සර්වඥයින් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන්ගේ සාරයත්, ඇතැම් ඒවායේ නිදානාදී විස්තරාදියත් අඩංගු වන්නේ දැන් පෙළ පොත් වශයෙන් හඳුන්වන ග්‍රන්ථවල බව ප්‍රකටය. ඒවා ධර්මවිනය විනිශ්චයකදී මූලික සාධක බව නොකිවමනාය. එම බුද්ධ දේශනාවන්ගේ අප්‍රකට අර්ථ දැක්වීමත්, සෙසු නිදානකථා, පද ගැලපීම්, උදාහරණ දැක්වීම් ආදියත් අඩංගු වන්නේ අටුවාවන්හි ය. ධර්මවිනය විනිශ්චයකදී මෙම අටුවාද අත්‍යාවශ්‍ය බව කරුණු සහිතව ඉහත දැක්වුවෙමු. ක්‍ෂීණාශ්‍රව උතුමන් වැඩසිටි අනුරාධපුර යුගයේදී පෙළ දහමට වගේම ප්‍රමුඛත්වයක් අටුවාවට ද ලැබුණු බව පැරණි කථා වස්තු වලින් ප්‍රකට වේ. ඒ සඳහා උදාහරණයක් ඉතා කෙටියෙන් මෙසේ දක්වමු.
ත්‍රිපිටකය කටපාඩමින් රැගෙන ආ ක්‍ෂීණාශ්‍රව උතුමන්ගේ පරම්පරාවේ ශ්‍රේෂ්ඨ පුරුකක් වූද, මෙරට වැඩසිටි ස්මෘතිමත් උතුමන් අතර ආශ්චර්යවත් මතකශක්තියකින් හෙබි උතුමෙකු යැයි ප්‍රකට වූ ද මහතෙරනමකි ත්‍රිපිටක චූළාභය මහඇදුරුපාණන් වහන්සේ. එතුමන්ගේ පැවිද්දේ මුල්කාලයේ, පෙළ දහම පමණක් හදාරා දරාගෙන එය භික්‍ෂූන් ඉදිරියේ සිංහලට පරිවර්තනය කොට බණ කීම පිණිස මහාවිහාරයෙහි රන් බෙරය නාද කරවූ සේක. නමුත් භික්‍ෂුසංඝයා “කවර ගුරුවරයෙකුගෙන් උගත් අර්ථ (අටුවා) ඇත්තේ ද? ඇදුරු පරම්පරාව ප්‍රකාශ නොකොට අර්ථ කියන්නට නොදෙමු” යැයි කියා එය වැලැක්වූහ. (මේ වන විට එතුමන් වහන්සේ සෝතාපන්නව සිටිබව ද දැක්වේ.) පසුව ඒ පුවත එතුමන්ගේ උපාධ්‍යායන් වහන්සේ දැනගෙන කරුණු විමසා අටුවා හැදෑරවීම පිණිස රුහුණට පිටත්කර යැවීය. මෙසේ එතුමන් වහන්සේ පසුව අති ශ්‍රේෂ්ඨ මහඇදුරුතුමෙක් වූ බව විශුද්ධිමාර්ගයේ කර්මස්ථාන නිර්දේශයේ දැක්වේ.
එබඳු විශිෂ්ට හැකියාවන්ගෙන් යුක්ත වූ ත්‍රිපිටක පෙළ දහම දරාගෙන සිටි ආර්යශ්‍රාවක උතුමෙකුට වුවත් අටුවා උගෙන නොතිබූ බැවින් බණ කීමට නොදීමෙන් එකල උතුමන් තුළ පැවති ධර්මගරුත්වය ද මනාව ප්‍රකට වේ. එමෙන්ම අටුවාවන්ට හිමිව තිබූ තත්වය ද ප්‍රකට වේ.
මෙකල ඇතැමුන් ත්‍රිපිටකයේ ඇතැම් ග්‍රන්ථ ප්‍රතික්‍ෂේප කරන්නේත්, අටුවා-ටීකා නොසලකා හරින්නේත් කුමන හේතු නිසාදැයි විමසන අපට පහත හේතු කීපය දක්නට ලැබිණි.
