සිංහල පරිවර්තන වල අපට හමුවූ වැරදි කීපයක්

1. ‘‘කතමො ච, භික්‌ඛවෙ, පුග්‌ගලො සද්‌ධානුසාරී? ඉධ, භික්‌ඛවෙ, එකච්‌චො පුග්‌ගලො යෙ තෙ සන්‌තා විමොක්‌ඛා අතික්‌කම්‌ම රූපෙ ආරුප්‌පා තෙ න කායෙන ඵුසිත්‌වා විහරති, පඤ්‌ඤාය චස්‌ස දිස්‌වා එකච්‌චෙ ආසවා පරික්‌ඛීණා හොන්‌ති,..... (කීටාගිරි සූත්‍රය - ඡට්ඨසංගායනා සංස්කරණය)

මේ කීටාගිරි සූත්‍රයේ සද්ධානුසාරී යන පදය විස්තර කළ අයුරුයි. එහි තේරුම “මහණෙනි, සද්ධානුසාරී පුද්ගලයා යනු කවරෙක් ද? මහණෙනි මේ සාසනයෙහි ඇතැමෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරුප්‍ය (අරූප) වූ යම් ශාන්ත විමෝක්‍ෂයන් ඇත්ද, ඒවා නාමකයින් ස්ඵර්ශ කොට නොවෙසෙයි. එසේම ඔහු විසින් ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍ය දැක ඇතැම් ආශ්‍රව ක්‍ෂය කරන ලද්දාහු ද වෙති....” යන්නයි. ඉහත කළු අකුරින් දැක්වූ පාඨය වෙනුවට සිංහල පරිවර්තනයේ ඇත්තේ “ඔහු විසින් ප්‍රඥායෙනුදු සිවුසස් දැක ආශ්‍රව ක්‍ෂය කරන ලද්දාහු නොවෙති” යනුවෙනි.

මෙසේ වීමට හේතුව ඇතැම් සිංහල අකුරෙන් ලියැවුණු පාළි පොත් වල මෙම පාළි පාඨය වැරදීමකින් “පඤ්‌ඤාය චස්‌ස දිස්‌වා ආසවා අපරික්‌ඛීණා හොන්ති” යැයි වැටී තිබීමයි. නමුත් තායි හා බුරුම පොත් වල එය නිවැරදිව දක්වා ඇත. මේ ලක්දිව බොහෝ කාලයක් (සීතාවක, මහනුවර යුග වලදී) අවියත් ලේඛකයන් අතින් මෙම පොත් ලියැවීම ඊට හේතුවයි. එය හයවැනි සංගායනාවේදී නිවැරදි කර ඇති අයුරු දැකගත හැකිය. මෙම වැරදි පාඨය අනුව අරුත් කියුව හොත් ශ්‍රද්ධානුසාරී උතුමෙක් යනු ආශ්‍රව ක්‍ෂය නොකළ, තාමත් මාර්ගඥාන නොලැබූ කෙනෙකැයි අර්ථය ලැබේ. මාර්ගඥානයේදී ආශ්‍රව ක්‍ෂය වන බව දක්වා ඇති බැවිනි. නමුත් ශ්‍රද්ධානුසාරී උතුමෙක් යනු ඇතැම් ආශ්‍රව ක්‍ෂය කළ සෝතාපන්න මාර්ග අවස්ථාවේදී ශ්‍රද්ධා ඉන්‍ද්‍රිය බලවත් වූ මාර්ගස්ථ ආර්යන් වහන්සේ කෙනෙක් බව ඉතා පැහැදිලිව “අනිච්‌චතො මනසිකරොතො සද්‌ධින්‌ද්‍රියං අධිමත්‌තං හොති, සද්‌ධින්‌ද්‍රියස්‌ස අධිමත්‌තත්‌තා සොතාපත්‌තිමග්‌ගං පටිලභති; තෙන වුච්‌චති – ‘‘සද්‌ධානුසාරී’’.... යෙ හි කෙචි සද්‌ධින්‌ද්‍රියස්‌ස වසෙන සොතාපත්‌තිමග්‌ගං පටිලභන්‌ති, සබ්‌බෙ තෙ සද්‌ධානුසාරිනො..” (අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නහුට ශ්‍රද්ධා ඉන්‍ද්‍රිය අධික වෙයි, ශ්‍රද්ධා ඉන්‍ද්‍රිය අධික වීමෙන් සෝතාපත්ති මාර්ගය ලබයි. එබැවින් ශ්‍රද්ධානුසාරී යැයි කියනු ලැබේ. යම් කිසිවෙක් ශ්‍රද්ධා ඉන්‍ද්‍රියගේ වශයෙන් සෝතාපත්ති මාර්ගය ලබයි ද ඒ සියලු දෙනා ශ්‍රද්ධානුසාරීහුය) යි පටිසම්භිදාමග්ගයේදී වදාරා ඇත. එකරුණ “යො භික්‌ඛු ...... සද්‌ධං ධුරං කත්‌වා සොතාපත්‌තිමග්‌ගං නිබ්‌බත්‌තෙති, සො මග්‌ගක්‌ඛණෙ සද්‌ධානුසාරී නාම හොති” (යම් භික්‍ෂුවක් ශ්‍රද්ධාව ධුරය කොට සෝතාපත්ති මාර්ගය උපදවාද, උන් වහන්සේ මාර්ගක්‍ෂණයෙහි ශ්‍රද්ධානුසාරී නම් වෙයි) යනාදී ලෙස සංයුක්ත නිකාය අටුවාදියෙහි ඉතා පැහැදිලිව දක්වා ඇත. එබැවින් නුවණැත්තෝ කරුණු විමසා ඉහත පාඨය නිවැරදි කර ගනිත්වා. එම සූත්‍රයේම ධම්මානුසාරී පදය සම්බන්ධව ද මෙම වරදම සිදු වී ඇත.

