දාන ප්‍රතිපත්ති

තවද: මේ දශපාරමිතාවන් අතුරෙහි මේ දානයෙන් මම සියලු සත්ත්‍වයන්ට ආයුෂය-වර්ණය-සැපය-බලය-නුවණය යන මේ ආදීන්ගේ සමෘද්ධියද, සිත්කලුවූ අර්හත්ඵලසම්පත්තියද, සමෘද්ධ කෙළෙම් වීනම් යහපත් වන්නේය යි සිතා ඒ මහාබෝධි සත්ත්‍ව තෙම ආහාරදානය දෙන්නේය. සත්ත්‍වයන්ගේ කාමක්ලේශ නැමැති පිපාසා සන්හිඳුවනු පිණිස පානවර්ගය දන් දෙන්නේය, රන්වන් වූ ශරීර සමෘද්ධිය පිණිස හා භයලජ්ජාදෙකට අලඞ්කාර පිණිස වස්ත්‍ර දන්දෙන්නේය. සෘද්ධිවිධඥානාදීන්ගේ නිෂ්පත්තිය හා නිර්වාණසැපසිද්ධවන පිණිස යානවාහන දන් දෙන්නේය. සර්වඥශීලසුගන්‍ධයාගේ නිෂ්පත්තිය පිණිස සුවඳ දන්දෙන්නේය. සර්වඥගුණශෝභාව සිද්ධවන පිණිස සුවඳමල් සුවඳවිලවුන් දන්දෙන්නේය. බෝමඩ වජ්‍රාසනය ලබනු සඳහා ආසන දන්දෙන්නේය. සිංහශය්‍යාවෙන් සැතපීම ලබනු සඳහා ආස්තරණාදි ශය්‍යාවන් දන්දෙන්නේය. පසළොස්චරණධර්මයන්ගේ නිෂ්පත්තිය පිණිස වාසාගාරයන් දන්දෙන්නේය.

මසැස-පැණැස-බුදුඇස-දිවඇස-සමතැස යන පසැස් ලබනු සඳහා පහන්තෙල් පහන්කඩ ආදිය දන්දෙන්නේය. බ්‍යාමප්‍රභාමණ්ඩලය ලබනු සඳහා රූපදානයද, බ්‍රහ්මස්වර විහිදුවන්නාවූ ධර්මදේශනාව නිසා ශබ්දදානයද, සියලු ලෝකවාසී සත්ත්‍වයන්ට ප්‍රියබව නිසා රසදානයද, සර්වඥසුඛුමාල බව පිණිස ප්‍රෂ්ටව්‍යදානය ද දෙන්නේය. මත්තෙහි මරණ නැතිවන පිණිස බෙහෙත් දන්දෙන්නේය. ක්ලේශ නැමැති දාසත්‍වයෙන් මිදෙන පිණිස දාසයන් නිදහස් කරන්නේය. සද්ධර්මයෙහි බලවත් වූ ඇල්ම සඳහා නිරවද්‍යවූ ක්‍රීඩාභාණ්ඩ දන්දෙන්නේය. සියලුම සත්ත්‍වයන් ආර්යජාතියෙන් තමහට පුත්‍රභාවයට පැමිණෙනු සඳහා දරුවන් දන්දෙන්නේය. සියලු ලොවට ස්වාමිබවට පැමිණෙනු සඳහා දාරයන් දන්දෙන්නේය. සුන්‍දර වූ සුප්‍රතිෂ්ඨිත පාදාදි පුරුෂලක්‍ෂණ සමෘද්ධිය සඳහා රන්, රිදී, මුතු, මැණික්, පබළු ආදිය දන්දෙන්නේය. අසූ අනුව්‍යඤ්ජන සමෘද්ධිය ලබනු සඳහා අනෙකප්‍රකාර ආභරණ දන්දෙන්නේය. සද්ධර්ම නැමැති භාණ්ඩාගාරය ලබනු පිණිස මුතු, මැණික් ආදි සැපත් පිරුණු බද්ධහල් දන්දෙන්නේය.