1. බුදුදහම තම ජීවිතයට හුරුකරගෙන සීල-සමාධි-ප්‍රඥා ගුණ ධර්ම වැඩීමේ අරමුණින් නොව, තමාගේ උගත්කම පෙන්වීම පිණිසත් උපාධි ආදී නම්බු නාම පිණිසත් දහම හැදෑරීම. ඇතැම් භික්‍ෂූන් වහන්සේලා ද දහම ප්‍රායෝගිකව හුරුකරනු වෙනුවට ගිහිජීවිතයේදී අත්හළ උපාධි - නම්බුනාම, කීර්ති-ප්‍රශංසා ලැබීමේ මාර්ගයක් ලෙස සලකා ධර්මය හැදෑරීම ඛේදයකි. මෙය අලගද්ද පරියත්තියක් වන බව ද සැලකීම වටී.
2. දහම හැදෑරීමේදී සිල්වත් ගුණවත් ශ්‍රද්ධාවත් ගුරුවරුන් ඇසුරු කරගෙන නොම හැදෑරීම.
3. ඇතැම්හු අභිධර්මාදී ගැඹුරු දහම් කොටස් ද අටුවා - ටීකාදී ග්‍රන්ථ ද ප්‍රතික්‍ෂේප කරන්නේ ඒවා තමාට නොතේරෙන බැවිනි. නැතිනම් ඒවායේ අර්ථ ගන්නා ක්‍රමය නොදන්නා බැවිනි. ඇතැම්හු තමා කරන වැරදි වසා ගැනීමට ද ඇතැම් දහම් කොටස් ප්‍රතික්‍ෂේප කරති. ඇතැම්හු තමාට ඇති මානසික රෝගයක් නිසා ද එසේ කරති. ඇතැම්හු වෙනස් අදහසක් ලොවට කියා පා ප්‍රසිද්ධ වීමේ පවිටු අදහසිනුත් එසේ කරති. මේ සැමෙකකින්ම මහා අනර්ථයක් තමාටත් ලෝකයාටත් සිදුවන බව සලකා නුවණැතිව කටයුතු කිරීමට සැවොම අදිටන් කර ගනිත්වා.
4. පාලි භාෂාව පිළිබඳ නොසලකා සිංහලෙන් පමණක් දහම හැදෑරීමට යොමුවීම හා පාළි භාෂාව හැදෑරුව ද ප්‍රමාණවත් දැනුමක් නැති බව. සිංහල පරිවර්තන වල ඇත්තාවූ ද පාළි ශබ්දකෝෂ වල ඇත්තාවූ ද බොහොමයක් ම අර්ථ අටුවා-ටීකාවන්හි විස්තර කර ඇති වචනාර්ථ බව බොහෝ දෙනා නොදැන සිටීම.
5. තමා මෙම අටුවාදී ග්‍රන්ථ පරිශීලනය නොකොට උගතුන් යැයි සම්මත වෙන කවුරුන් හෝ කියූ කරුණක් නිසා එම ග්‍රන්ථ නොවිමසාම බැහැර කිරීමාදී ප්‍රඥාගෝචර නොවන ක්‍රියා නිසා.
6. අවම වශයෙන් නිසෙන් මිදීමට අවශ්‍ය අවම සුදුසුකම් වත් නැති භික්‍ෂූහු දහම්දෙසීම් ග්‍රන්ථරචනාදියට යොමු වීම.
7. ගැඹුරින් දහම සෙවීමට ඇති උනන්දුවේ අඩුකම.
8. අවුරුදු දහස් ගණනක් පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන පැමිණි මෙම ධර්ම ග්‍රන්ථ සීතාවක, මහනුවර යුග වැනි ඇතැම් කාල වලදී එතරම් උගත් කමක් නැති අය අතින් ද පිටපත් වීම සිදුවිය. එබඳු අවස්ථා වලදීත් ප්‍රමාද ලිඛිත ආදී වශයෙනුත් නම් ගම් ආදී වූ දහම් කරුණු වශයෙන් එතරම් වැදගත් නොවන ඇතැම් කරුණු වල සුළු සුළු වෙනස්කම් ග්‍රන්ථ අතර පැවතිය හැකි වුවත් එමෙන් සියදහස් ගුණයකටත් වඩා වැඩි වූ එම ග්‍රන්ථයේ සඳහන් නිවැරදි කරුණු වල අගය නොසලකා හැරීම. එමෙන්ම පවතින ඉතා සුළු වූද එම වැරදි පමණක් ඉස්මතුකර දැක්වීම. (මෙසේ වැරදි යැයි සලකන බොහෝවක් ද කරුණු නිවැරදිව තේරුම් නොගැනීම නිසා වූ වැරදි වැටහීම් බව ද දතයුතුය.)
