ශීල ප්‍රත්‍යවෙක්ෂා

ශීලපාරමිතාවෙහි ප්‍රත්‍යවේක්‍ෂාක්‍රම කෙසේ ද? යත්:- මේ ශීලය නම්:- ගඞ්ගා, යමුනා යනාදි පඤ්චමහාගඞ්ගාවන්ගේ ජලයෙන් හා සමුද්‍රයෙහි ජලයෙන් සුද්ධකරන්ට නොපිළිවන් ද්වේෂමලය පිරිසිදු කරන්නා වූ ජලයක් හා සමාන වන්නේය. රන්වන් සඳුන් ගෝසී සඳුන් ආදී වූ ශීතල ද්‍රව්‍යයෙන්, දුරුකරන්ට නොපිළිවන් රාගාදි පරිළාහය සන්හිඳුවන්නා වූ ශිතල ද්‍රව්‍යයෙක මුත්හර ඔටුනු මිණිකොඬොල් ආදි වූ බොහෝ ජනයා සැරහෙන්නා වූ ආභරණයට වඩා අසාධාරණ වූ සත්පුරුෂයන්ගේ සැරහීමට අලඞ්කාර විශේෂයෙක.

තවද: ශීලය නම්: සියලුදිග හමන හෙයින් සඳුන් ආදී කිසිවෙකින් නො කරන ලද හැමකලට සුදුසු වූ සුගන්‍ධද්‍රව්‍යයෙක. ක්‍ෂත්‍රිය මහාසාරය, බ්‍රාහ්මණ මහාසාරය, ගෘහපති මහාසාරය, යනාදි වූ සියලු මනුෂ්‍යයන් විසින් ද, දිව්‍යබ්‍රහ්මාදි සියලු දෙවියන් විසින්ද වැඳීම් පිදීම් ආදිය එළවනහෙයින් උත්කෘෂ්ට වූ වශීකරණමන්ත්‍රයෙක. චාතුම්මහාරාජිකාදි සදිව්‍යලෝකයට නැගෙන පිණිස ලන ලද හිණිපෙතිපඞ්ක්තියක් හා සමාන වන්නේය. ප්‍රථමධ්‍යානාදි අෂ්ටසමාපත්තිය හා සෘද්ධිවිධාදි පඤ්චාභිඥාවට පැමිණිමට උපාය වන්නේය. නිර්වාණ නැමැති මහපුරයට පමුණුවන්නා වූ මාර්ගයක් හා සමාන වන්නේය. ශ්‍රාවකසම්පත්තිය-ප්‍රත්‍යෙකබෝධිසම්පත්තිය-සම්‍යක්සම්බෝධිසම්පත්තිය යන මේ ත්‍රිවිධසම්පත්තීන්ගේ පිහිටීමම ආධාරභූමියක් හා සමාන වන්නේය. යමක් සිතුවොත් පැතුවොත් ඒ ඒ දෙය සමෘද්ධවත්ව උපායක් බැවින් මේ ශීලය චින්තාමාණික්‍යකල්පවෘක්‍ෂාදියත් ඉක්ම පවත්නේය.

එසේ හෙයින් වදාරණ ලදි:- “ඉජ්ඣිස්සති භික්ඛවෙ සීලවතො චෙතො පණිධි විසුද්ධත්තා”යි. “ආකඞ්ඛෙය්‍ය චෙ භික්ඛවෙ භික්ඛු සබ්‍රහ්මචාරීනං පියොචස්සං මනාපො ගරුව භාවනීයෙති සීලෙ සෙවස්ස පරිපූරකාරී” යනාදීන්ද, “අවිප්පටිසාරත්‍ථානි ඛො ආනන්‍ද කුසලානි සීලානි” යනාදීන්ද, “පඤ්චිමෙ ගහපතයො ආනිසංසා සීලවතො සීලසම්පදාය” යනාදීන් ද වදාරණ ලද පාලිවශයෙන් ශීලයෙහි ගුණ විශේෂයෙන් සැලකිය යුත්තේය.

තවද අග්ගික්ඛන්‍ධොපමසූත්‍රාදීන්ගේ වශයෙන් ශීලවිනාශයෙහි ආදීනවද සැලකිය යුත්තේය. සීලය නම්:- ප්‍රීතිසෞමනස්‍යය එළවන්ට කාරණහෙයින්ද, අත්තානුවාදභය-පරානුවාදභය-දණ්ඩභය-දුර්ගතිභයාදිය නසන හෙයින්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසාකටයුතු බැවින්ද, විපිළිසර නොවීමට කාරණහෙයින්ද, ලෞකිකලොකොත්තර සම්පත් සඞ්ඛ්‍යාත අභිවෘද්ධි ඵලවන හෙයින්ද, කුලසම්පත්තිය - ධනසම්පත්තිය -අධිපතිසම්පත්තිය - රූපසම්පත්තිය - ස්ථානාන්තරසම්පත්තිය - බන්‍ධුසම්පත්තිය -මිත්‍රසම්පත්තිය යන මේ සියලු සම්පත්තීන් මැඩපවත්නා හෙයින්ද, සීලය උතුම් වූ ගුණඇත්තේ යයි සැලකිය යුත්තේය.

