මඩනාලදුව බලවත් වූ දුක්දොම්නසට පැමිණ බිසවුන්ගේ ශරීරය දෙනක බහාලා එහි තෙල්පුරා මහාර්ඝ වූ ශ්‍රී යහන යට තබාගෙන නිරාහාරව හඬ හඬා කඳුලු පෙර පෙරා හෝනාහුය. එසඳ දෙමවුපියෝ ය, අවසේසනෑයෝ ය, මිත්‍රයෝ ය, අමාත්‍යයෝ ය, බමුණෝ ය, සිටුවරු ය යන මේ ආදීහු මහ රජ්ජුරුවන් වහන්ස, නුඹවහන්සේ අපකීවකට රැහැණි නුව මැනව, සියලු සංස්කාරධර්මයෝ ම අනිත්‍යය. යම්සේ වැලිසත්ත බිමින් උඩනැගෙන්නේ මුදුනේවැලි තබාගෙනම නැගේ. එපරිද්දෙන් ම උපදනාවූ සත්ත්‍ව මරණත් කැටුවම ගෙන උපදනේ ය. එසේහෙයින් මහරජ්ජුරුවන් වහන්ස, නස්නාසුලු වූ වස්තුවනට නුඹවහන්සේ නොකා නොබී වැලප වැලප වැහැස වැහැස ගෙවීමෙන් ප්‍රයෝජන නැත. අප හැමදෙනා කීවා කොට බිසවුන් වහන්සේ ආදාහන කරවා නුඹවහන්සේ ඉස්සෝධා නහා මේ නිමවා කායසන්තර්පණය කළමැනවැයි අවවාද කළහ. ඔවුන් හැමදෙනා මෙලෙසින් අවවාද කළත් රජ්ජුරුවෝ නො සන්හිඳෙත්මය. මෙසේ හඬන්නා වූ රජ්ජුරුවන්ට සත්දවසක් ඉකුත් වූ සේය. එකල අප මහබෝසතාණෝ ධ්‍යානලාභී තාපසව හිමාලය වනයෙහි වසන්නාහු ආලෝක වඩා දිවසින් දඹදිව බලා ඒ අස්සක නම් රජ්ජුරුවන් මෙසේ වලප්නා බව දැක ඒ රජ්ජුරුවන්ට මා පිටිවහල්වුව මැනවැයි සිතා සෘද්ධියෙන් ආකාශයට පැන නැගී ගොස් රාජොද්‍යානයට බැස මඟුල් සල්සල වට මත්තෙහි ඝන රන් පිළිමයක් මෙන් උන්නාහ. එසඳ එනුවර වැසි බමුණු දරුවෙක් උයනට ගිය තැනැත්තේ ඒ මහාබෝධිසත්ත්‍වයන් දැක වැඳ එකත්පස්ව හුන්නේය. එසඳ මහබෝසතාණෝ ඒ බ්‍රාහ්මණ කුමාරයා සමග සුවදුක් කථාකොට කිාමෙක්ද? මෙනුවර රජ්ජුරුවෝ ධර්මිෂ්ටයෝ දැයි විචාළහ. එබසු අසා බමුණු දරු කියන්නේ ස්වාමීනි! තපස්වීන් වහන්ස? රජ්ජුරුවන් වහන්සේ ධර්මිෂ්ට නියාවට කිසි අඩුවෙක් නැත. ප්‍රජාසංරක්‍ෂණයෙහි නිරතසේක. සත්ත්‍වකරුණා ඇතිසේක. එතකුදු වුවත් උන්වහන්සේගේ බිසවුන් වහන්සේ කළුරිය කළසේක. ඒ මෘතකලෙබරය දෙනක බහා තෙල්වත් කොට පියන්පතගසා යහනයට තබා වැලප වැලප වැද හෝනා සේක. මෙසේ හඬ හඬා වැදහෝනා රජ්ජුරුවන් වහන්සේට අදින් සත්දවසෙක් ඉකුත් වූයේය. නුඹවහන්සේ මෙබඳු ධර්මිෂ්ට රජ්ජුරුකෙනකුන් වහන්සේ මේසා දුකක් විඳිමින් සිටියදී එදුකින් නුමුදන්ට කාරණ කවරේද? නුඹවහන්සේ එබඳු වූ සිල්වත් ගුණවත් මහතුන් ලොවට ඇතුව ඉන්දදි මෙසේවූ ධර්මිෂ්ට රජ්ජුරුකෙනකුන් වහන්සේ දුක්විඳිනවා යහපත්දැයි කීය. එසඳ මහබෝසතාණෝ කියන්නාහු දරුව! මම රජ්ජුරුවන් නොහඳුනමි. ඉඳින් ඒ රජ්ජුරුවන් අවුත් මා අතින් විචාළේ වී නම් මම ඒ රජ්ජුරුවන්ට බිසවුන් උපන්තැන් කියා රජ්ජුරුවන් අභිමුඛයෙහිම කථාකරවන්නෙම් වේ දැයි කීහ.

එසඳ බමුණුදරු එසේ වී නම් ස්වාමීනි! නුඹවහන්සේ මා ගොස් රජ්ජුරුවන් වහන්සේ කැඳවාගෙන එන තෙක් මෙතනම වැඩහින්ට වුවමැනවැයි මහාබෝධිසත්ත්‍වයන් ගිවිසවාගෙන රජ්ජුරුවන් කරා ගොස් එපවත් රජ්ජුරුවන්ට දන්වා ඒ දිවැස් ඇති තපස්වීන් කරා එන්ට වුවමැනවැයි රජ්ජුරුවන්ට දැන්වීය. එසඳ රජ්ජුරුවෝ උබ්බරිය දක්නෙම් වේ දැයි සතුටුව සරහා පිළියෙල කරන ලද රථයකට පැන නැගී උයනට ගොස් මහබෝසතාණන් දැක වැඳ එකත්පස්ව හිඳ විචාරන්නාහු තපස්වීන් වහන්ස! නුඹවහන්සේ අපගේ බිසවුන් මිය උපන්තැන්දන්නේ සැබෑදැයි විචාළහ.