9. ධර්මය විකෘතිකිරීමේ ආදීනව පිළිබඳ බොහෝ දෙනෙකුට අවබෝධයක් නොතිබීම. ඒ පිළිබඳ අමතර තොරතුරු රේරුකානේ චන්දවිමල මාහිමියන්ගේ අභිධර්මයේ මූලික කරුණු හා පටිච්චසමුප්පාද විවරණය යන ග්‍රන්ථයන්ගේ අග දැක්වේ.
10. බොහෝ කාලයක් මෙරට විදේශීයයන්ට නතුව පැවතීමෙන් දහම හැදෑරීමේ පුරාණ සම්ප්‍රදාය ගිලිහීයාම හේතුවෙන් නිවැරදිව පෙළ-අටුවා-ටීකා අනුසාරයෙන් දහම හදාරන්නේ කෙසේ ද යන බව බොහෝ දෙනා නොදැන සිටීමත්, එම ක්‍රමය හෝ එහි වටිනාකම දක්වන ග්‍රන්ථ සුලභ නොවීමත් තවත් කරුණකි.
11. මෙම වැරදි මත ඛණ්ඩනය කරමින් ඉතා වටිනා ලිපි පලවී ඇතත් ඒවා ඇතැම් විට වෙනම ග්‍රන්ථ ලෙස නොලියවීම නිසා ඒවා එතරම් අවධානයට ලක් නොවීම ද අවාසනාවකි. බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථයන්ගේ සඤ්ඤාපන ලෙස ලියැවුණු ලිපි ඒ අතර ප්‍රධාන වේ. විශේෂයෙන්ම එහි විනය පිටක මහාවග්ග පාලි පළමු ග්‍රන්ථයේ සඤ්ඤාපනය කියවන්නේ නම් ඉහත වැරදි මත බොහෝමයකට පිළිතුරු ලැබෙනු ඇත.
12. මෙම ත්‍රිපිටකය හා අටුවා ද කටපාඩමින් ධරාගෙන පැමිණියේත් අටුවාවන්හි පැමිණෙන ආචාර්යමත ඉදිරිපත් කලේත් අප වැනි අය නොව විශ්මයජනක මතකයක් තිබුණු සති වේපුල්ලප්පත්ත (සතියේ උපරිම තත්වයට පැමිණි) රහත් උතුමන් බව බොහෝ දෙනා නොදනිති. පෙරදින කළ කී දෙයවත් හරිහැටි සිහිකළ නොහැකි මෙකල සිටින්නෝ එම උතුමන්ව සැක කිරීම විහිළුවකි. එකල උතුමන්ගේ විශ්මිත මතකය ආදී කරුණු දැන ගැනීමට විශුද්ධිමාර්ගයේ කම්මට්ඨානගහණනිද්දේසයේ එන කරුළියගිරිවාසීනාගත්‌ථේර, මජ්ඣිමභාණකදේවත්ථේර යන උතුමන්ගේත් දීඝනිකාය අටුවාවේ (365 පිටුවේ) එන මහාගතිම්බ අභය, දීඝභාණක අභය, ත්‍රිපිටක චූලාභය යන උතුමන්ගේත් කථාවස්තු කියවීම වටී. දැනගැනීම පිණිස එම කථාවස්තු කීපයක් කෙටියෙන් මෙසේ දක්වමු.