තවද සිල්වත්හට තමාගේ ශීලසමෘද්ධිය නිසා මාවිසින් ඒකාන්තයෙන් කුසල්කරණලද කලණ වූ ක්‍රියාවක් කරණලද; භය පරිත්‍රාණයක් කරනලදැයි, මහත්වූ ප්‍රීතිසෞමනස්‍යය උපදනේය. තවද සිල්වත්හට “කච්චිනු ඛො මෙ අත්තා සීලතො න උපවදතීති”යි යුබැවින්ද, “කච්චිනු ඛො මං අනුවිච්චිවිඤ්ඤු සබ්‍රහ්මචාරී සීලතො න උපවදන්තී” යි යූබැවින්ද, අත්තානුවාද භය-පරානුවාදභය නැත්තේය. දණ්ඩභය-දුර්ගතිභය දෙක කැලම නැත්තේය. සිල්වත්වූ පුද්ගල කලණවූ ධර්මයන් ඇත්තේයයි විඥයන් විසින් ප්‍රහංසා කටයුතු වන්නේය. තවද මා විසින් ඒකාන්තයෙන් පාපයෙක් කරනලද රෞද්‍රවූ ක්‍රියාවෙක් කරණ ලද, කලුෂධර්මයෙක් කරණලදැයි, දුස්සීලයහට යම් විපිළිසරෙක් උපදීනම් ඒ සිත්කලකිරීම සිල්වත්හට නූපදනේය. තවද මේ ශීලය නම්:- අප්‍රමාදයට කාරණ හෙයින්ද, ඥාතිව්‍යසන-භොගව්‍යසන-රෝගව්‍යසනාදිය දුරුකරන්ට කාරණ හෙයින්ද, මහත් වූ වැඩ සාදන හෙයින්ද, අභිවෘද්ධිකාරණ බැවින්ද, උතුම් වූ මඟුලක් හා සමාන වන්නේය. සිල්වත්වූ හීනජාතික සත්ත්‍වයෙකුත් ක්‍ෂත්‍රියමහාසාරාදීන් විසින් පිදියයුතු වන්නේය. ශීලසමෘද්ධිය කුලසම්පත්තිය මැඩපවත්නේය. තවද සොරුන්-සතුරන්-රජදරුවන්-වේයන්-මීයන්-ගිනි-දිය ආදිවූ සියල්ලට අසාධාරණ හෙයින්ද, මිය පරලොව යන්නහු අනුව යන හෙයින්ද, මහා ඵල මහානිසංස ඇතිවන බැවින්ද, සමථවිදර්ශනාදි ගුණයන්ට පිහිටවන බැවින්ද, ශීලධනය බාහ්‍යධනය මැඩ පවත්නේය. උත්කෘෂ්ට වූ අනිමා ලඝිමාදිවූ චිත්තය ඓශ්චර්යයට පිහිටවන බැවින් ශීලය ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණාදීන්ගේ ඓශ්චර්ය මැඩපවත්නේය. ඒ ඒ සත්ත්‍වනිකායෙහි සත්ත්‍වයන්ගේ ඓශ්චර්යය ශීලයම කාරණකොට ඇත්තේය.

“යොච වස්සසතං ජීවෙ දුස්සීලො අසමාහිතො

එකාහං ජීවිතං සෙය්‍යො - සීලවන්තස්ස ඣායිනො”

යූබැවින් දුශ්ශීල පුද්ගලයාගේ සියක් අවුරුදු ජීවත්වීමටත් වඩා සිල්වත් පුද්ගලයාගේ එකදවසකුත් ජීවත්වීම උතුම් වන්නේය. ශික්‍ෂාප්‍රත්‍යක්ඛ්‍යානය කළ පුද්ගලයාගේ ජීවත්වීමට වඩා මරණයම උතුම්වන්නේය යි, වදාළ බැවින් ශීලය ජීවිතයට වඩා විශිෂ්ටතර වන්නේය. වෛරීන්ටත් මනොඥබව එළවන බැවින්ද, ජරාරොග විපත්තියෙන් මැඩපැවැත්ත නොහැකි බැවින්ද, ශීලය රූපසම්පත්තිය ඉක්මපවත්නේය. ප්‍රාසාද-මණ්ඩප-කූටාගාර-සඳලු-මඬු ආදි ස්ථාන විශේෂයන්ද, රජ-යුවරජ-සෙනෙවිරත් ආදි ස්ථානාන්තර විශේෂයන්ද ශීලය මැඩ පවත්නේය. සැප විශේෂයට පිහිටවන බැවින්ද, ඒකාන්තයෙන් වැඩසිද්ධකරණ හෙයින්ද, පරලොව යන්නහු අනුව යන හෙයින්ද, ස්වභාවයෙන් ස්නේහීව අත්පා මෙහෙවර කරන්නවුන්ද, බන්‍ධුජනයන් හා මිත්‍රයන්ද, ශීලය ඉක්ම පවත්නේය.

