චක්‍රවර්ති සූත්‍රය

ඒ දේශනාවට මෑත භාගයෙහි චක්‍රවර්තිසූත්‍රදේශනාව කරන්නාවූ සර්වඥයන් වහන්සේත් අනාගතවංශදේශනාව කොට වදාළසේක. ඒ කෙසේද? යත්:-

එසමයෙක්හි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මගධරට සැරිසරා වඩනාසේක් මාතූලා නම් නුවරට පැමිණ ඊට නුදුරු වනලැහැබෙක වාසයකරනසේක් අලුයම්වේලෙහි මහාකරුණා සමාපත්තීන් නැඟී ලොව බලා වදාරණසේක් මේ අනාගතවංශය ප්‍රකාශකරන්නාවූ සූත්‍රාන්තදේශනාවෙන් මාතුලානුවර වාසීවූ සුවාසූදහසක් ප්‍රාණීන්ට වන්නාවූ ධර්මාභිසමය දැක උදෑසනම විසිදහසක් භික්‍ෂූන්වහන්සේ පිරිවරා මාතූලා නම් නුවරට පැමිණිසේක.

එකල මාතූලානුවර වාසී රජදරුවෝ සර්වඥයන්වහන්සේ වැඩිසේක යනු අසා පෙරගමන් කොට දශබලධාරී වූ බුදුරජාණන්වහන්සේට ආරාධනා කොට මහත්වූ සත්කාර සම්මානයෙන් නුවරට වඩාගෙන ගොස් වැඩඉන්ට සුදුසු ස්ථානයක් විශේෂකොට සරහා මහාර්ඝ වූ පර්යඞ්කයෙක වඩාහිඳුවා බුදුපාමොක් මහසඟපිරිසට මහදන් දුන්හ. භාග්‍යවත්වූ සර්වඥයන්වහන්සේ ආහාරකෘත්‍යය කොට නිමවා සිතනසේක්, ඉදින් මම මේ ස්ථානයෙහිදී මේ මනුෂ්‍යයන්ට ධර්මදේශනා කරන්නෙම් වී නම්, මේ ප්‍රදේශය ඉතා හකපටු වන්නේය. මනුෂ්‍යයන් හිඳින්ටවත් සිටින්ටවත් අවසර මදවන්නේය මහත්වූ සමාගමයක් මෙතන්හි වියයුතුය යි සිතූසේක. ඉක්බිත්තෙන් රජදරුවන්ට අනුමෙවෙනි ධර්මය දේශනා නොකොටම පාත්‍රය ගෙන නුවරින් නික්මුණුසේක. මනුෂ්‍යයෝ සිතන්නාහු බුදුරජාණන් වහන්සේ අපට භුක්තානුමෝදනා විචරකුත් නො කොට වඩනාසේක. ඒකාන්තයෙන් බුදුනට පිළිගැන්වූ ආහාරපානවර්ගය නපුරුව ගියේ වන. බුදුහු නම් සිත් ගතහැකි කෙනෙක් නොවනසේක. බුදුන් හා සමග කරන්නාවූ විශ්වාසය නම් පණහප් විදහාගත් නාගරාජයක්හුගේ කරටිය අල්වා කෙළීමක් හා සමාන වන්නේය. එසේහෙයින් පින්වත්නි! වරො යම්හ. බුදුරජාණන් වහන්සේ ක්‍ෂමා කරවම්හ යි කියා සියලු නුවරවාසී සත්ත්‍වයෝ සර්වඥයන්වහන්සේ හා කැටිවම නික්මුණාහ. බුදුරජාණන්වහන්සේ වඩිමින් සිටම මගධක්‍ෂෙත්‍රයෙහි පිහිටි ශාඛාවිටපසම්පන්නවූ ඝනච්ඡායා ඇති, කිරියක්මානයේ පැතිර සිටියාවූ එක් මයිල ගසක් දැක, මේ වෘක්‍ෂමූලයේ හිඳ ධර්මදේශනා කරන්ට වන් කල්හි මහජනයා ඉන්ට සිටින්ට අවසර පෙනේනේය යි දැන වැළක මයිල රුක සමීපයට වැඩ ධර්මභාණ්ඩාගාරිකවූ ආනන්‍දස්ථවිරයන් වහන්සේගේ මුහුණ බලා වදාළසේක. එසඳ අනඳමහතෙරුන් වහන්සේ මුහුණ බැලු ආකාරය දැනලාම බුදුරජාණන්වහන්සේ වැඩහිඳිනා කැමතිසේක්වනැයි දැන සුගත්මහාචීවරය සතරපට කොට මයිලරුකමුල වැඩහිඳිනා පරිද්දෙන් ආසනය පැණවූ සේක. බුදුරජාණන්වහන්සේ පනවනලද ආසනමස්තකයෙහි බාලාර්කබිම්බයක් මෙන් දිලිහී වැඩහුන්සේක. ඉක්බිත්තෙන් උන්වහන්සේ අභිමුඛයෙහි මනුෂ්‍යයෝ උන්හ. දැලයෙහිත් පිටිපසත් භික්‍ෂුසඞ්ඝයා වහන්සේ වැඩහුන් සේක. ආකාශයෙහි දේවතාවෝ සිටියාහ. මෙසේ මහත්වූ දිව්‍ය මනුෂ්‍ය භික්‍ෂුපර්ෂද් මධ්‍යයේ වැඩහුන්නාවූ තිලොගුරු සම්‍යක්සම්බුදුරජාණන්වහන්සේ ධර්මය පිළිගන්ට සුදුසු භික්‍ෂූන්වහන්සේට ආමන්ත්‍රණය කොට මහණෙනි! ආත්මප්‍රතිෂ්ඨා ඇතිව වසව. ආත්මශරණ ඇතිව වසව. අන්සරණයක් ගෙන නො වසව. මහණෙනි! ධර්මය පිහිට කොට වසව. ධර්මය ශරණ කොට වසව. අන්සරණයක් ගෙන නො වසව. යන මේ ආදික්‍රමයෙන් චක්‍රවර්තිසූත්‍රාන්තදේශනාව කොට වදාරා අනාගතවංශයත් දේශනාකොට වදාළසේක. එසේහෙයින් වදාරණ ලදි.