I. මජ්ඣිමභාණක දේව තෙරුන් වහන්සේ මලියදේව තෙරුන් වහන්සේ වෙත පැමිණ කමටහන් ඉල්ලූ සේක. “ඇවැත්නි! ඔබ වහන්සේ පරියත්තියෙහි කෙබඳු කෙනෙක්ද?” යැයි මලියදේව තෙරුන් විසින් විමසනු ලදුව “ස්වාමීනි! මට මජ්ඣිමනිකාය ප්‍රගුණයි” යැයි මජ්ඣිමභාණක දේව තෙරුන් වහන්සේ පිළිතුරු දුන් සේක. එවිට “ඇවැත්නි! මජ්ඣිමනිකාය පරිහරණය (මතකයේ රඳවා ගැනීම) අපහසුය. මූලපණ්ණාසකය සජ්ඣායනා කරද්දී මජ්ඣිම පණ්ණාසකය (සජ්ඣායනා කළයුතු කාලය) පැමිණෙන්නේය, එය සජ්ඣායනා කරද්දී උපරි පණ්ණාසකය (සජ්ඣායනා කළයුතු කාලය) පැමිණෙන්නේය, ඔබ වහන්සේට කමටහනක් (වැඩීමට කාලයක්) කොයින්ද?” යැයි මලියදේව තෙරුන් විමසූ විට “ස්වාමීනි! ඔබ වහන්සේගෙන් කමටහනක් ලබාගෙන නැවත මජ්ඣිමනිකාය නොබලන්නෙමි” යැයි මජ්ඣිමභාණක දේව තෙරුන් වහන්සේ පිළිතුරු දුන් සේක. ඉන්පසු වසර දහනවයක් සජ්ඣායනා නොකර අඛණ්ඩව කමටහන් වඩා විසිවැනි වර්ෂයේදී උතුම් අරිහත්වය සාක්‍ෂාත් කළ සේක. ඉන් පසු සජ්ඣායනාව පිණිස පැමිණි භික්‍ෂූන්ට “ඇවැත්නි! මම වසර විස්සකින් පරියත්තිය නොබැලුවෙමි. එහෙත් මම මේ මජ්ඣිමනිකාය ප්‍රගුණ කර ඇත්තෙමි. අරඹනු මැනවි” යැයි කියා පටන් ගත් සේක. උන් වහන්සේට මුළ පටන් අග දක්වාම (මෙය වරදීද යනුවෙන්) එකම වචනයකවත් සැකයක් නොවීය.[1]
II. කරුළියගිරිවාසී නාග තෙරුන් වහන්සේ ද වසර දහඅටක් පරියත්තිය අත්හැර සිට භික්‍ෂූන්ට ධාතුකථාප්පකරණය ඉගැන්වූ සේක. ඒ ශිෂ්‍ය භික්‍ෂූහු තමන් උගත් දේ ග්‍රාමවාසී තෙරවරුන් හා සසඳන්නාහු එකම ප්‍රශ්ණයක්වත් පිළිවෙළ මාරුවී උගන්වා තිබීමක් නොදැක්කාහ.[2]
III. මහාගතිම්බය අභය තෙරුන් වහන්සේ උපත ලබා පස්වැනි දිනයේදී, මංගල කිරිබතේ හොට ගසන්නට සූදානම් වන කපුටෙකු දැක ‘හුං හුං’ යැයි ශබ්ද කලේය. පසුව උන් වහන්සේ ස්ථවිර කාලයේදී භික්‍ෂූන් විසින් “ස්වාමීනි! කවදා පටන් කළ කී දෑ සිහිකළ හැකිද?” යැයි විමසූ විට “ඇවැත්නි! ඉපදී පස්වැනි දිනයේදී කළ ශබ්දයේ පටන් සියල්ල සිහිකළ හැකියි.” යනුවෙන් පිළිතුරු දුන් සේක.[3]
IV. දීඝභාණක අභය තෙරුන් වහන්සේ උපත ලබා නව වන දිනයේදී උන් වහන්සේගේ මවුතුමිය තම දරුවාව සිඹින්නට පහත් වෙද්දී ඇගේ හිස පැළඳ සිටි මල්කලඹ ලිහුණේය. එයින් මල් ලාහක් පමණ දරුවාගේ (දීඝභාණක අභය තෙරුන් වහන්සේගේ) පපුවට වැටුනේය. එයින් වේදනාවක් උපන්නේය. පසුව උන් වහන්සේ ස්ථවිර කාලයේදී භික්‍ෂූන් විසින් “ස්වාමීනි! කවදා පටන් කළ කී දෑ සිහිකළ හැකිද?” යැයි විමසූ විට “ඇවැත්නි! ඉපදී නවවැනි දිනයේදී ඒ වේදනාව දැනුණු තැන් පටන් සියල්ල සිහිකළ හැකියි.” යනුවෙන් පිළිතුරු දුන් සේක.[4]
V. ත්‍රිපිටක චූළාභය තෙරුන් වහන්සේගෙන් “ස්වාමීනි! කොපමණ දෑ සිහිකළ හැකිද?” යැයි භික්‍ෂූන් විසින් විමසූ විට “ඇවැත්නි! අනුරාධපුර රාජධානියේ ප්‍රධාන දොරටු හතරෙන් තුනක් වසා එක දොරටුවකින් සියලු මිනිසුන් පිට වන්නට සලස්වා ‘නුඹගේ නම කුමක්ද? නුඹගේ නම කුමක්ද?’ යැයි එකිනෙකාගෙන් විමසා හවස නැවත නොවිමසාම රාජධානියේ සිටින ඒ සියලු දෙනාගේම නම් නිවැරදිව කීමට හැකියි.” යනුවෙන් පිළිතුරු දුන් සේක.[5]
ඉහත කරුණු අනුව දහම රැකගෙන පැමිණි පුරාණ උතුමන්ගේ තත්වය සලකාගත හැකිය. තවද පෙළ දහම ධරාගෙන පැමිණියේත් අටුවා ධරාගෙන පැමිණි උතුමන්මය. අටුවා වෙනස් කළා යැයි කියනවා නම් පෙළ දහමද වෙනස් කළ හැකිව තිබිණි. ඒ උතුමෝ සිහිනෙකින්වත් ඒවා දැන දැන වෙනස් නොකරන බව නම් ස්ථිරය. තවද දැන් සිටින සියලු භික්‍ෂූන්ට පැවිදි උපසම්පදාවන් ලැබුණේ ද ඒ උතුමන් වෙතින් බවද සිහිකරනු වටී.