ධර්මරාජ්‍යය ලබනු සඳහා රාජ්‍යය දන්දෙන්නේය. ධ්‍යාන සමාපත්ති ආදීන්ගේ සමෘද්ධියා සඳහා අරම්, උයන් ආදි වූ තපොවනයන් දන්දෙන්නේය. චක්‍රලක්‍ෂණයෙන් චිහ්නීතවූ පාදයෙන් බෝමඩට එළඹෙනු සඳහා පාදයන් දන්දෙන්නේය. කාමොඝාදි චතුරොඝයෙහි ගැලී පීනන්නා වූ සත්ත්‍වයන්ට සද්ධර්ම නැමැති හස්තය දික්කොට ගොඩනගනු පිණිස හස්තයන් දන්දෙන්නේය. සද්ධින්‍ද්‍රියාදීන්ගේ ප්‍රතිලාභය පිණිස කන්නාසා ආදිය කපා දන්දෙන්නේය. සමතැස් ලබනු පිණිස ඇස් උපුටා දන්දෙන්නේය. දර්ශනය-ශ්‍රවණය-අනුස්මරණය-අත්පා මෙහෙවර කිරීමය යන මේ ආදියෙන් හැමකල්ම සියලු සත්ත්‍වයන්ට හිතසැප එළවන්නාවූ සියලු ලෝවැස්සන් විසින් සමීපයට පැමිණ ජීවත්විය හැක්කා වූ මාගේ ශරීරය සියලු සත්ත්‍වයන්ට ප්‍රයෝජන වේවයි කියා, මස් ලේ ආදිය දන්දෙන්නේය. සියලු ලෝකවාසී සත්ත්‍වයන්ට උතුම්වෙම්වයි කියා ඉස් දන්දෙන්නේය.

මෙසේ දන්දෙන්නා වූ ඒ මහාබෝධිසත්ත්‍වයෝ වූකලි එක් විසින අන්වෙෂණයන් අතුරෙන් එක්තරා එකකින් නුසුදුසු පරිද්දෙන් ප්‍රත්‍යය උපදවාගෙන නොදෙන්නාහ. මෙරමාට හිංසාපීඩා කොටත් නොදෙන්නාහ. භයිනුත් නොදෙන්නාහ. ලජ්ජාවෙනුත් නොදෙන්නාහ. දක්‍ෂිණාර්හ පුද්ගලයන් සොයාත් නො දෙන්නාහ. ප්‍රණීතාහාරය ඇතිකල්හි කටුකාහාරය දන් නොදෙන්නාහ. තමන් උසස් කරනු සඳහාත් නො දෙන්නාහ. මෙරමාට නිද්දා කරනු සඳහාත් නො දෙන්නාහ. කුශලඵලාපේක්‍ෂාවෙනුත් නො දෙන්නාහ. යාචකයන්ගේ නින්‍දා සඳහාත් නොදෙන්නාහ. නිරාදරයෙනුත් නො දෙන්නාහ. වැළි කෙසේදන්දෙද්ද යත්:-

සකස්කොට දෙන්නාහ. යුක්තප්‍රාප්තකාලයෙහි දෙන්නාහ.

එයින් වදාළහ බුදුහු:-

“පඤ්චිමානි භික්ඛවෙ කාලදානානි කතමානිපඤ්ච? ආගන්තුකස්ස දානං දෙති ගමිකස්ස දානං දෙති ගිලානස්ස දානං දෙති දුබ්භික්ඛෙ දානං දෙති යානි තානි නවසස්සානි නවඵලානි තානි පඨමං සීලවන්තෙසු පතිට්ඨාපෙති ඉමානි ඛො භික්ඛවෙ පඤ්චකාලදානානී”යි. දෙයධර්මයෙහි උත්සාහ ඇතිව දක්‍ෂිණාර්හපුද්ගලයන් කෙරෙහි ගෞරව ඇතිව දෙන්නාහ. මොහු උත්තම යහ, මොහු අධමයහ යන විභාගයක් නොකොට සාමාන්‍යයෙන් දෙන්නාහ. දන්දෙන්නාහු පළමුකොටත් දන් දෙමින් සිටත් දන්දී අන්තයෙහිත් සතුටු සිතින්ම දෙන්නාහ. දන් දී පශ්චාත් තාපයකට නො පැමිණෙන්නාහ.

එයින් වදාළහ බුදුහු:-

“පුබ්බෙව දානා සුමනො දදං චිත්තං පසාදයං,

දත්‍වා අත්තමනො හොති එසා යඤ්ඤස්ස සම්පදා”යි.