එයින් වදාළහ බුදුහු:-

“න තං මාතා පිතා කයිරා අඤ්ඤෙවා පිච ඤාතකා

සම්මා පණිහිතං චිත්තං සෙය්‍යසො තං තතො කරෙයි”

තවද හස්ති-අශ්ව-රථ-පදාති සඞ්ඛ්‍යාත චතුරඞ්ගිනී සේනාවෙන්ද, මන්ත්‍රෞෂධාදි වූ නොයෙක් ශාන්ති විධියෙන්ද, ආරක්‍ෂාව නොකට හැකි බැවින් ආත්මාධීන හෙයින්ද, අපරාධීන හෙයින්ද, මහත්වූ විෂය ඇති බැවින්ද, ශීලයම විශිෂ්ටතර වන්නේය.

එයින් වදාළහ බුදුහු:-

“ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං

ධම්මො සුචිණ්ණො සුඛමාවහාති,

එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ

නදුග්ගතිං ගච්ඡති ධම්මචාරී”යි.

මෙසේ ශීලය අනෙකප්‍රකාර ගුණයෙන් සමන්විතය යි සලකන්නා වූ පුද්ගලයාහට අසම්පූර්ණ වූ ශීලය සම්පූර්ණ බවට පැමිණෙන්නේය. නොපිරිසිදු වූ ශීලය පිරිසිදුවන්නේය. ඉදින් ඕහට බොහෝකලක් අබ්හ්‍යාසයෙන් ශීලයට විපක්‍ෂ වූ රාගද්වේෂාදි අකුශලධර්මයෝ අතරතුරෙහි උපදනාහු වී නම් ඒ බෝධිසත්ත්‍වප්‍රතිඥා ඇත්තහු විසින් මෙසේ සැලකිය යුත්තේය. කෙසේද? යත්:-

සත්පුරුෂය! තා විසින් සම්‍යක් සම්බොධිඥානය ප්‍රාර්ථනා කරණ ලද, ශීලපූරණයක් නැතිව ලෞකික සම්පත්තියටත් පැමිණෙන්ට නොපිළිවන. ලෝකෝත්තර සම්පත්තියට පැමිණෙන්ට කැලම නොපිළිවන. සියලු සම්පත්තීන්ට අග්‍ර වූ සම්‍යක්සම්බෝධියට පිහිටවූ ශීලයෙන් උත්කෘෂ්ට වූ බවට පැමිණිය යුතු නොවේද, එසේ හෙයින්,

“කිකීව අණ්ඩං වමරීව වාළධිං

පියංව පුත්තං නයනංව එකකං,

තථෙව සීලං අනුරක්ඛමානකා

සුපෙසලා හොථ සදා සගාරවා”යි.

යනාදීන් වදාරණලද ක්‍රමයෙන් මනාකොට ශිලසංරක්‍ෂණය කරන්නා වූ තොප විසින් ඉතා ප්‍රියශීලී විය යුතුය. තවද තොප විසින් ශ්‍රාවකයානය-ප්‍රත්‍යෙකබුද්ධයානය-සම්‍යක්සම්බුද්ධයානය යන ත්‍රිවිධයානයෙහි ධර්මදේශනාවෙන් ඇතුළත්කිරීම හා ශීල-සමාධි-ප්‍රඥාවෙන් මිහිකිරීම කටයුත්තේය. අපථ්‍යසේවනය කරන්නා වූ පුරුෂයක් හට වෙදකු කරණ පිළියමක් මෙන් දුශ්ශීලපුද්ගලයාගේ වචනය සාරකොට නොගතයුත්තේය. එසේ හෙයින් මම කෙසේ නම් ඇදහිලි කටයුතුව සත්ත්‍වයන්ගේ ත්‍රිවිධ වූ බෝධියට ඇතුළත් කිරීම හා ශීල-සමාධි-ප්‍රඥාවන්ගේ මිහි කිරීම් කෙරෙම්දැයි, ස්වභාවයෙන් පිරිසුදු සිල් ඇතිවිය යුත්තේය. කිසිම ධ්‍යානාදී ගුණවිශේෂයක් හා යෙදීම හේතුකොට ගෙන මාගේ සත්ත්‍වයන්ට උපකාර කරන්ට සමර්ථ බවද, ප්‍රඥා පාරමිතාදීන්ගේ පිරීමද, ධ්‍යානාදිවූ ගුණධර්මයෝද, ශීලපාරිශුද්ධිය නැතිව නොවන්නාහුයයි, මනාකොට ශිලය පිරිසිදු කටයුත්තේය.