13. ඇතැමුන් පවසන්නේ යමක් පෙළේ නැතිනම් එය බුද්ධභාෂිතයැයි පිළිගත නොහැකි බවයි. සියලු බුද්ධභාෂිත පෙළේ අඩංගු නොවන බවට කරුණු පෙර දැක්වුවෙමු. පෙළේ නැති නමුත් බුදුරජාණන් වහන්සේ විසින්ම දෙසූ දහම් පාඨ ඕනෑතරම් අටුවාවලින් සොයාගත හැක. ආවුසෝවාදයෙන් වැඩිහිටියන් ඇමතීම නොකළ යුතුයි දක්වන පරිවාර අටුවා පාඨය, ආනන්දබෝධිය රෝපනයට අවසර ලබාදීම ආදී අවස්ථා ඊට උදාහරණ වෙත්. තවද රතනසූත්‍රාදියත්, ධම්මපද ගාථාදියත් දෙසීමට පෙර වෙන කිසිම සංවාදයක් බුදුරජුන් එම ශ්‍රාවක පිරිස හා සිදු නොකළේ යැයි කියන්නේ නම් එය ද විහිළුවකි. ඒ දේශනාවන් සිදුකිරීමට හේතු ආදිය ඇත්තේ අටුවාවේය. තවද සියලු සුභාෂිත බුද්ධභාෂිත වේ යැයි අංගුත්තර අට්ඨකනිපාතයේ උත්තරවිපත්ති සූත්‍රයේ දැක්වෙන පහත සඳහන ද සලකා බලනු වටී.
‘‘එවමෙවං ඛො, දෙවානමින්‌ද, යං කිඤ්‌චි සුභාසිතං සබ්‌බං තං තස්‌ස භගවතො වචනං අරහතො සම්‌මා සම්‌බුද්‌ධස්‌ස. තතො උපාදායුපාදාය මයඤ්ච අඤ්ඤෙච වදාම. (එසේම දෙව්රජතුමනි! යම්කිසි සුභාෂිතයක් වේ නම් ඒ සියල්ල ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ වචනයකි. ඒ බුද්ධවචනයෙන් රැගෙන අන්‍යයෝත් අපිත් දේශනා කරමු). යනු එහි අරුතයි.
14. දහමට සම්බන්ධ යමක් ශ්‍රද්ධාවෙන් පිළිගැනීම මෝඩකමකැයි වර්තමානයේ ඇතැමුන් අතර තිබෙන දුර්මතය ද මෙසේ වැරදි මත පැතිරීමට එක් හේතුවකි. “දහම පිලිබඳ මධ්‍යස්ථ මත” යැයි පවසමින් සත්‍ය කණපිට පෙරලීම හෝ නැති වැරදි පෙන්වීම හෝ සැබෑ මධ්‍යස්ථ බව නොවන බව ද ඒ අය තේරුම් ගන්නේ නම් යහපති. අපට විෂයවන දේ පමණක් පිළිගැනීමට සිටියහොත් බුදු දහමේ පමණක් නොව වෙනත් විෂයන් වලද බොහෝ කොටස් බැහැර කළ යුතු වේ. ඒවා හැදෑරීමට ද හැකි නොවේ. වෙනත් ශාස්ත්‍රාදිය ඉගෙනීම ආරම්භ කරන්නේ ද ඒ සියල්ල ප්‍රත්‍යක්‍ෂ කරගෙන නොවේ. කර්මවිපාකාදී ඇතැම් කරුණු අපට සම්පූර්ණයෙන් විෂය නොවන බව අචින්තෙය්‍ය සූත්‍රාදියේදී බුදුරජුන්ම වදාරා තිබේ. ආරම්භයේදී බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් ශ්‍රාවක උතුමන් කෙරෙහිත් ශ්‍රද්ධාව පිහිටුවා ගෙන ධර්මය පිළිපැදීමෙන් එහි සත්‍ය අසත්‍ය තමන්ටම දතහැකි වනු ඇත.
