බුදුගොස් ඇදුරිඳු ගැන පුරාණ ශ්‍රේෂ්ඨ උතුමන්ගේ අදහස් කිහිපයක්...

1.

සමන්‌තපාසාදිකසඤ්‌ඤිතාය; සම්‌බුද්‌ධඝොසාචරියොදිතාය;

සමාසතො ලීනපදෙ ලිඛිස්‌සං; සමාසතො ලීනපදෙ ලිඛීතං.

(බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේ විසින් මනාව රචිත සමන්තපාසාදිකා නම් වූ අටුවාවේ අපැහැදිලි පද කෙටියෙන් ලියන්නෙමි.) යැයි වජිරබුද්ධි ටීකාව රචනා කළ වජිරබුද්ධි ඇදුරුපාණෝ දැක්වූ සේක.

2. අනාකුලවචනො ච භදන්‌තබුද්‌ධඝොසාචරියො. න හි සො එවමාකුලං කත්‌වා වත්‌තුමරහති, තස්‌මා යථාධිප්‌පෙතමත්‌ථමනාකුලං සුවිඤ්‌ඤෙය්‍යඤ්‌ච කත්‌වා යථාඨිතස්‌ස සම්‌බන්‌ධවසෙනෙව දස්‌සයිස්‌සාම.

(බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේ ආකූල වචන නැති උතුමෙකි. .......)

යනුවෙන් සාරත්ථදීපනීටීකාව රචනා කළා වූ ද පොළොන්නරු යුගයේදී ලක්දිව ප්‍රඥාවෙන් බැබළුණා වූ ද සාරිපුත්ත සංඝරාජයන් වහන්සේ දක්වන සේක.

3. සමන්‌තපාසාදිකායං විනයසංවණ්‌ණනායං මහාවෙය්‍යාකරණස්‌ස පාළිනයවිදුනො බුද්‌ධඝොසාචරියස්‌ස එවං සද්‌දරචනා දිස්‌සති...

(සමන්තපාසාදිකා විනය සංවර්ණනාවෙහි මහාව්‍යාකරණඥ වූ පාළි න්‍යායන්හි දක්ෂ වූ බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේගේ මෙසේ ශබ්දරචනාවක් පෙනේ. ) යැයි සද්දනීති වියරණය නිපද වූ තෙවැනි අග්ගමහාපණ්ඩිත අග්ගවංස ඇදුරුපාණෝ දක්වන සේක.

4. එකල විශුද්ධ බුද්ධීන් ප්‍රසිද්ධ වූ බුද්ධඝෝස නම් අටුවා කර්‍තෲන් වහන්සේ දඹදිවින් මෙරට වැඩි සේක්, බුදුන් වදාල දෙලක්‍ෂ පන් සැත්තෑදහස් දෙසීය පනස් ග්‍රන්ථ සංඛ්‍යාවක් ඇති ත්‍රිපිටක පාළි ධර්මයට තුන් ලක්‍ෂ එක් සැටදහස් සත්සිය පනස් ග්‍රන්ථ සංඛ්‍යාවක් පමණ අටුවා ලියා, පාළි ධර්ම බැබැළ වූ සේක. (නිකායසංග්‍රහය 71 පිටුව)

යැයි නිකායසංග්‍රහය නම් සාසන ඉතිහාසය දැක්වෙන ග්‍රන්ථය රචනා කළ දෙවැනි (ජයබාහු) ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේ දක්වන සේක.

5. ඔහු මල් මහානාම නම් රජ දෙවිසි හවුරුද්දක් රාජ්‍යය කෙළේය. එකළ බුද්ධඝෝෂ නම් අටුවා කර්‍තෲන් වහන්සේ දඹදිව සිට මේ ශ්‍රී ලංකාද්වීපයට වැඩ බුදුන් වදාල දෙලක්‍ෂ පන් සැත්තෑදහස් දෙසීය පනස් ග්‍රන්ථ සංඛ්‍යාවක් ඇති ආගමයට තුන් ලක්‍ෂ එක් සැටදහස් සත්සිය පනස් ග්‍රන්ථ සංඛ්‍යාවක් පමණ අටුවා කථා ලියා ආගමයෙහි පහන් නැගූ සේකැයි දතයුතු. (පූජාවලිය 778 පිටුව)

යැයි පූජාවලිය රචනා කළ මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍රයන් වහන්සේ දක්වන සේක.

6. නුවර යුගයේදී අන්තයටම පිරිහී තිබුණු සාසනය නැවතත් පිහිටුවීම පිණිස අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළා වූ ද අවවාදයෙන් පමණක් නොව ආදර්ශයෙනුත් ත්‍රිවිධ සාසනයම දියුණු කිරීමට කැප වුනා වූ ද බෝධිසත්ව ගුණෝපේත අසරණ සරණ සරණංකර සඞ්ඝරාජයන් වහන්සේ බුදුරජාණන් වහන්සේටත් බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේටත් වන්දනා කරන්නේ මෙසේය.

සකලසුරනරානං චුම්බිතං මොලිපාදං

සකලනරසුරානං ධම්මසඞ්ඛං ධමන්තං

සකලනරසුරානං සබ්බදුක්ඛං හනන්තං

සකලනරසුරානං සෙඛරං තං නමාමි

(සියලු දෙව්මිනිසුන්ගේ හිස්මුදුණින් සිඹිනාලද පාද ඇත්තා වූ, සියලු දෙව්මිනිසුන්ට දහම් සක පිඹින්නා වූ, සියලු දෙව්මිනිසුන්ගේ සියලු දුක් නසන්නා වූ සියලු දෙව්මිනිසුන් අතර මුදුන් මල්කඩ වූ භාග්‍යවතුන් වහන්සේ මම නමදිමි.)

සො බුද්ධරාජසුගතො සකලාය අත්ථං

දෙසෙසි ධම්මමමතං පිටකත්තයං යං

තං තන්තිධම්මසකලං විවිධෙය්‍ය අත්ථං

ජොතෙසි සො නමථ තං මුනිබුද්ධඝොසං ‍රද අවවාදයෙන් පමණක් නොව ආදර්ශයෙ

(ඒ බුද්ධරාජ සුගතයින් වහන්සේ සියලු දෙනාගේ යහපත පිණිස ත්‍රිපිටක සංඛ්‍යාත යම් දහම් අමාවක් දේශනා කළ සේක් ද, ඒ බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේ විශේෂයෙන් එම ධර්මයේ අර්ථ විධානකොට එය බැබළවූහ. ඔබ සියලු දෙනා එම බුද්ධඝෝෂ මුනිතුමන් වන්දනා කරවු)[1]

  1. සාරාර්ථදීපනී සතර බණවර සන්නය 25 පිටුව - (අත්තුඩාවේ සිරි රාහුල මාහිමි)