ප්‍රතිග්‍රාහකයන්ගේ වශයෙන් මානාවමානයක් නො කරන්නාහ. දන්පිළිගන්නවුන්ට ප්‍රියතෙපුල් කියන්නාහ. යාචකයන්ගේ අදහස් දැන දෙන්නාහ. තවද යාචකයන්ගේ යාඥාවට සුදුසුවූ ඔවුන්ගේ අදහස් නො මැඩ විද්‍යමානවස්තුව සුදුසු පරිද්දෙන් දන්දෙන්නාහ. පිරිවරසහිත වූ දානසමෘද්ධිය සියලු ලෝකවාසී සත්ත්‍වයන්ට හිතසැප පිණිස පමුණුවන්නාහ. තමන්ටත් අකොප්‍ය වූ අර්හත්ඵලවිමුක්තියට පමුණුවන්නාහ. තවද ක්‍ෂය නොවන්නා වූ ඡන්‍දාධිපතියට ද, ක්‍ෂය නොවන්නාවූ වීර්යාධිපතියට ද, ක්‍ෂයනොවන්නාවූ අමෝහයට ද, ක්‍ෂය නොවන්නාවූ චිත්තසමාදානයට ද, ක්‍ෂය නොවන්නාවූ ප්‍රඥාවටද, ක්‍ෂය නොවන්නා වූ සම්‍යක් සම්බෝධිඥානයට ද, පිරිනමා දන් දෙන්නාහ. මේ දානපාරමිතාව පුරන්නා වූ මහාබෝධිසත්ත්‍වයන් විසින් ජීවිතයෙහිත් වස්තුවෙහිත් අනිත්‍යසංඥාව එළවිය යුත්තේය. සත්ත්‍වයන් කෙරෙහිත් මහාකරුණාව එළවිය යුත්තේය. මෙසේ වස්තුසාරය ඇරයන්නාවූ මහාබෝධිසත්ත්‍වයෝ ගිනිගත් ගෙයකින් පිටත්ව යන්නක්හු මෙන් වස්තුවත් තමනුත් පිටත්කෙරෙමින් කිසිවක් නොතබා නිරවශේෂකොටම දන් දෙන්නාහුය. යම් හෙයකින් සර්වඥශීලාලඞ්කාරයෙන් සත්ත්‍වයන් සරහනු කැමැත්තහු විසින් පළමුකොට තමාගේ ශීලයම පිරිසිදු කටයුතුද, එසේහෙයින් සියලු සත්ත්‍වයන් කෙරෙහි යම්සේ ස්වප්නයෙනුත් ආඝාතයෙක් නූපදිනම්, එපරිද්දෙන් දයාපරසිත් ඇති විය යුත්තේය. පරොපකාරයෙහි නිරතබැවින් අනුන් සන්තක වස්තුව ආශීර්විෂයක්හු මෙන් නො ඇල්විය යුත්තේය. සප්තවිධ මෛථුන ධර්මසංයෝගයෙන් වැළකි බැවින් හා පරදාරගමනයෙන් කැලම වැලකි බැවින් අබ්‍රහ්මචරියාවෙනුදු දුරින් ම දුරු වේද, සත්‍යවූ හිතවූ ප්‍රියවූ පමණවූ ධර්මකථාව යුක්තප්‍රාප්ත කාලයෙහි කියන්නේ වේද, ලෝභී නොවේද, ද්වේෂී නො වේද, මිථ්‍යාදෘෂ්ටි නොගනීද, සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ විෂයෙහි පිහිටියාහු සැදෑ ඇත්තේ වේද, පිහිටියාවූ ප්‍රේමඇත්තේ වේද, මෙසේ සතර අපාය හා වෘත්තදුඃඛයෙන්ද, අකුශලකර්මපථයෙන් ද, වැළක ස්වර්ගමෝක්‍ෂ මාර්ගයෙහිද, කුශලකර්මපථයෙහිද, පිහිටියාවූ පිරිසිදු වූ අදහස් ඇත්තහුගේ කායවාක් ප්‍රයෝගයක් බැවින් සියලු සත්ත්‍වයන්ට හිතසැප එළවන්නාවූ මනොරථය මහබෝධිසත්ත්‍වයන්ගේ ප්‍රාර්ථනා වූ පරිද්දෙන් වහ වහාම සමෘද්ධවන්නේය.