තවද ග්‍රන්ථ කර්තෘවරු ධර්ම ග්‍රන්ථ වල වැරදි සෙවීමට උත්සුක වීම වෙනුවට ඒවායින් ප්‍රයෝජන ගන්නා ආකාරය පිළිබඳ පොත් ලියන්නේ නම් එය පාඨකයාගේ ශ්‍රද්ධාදී ගුණ වර්ධනයට ඉවහල් වේ. වැරදි දැක්වීමෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාව අඩුවීම හැර කුමන ලාභයක් වන්නේදැයි සිතා බලනු වටී. මෙය තම මවගේ බොහෝ ගුණ තිබියදී ශරීරයේ ඇති කුඩා ලප කැළලක් නිසා මවට නිගා කිරීම වැනි අනුවණකමකැයි සිතිය යුතුය. එයින් තමාටත් අනුන්ටත් ලැබෙන්නට තිබෙන පිහිට ද අහිමි වේ.
ඇතැම්හු සිතන්නේ මෙකළ මගඵල ලාභීන් අඩුවීමට හේතුව දහමේ අර්ථ අතීතයේදී වැරදීම නිසා බවයි. කිසිසේත් එබන්ඳක් වී නොමැත. මගඵල ලාභීන් අඩුවීමට ප්‍රධානම හේතුව නිවරදිව පිළිවෙත් පුරන භික්‍ෂූන් අඩු වීමයි. සීලාදී ප්‍රතිපත්ති නොපුරන ඇතැම්හු විදර්ශනා කරමු යැයි කියමින් උත්සාහ කළ ද ඉන් ප්‍රතිඵල නොලැබෙන බව දත යුතුය. එසේම නිවරදිව පෙළ - අටුවා - ටීකා අනුව සීලාදී පිළිවෙත් ගෞරවයෙන් පුරන උතුමන් අතර මෙකලත් ප්‍රතිඵල ලාභීන් සිටින බව ද දතයුතුය. පෙළ - අටුවා - ටීකාදී ධර්ම ග්‍රන්ථ පිළිබඳවත් භාවනාක්‍රම ගැනත් සැක ඉපදවීමෙන් වන්නේ භාවනා වශයෙන් එම දහම වැඩීමට බලාපොරොත්තු වන ආධුනිකයින් ද නොමග යාමයි. එයින් ඇතැම් අය ශ්‍රද්ධාව අඩු වී සිවුරු හැරයාමට ද හැකිය. මිසදිටු ගැනීමට ද හැකිය. එබැවින් මෙම විවේචන නවත්වා සෑම දෙනාම ව්‍යක්ත විශාරද ප්‍රතිපත්තිකාමී ගුරු උතුමන් හමුවේ ධර්මය හා භාවනා ක්‍රම හදාරා ඒවා නිවැරදිව පිළිපැද බලත්වා යනු අපගේ ආරාධනයයි. එසේ නිවැරදිව පිළිවෙත් පුරන පිරිසක් බිහි වී මේ ලක්දිව නැවතත් ධ්‍යාන - අභිඤ්ඤා - මාර්ගඵල ලාභී උතුමන්ගෙන් ගැවසීගත් ධර්මද්වීපයක් වේවා යනු අපගේ පැතුමයි.
චිරං තිට්‌ඨතු ලොකස්‌මිං, සම්‌මාසම්‌බුද්‌ධසාසනං!
සම්බුදු සසුන ලොව බොහෝ කල් පවතීවා!
සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා!
සියලු සත්වයෝ සුවපත් වූ ආත්ම ඇත්තෝ වෙත්වා!