අටුවාව දැනගැනීමේ ඇති වැදගත්කම පිළිබඳ පෙළෙහි දැක්වෙන උදෘත කීපයක් මෙසේ දක්වමු.

1. ‘‘සගාරවො වුඩ්‌ඪතරෙසු භික්‌ඛුසු; ආචෙරකම්‌හි ච සකෙ විසාරදො;

අලං පමෙතුං පගුණො කථෙතවෙ; පච්‌චත්‌ථිකානඤ්‌ච විරද්‌ධිකොවිදො.

වැඩිමහලු මහණුන් කෙරෙහි ගෞරව සහිත වූයේ වාසය කරයි. ස්වකීය ආචාර්යවාදයෙහි විශාරද වෙයි. ඒ ඒ කරුණු නුවණින් ප්‍රමාණ කරන්නට (විනිශ්චය කරන්නට) සමර්ථ වෙයි. කියයුත්තෙහි කළ පරිචය ඇත්තේ වෙයි. පසමිතුරන් (වැරදි මතධාරීහු) වැරැද්ද වූ තැන් දැක්මෙහි දක්ෂ වෙයි. [1]

2. ‘‘ද්‌වෙමෙ, භික්‌ඛවෙ, ධම්‌මා සද්‌ධම්‌මස්‌ස සම්‌මොසාය අන්‌තරධානාය සංවත්‌තන්‌ති. කතමෙ ද්‌වෙ? දුන්‌නික්‌ඛිත්‌තඤ්‌ච පදබ්‍යඤ්‌ජනං අත්‌ථො ච දුන්‌නීතො. දුන්‌නික්‌ඛිත්‌තස්‌ස, භික්‌ඛවෙ, පදබ්‍යඤ්‌ජනස්‌ස අත්‌ථොපි දුන්‌නයො හොති. ඉමෙ ඛො, භික්‌ඛවෙ, ද්‌වෙ ධම්‌මා සද්‌ධම්‌මස්‌ස සම්‌මොසාය අන්‌තරධානාය සංවත්‌තන්‌තී’’ති.

මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් සද්ධර්මයාගේ විනාශය පිණිස අතුරුදන්වීම පිණිස පවත්නාහ. කවර දෙදෙනෙක් ද යත්: උපිලිවෙලින් වරදවා ගත් (පද පිළිවෙල මාරුකර ගත්) පෙළ ද වරදවා පෙරළා ගත් (පරිවර්තනය කළ) අටුවා ද යන දෙකය. යනු එහි තේරුමයි. [2]

3. ‘‘ඉධාවුසො සාරිපුත්‌ත, භික්‌ඛු අත්‌ථකුසලො ච හොති, ධම්‌මකුසලො ච, බ්‍යඤ්‌ජනකුසලො ච, නිරුත්‌තිකුසලො ච, පුබ්‌බාපරකුසලො ච. එත්‌තාවතා ඛො, ආවුසො සාරිපුත්‌ත, භික්‌ඛු ඛිප්‌පනිසන්‌ති ච හොති කුසලෙසු ධම්‌මෙසු, සුග්‌ගහිතග්‌ගාහී ච, බහුඤ්‌ච ගණ්‌හාති, ගහිතඤ්‌චස්‌ස නප්‌පමුස්‌සතී’’ති.

ආයුෂ්මත් ශාරිපුත්‍රයෙනි, මේ සසුනෙහි භික්ෂුවක් අර්ථයෙහි (අටුවාවෙහි) ද දක්ෂ වෙයි. පාළි ධර්මයෙහි ද දක්ෂ වෙයි. නිරුක්ති වචනයෙහි ද දක්ෂ වෙයි. පුර්ව අපරය ගැලපීමෙහි ද දක්ෂ වෙයි. ආයුෂ්මත් ශාරිපුත්‍රයෙනි, මෙපමණකින්ම භික්ෂුවක් කුසල ධර්මයෙහි ඉක්මණින් අසා නිවැරදිව දරන්නේද, මනාව ඉගෙන ගන්නේද, බොහෝ ඉගෙන ගන්නේද, ඉගෙන ගත් දෙය නොනැසී පවත්නේ ද වන්නේය. යනු එහි තේරුමයි.[3]

අත්‌ථකුසලොති අට්‌ඨකථාය ඡෙකො. ධම්‌මකුසලොති පාළියං ඡෙකො. (අත්ථකුසලො යනු අටුවාවෙහි දක්‍ෂ යනාර්ථයි, ධම්මකුසලො යනු පෙළෙහි දක්‍ෂ යනාර්ථයි.) (අං.නි.අටුවා)

  1. බුද්ධජයන්ති මහවග 2 හි 893 පිටුව - 71 වන ගාථාව

  2. බුද්ධජයන්ති-අංගුත්තර නිකාය 1- 116-117 පිටු-20 ඡේදය

  3. බුද්ධජයන්ති-අංගුත්තර නිකාය 3.-ඛිප්පනිසන්ති සු. 326,327 පිටු