මහබෝසතාණෝ දනිමි, මහරජ්ජුරුවෙනි! කීහ. කොයි උපන්නුදැයි විචාළකල්හි මහරජ්ජුරුවෙනි! ඒ බිසවුන් සුරාමදයෙන් මත්ව ප්‍රමාදවාසයට පැමිණ කුසල් නොකොට අකුසල් කොට මෙම උයන ගොම පැණි යොනියෙහි උපන්නෝ වේදැයි කීහ. රජ්ජුරුවෝ නුඹවහන්සේගේ බස් මා අදහාගන්නේ නැතැයි කීහ. එසඳ මහබෝධිසත්ත්‍වයෝ එසේ වී නම් ඒ බිසවුන් තොපට දක්වා උන් ලවා කථාකරවම්දැයි කීහ. යහපත ස්වාමීනි යි කී කල්හි මහබෝසතාණෝ තමන්ගේ ආනුභාවයෙන් ඒ ගොමපැණියා හා ඈට වල්ලභවූ ගොමපණු හා දෙදෙනා ගොමපිඩක් වටකොට පෙරල පෙරලා රජ්ජුරුවන් අභිමුඛයට එත්වයි අධිෂ්ඨාන කළාහ. මහබෝසතාණන්ගේ අධිෂ්ඨානය හා සමග ඔහුදෙදෙනාත් ගොමපිඩක් පෙරල පෙරලා රජ්ජුරුවන් අභිමුඛයට පැමිණියාහුය. එසද මහබෝසතාණෝ ඔවුන් දෙදෙනා රජ්ජුරුවන්ට දක්වා මහරජ්ජුරුවෙනි! මේ ඉදිරියෙහි උබ්බරීදේවිය ගොමවට පෙරල පෙරලා පසුපස්සේ එන්නේ ගොම පණුවාය. මොවුන් දෙදෙනා බලවයි කීහ. රජ්ජුරුවෝ බෝධිසත්ත්‍වයන්ට කියන්නාහු ස්වාමීනි! උබ්බරීදේවි ගොමපැණි යොනියෙහි උපදනට සුදුසුවූ කෙනෙක් නො වෙත්. මම නුඹවහන්සේගේ බස් අදහා නො ගනිමි කිවූය. එසේ වී නම් මම ඈ ලවා කථාකරවම්ද? මහරජ්ජුරුවෙනියි කී කල්හි කථාකැරවුව මැනව තපස්වීන් වහන්සැයි කීහ. මහබෝසතාණෝ තමන්ගේ ආනුභාවයෙන් ඈ ලවා කථා කරවන්නාහු උබ්බරීනියි කීහ. ඕතොමෝ මනුෂ්‍යභාෂාවෙන් කිවමැනව ස්වාමීනි යි කිව; තී මේතනට පූර්වජන්මයෙහි කෙබඳුව උපනීදැයි විචාළහ.

ස්වාමීනි, මම මේ අස්සක රජ්ජුරුවන් වහන්සේට අගමෙහෙසුන්ව උබ්බරී නම් බිසව්ය යි මේ නමින් ප්‍රසිද්ධවීමි යි කිව. එසඳ මහබෝසතාණෝ කිමෙක්ද? දැන් තිට අස්සක රජ්ජුරුවෝ ප්‍රියයෝද? නොහොත්, ගොම පණුවා ප්‍රියදැයි කීහ. ස්වාමීනි ඒ මාගේ පූර්වජන්මය එකල මම මේ උයන්හි රූප-ශබ්ද-ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය යන පඤ්චකාමය අනුභව කෙරෙමින් ඇවිද්දෙමි. දැන් මා අනික් ජන්මයකට ගිය බැවින් ඒ රජ්ජුරුවන්ගෙන් මට ප්‍රයෝජන කවරේද? දැන්වූ කලි මම අස්සක රජ්ජුරුවන් මරවා උන්ගේ ගලලොහිතයෙන් මට වල්ලභවූ ගොම පණුවාගේ පය සෝදවනු කැමැත්තෙමි. අස්සක රජ්ජුරුවන්ට වඩා ශතගුණයෙන් සහස්‍රගුණයෙන් ගොමපණුවා මට ප්‍රියවන්නේය යි පර්ෂත් මධ්‍යයෙහි මනුෂ්‍යභාෂාවෙන් කථාකළාය.

ඒ අසා අස්සක රජ්ජුරුවෝ විපිළිසරබවට පැමිණ කුණපයගෙන් පිටත් කරවා ඉස්සෝධා නහා මහබෝසතාණන් වැඳ නුවරට ගොස් අනික් බිසෝකෙනකුන් අගමෙහෙසුන් තනතුරෙහි තබා දැහැමෙන් රාජ්‍යය කළාහුය. මහබෝසතාණෝ රජ්ජුරුවන්ට අවවාද අනුශාසනා කොට සෝක සන්හිඳවා තමන් වසන්නාවූ හිමාලය වනයට පැමිණියාහුය. මෙසේ උයන් ආදියෙහි ලෝභකොට ගොමපැණි ආදිව උපදනාහුය.