“අසීතිවස්සසහස්සායුකෙසු භික්ඛවෙ! මනුස්සෙසු මෙත්තෙය්‍යොනාම භගවා ලොකෙ උප්පජ්ජිස්සති අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්‍ථා දෙවමනුස්සානං බුද්ධො භගවා ති” ආදි සූත්‍ර දේශනාවගේ කෙළවර විසිදහසක් භික්‍ෂූන්වහන්සේ අර්හත්ඵලයට පැමිණි සේක. සුවාසූදහසක් ප්‍රාණීහු අර්හත්ඵලයට පැමිණ අමාමහනිවන් දුටහ.

මෙසේ “අනාගතවංශය” සියලු ධර්මයෙහි අස්ඛලිතව පවත්නාවූ ඥානගති ඇති දශබලධාරී වූ චතුවෛශාරද්‍යවිසාරද වූ ධර්මරාජන්වූ ධර්මස්වාමී වූ තථාගත වූ අසමසම වූ අප්‍රතිපුද්ගල වූ අද්වයවාදී වූ සර්වඥ වූ තිලොගුරු සම්‍යක්සම්බුදුරජාණන්වහන්සේ විසින් කිඹුල්වත්නුවර පරමරමණීය වූ න්‍යග්‍රොධාරාමයෙහි වෙසෙමින් යමක ප්‍රාතිහාර්ය දක්වන්නාවූ කාලයෙහි තමන්වහන්සේ විසින් විශේෂකොට නිර්මාණය කරන ලද ඉතා සිත්කලු වූ දැකුම් ඇති රුවන්සක්මනැ සක්මන් කෙරෙමින් සිට “බුද්ධවංශදේශනාවසානයෙහි” කාමොඝාදි චතුරොඝයෙන් නිස්තරණය පිණිස දම්සෙනෙවි සැරියුත් මහතෙරුන්වහන්සේගේ ආරාධනාවෙන් දේශනා කරන ලද්දේය.

මෙපමණකින් කවරකෙනකුන් විසින් දෙසන ලද්දේද? කොතැන්හිදී දෙසනලද්දේද? කවරකලෙක දෙසනලද්දේද? කුමක් පිණිස දෙසන ලද්දේද? කවුරුන්ගේ ආරාධනාවෙන් දෙසන ලද්දේද? යන මේ මහාප්‍රශ්නයෝ පස්දෙනා විශේෂයෙන් විසර්ජනය කරන ලද්දාහුය.