2. තත්‌ථ අම්‌බලට්‌ඨිකායං විහරතීති ...... අම්‌බලට්‌ඨිකාති එවංනාමකෙ පාසාදෙ පවිවෙකං බ්‍රෑහයන්‌තො විහරති. කණ්‌ටකො නාම ජාතකාලතො පට්‌ඨාය තිඛිණොව හොති, එවමෙවං අයම්‌පි ආයස්‌මා සත්‌තවස්‌සිකසාමණෙරකාලෙයෙව පවිවෙකං බ්‍රෑහයමානො තත්‌ථ විහාසි.[1]

ඉහත දක්වා ඇත්තේ කුඩා රාහුල සාමණේරයින් වහන්සේ තනිව ප්‍රාසාදයක වැඩසිටි ආකාරයයි. එම පාඨයේ පරිවර්තනය විය යුත්තේ මෙසේය. “අම්‌බලට්‌ඨිකායං විහරති යනු.... අම්බලට්ඨික යන නමින් යුතු ප්‍රාසාදයෙහි පවිවේකය වඩමින් වාසය කරන සේක. (ගසක) කටුව හටගත් දින පටන් තියුණුම වෙයි. මෙසේම මෙතුමන් වහන්සේ ද සත් වයස් සාමණේර කාලයේදීම පවිවේකය වඩමින් එහි වාසය කළ සේක.” යනුවෙනි.

නමුත් එම කලු අකුරින් දක්වා ඇති කොටස සිංහල පරිවර්තනයේ දක්වා ඇත්තේ “කණ්ටක නැමැත්තා උපන් කල පටන් තීක්‍ෂණය” යන කිසිම ගැලපීමක් නැති පාඨයකි. මෙම සිදුවීමට කණ්ඨක නැමැත්තෙකුගේ කිසිම සම්බන්ධයක් නැත. “කණ්ටක” යන පාළි පාඨයේ ප්‍රධාන හා මෙම ස්ථානයට ගැලපෙන අරුත වන “කටුව” යන්න පසෙක දමා කිසිම සම්බන්ධයක් නැති “කණ්ටක නැමැත්තා” යන අරුතක් ගැනීමෙන් විහිළු අරුතක් ලැබී ඇත. මීට අදාල ටීකාවේ “තිඛිණොව හොති, න තස්‌ස තිඛිණභාවො කෙනචි කාතබ්‌බො සභාවසිද්‌ධත්‌තා” (තිඛිණොව හොති යනු ඒ කටුවේ තියුණු බව ස්වභාවයෙන් සිදුවූ බැවින් කිසිවකු විසින් සිදුකළ යුතු නොවේ.) යනාදී ලෙස පැහැදිළිව දක්වා ඇත. එය බැලුවා නම් මෙවැනි වැරදි සිදු නොවනු ඇත.

3. රුක්‌ඛො ජීවන්‌තොයෙව අන්‌තොසාරො භූමියං පතිට්‌ඨිතො, අන්‌තමසො උබ්‌බෙධතො අට්‌ඨඞ්‌ගුලො, පරිණාහතො සූචිදණ්‌ඩකප්‌පමාණොපි නිමිත්‌තුපගො.....[2]

මෙහිදී කියැවෙන්නේ සීමාවක් සම්මත කිරීමේදී නිමිති වශයෙන් ගතහැකි ගසක අවම විශාලත්වයයි. එහි පරිවර්තනය “ගස ජීවත් වන්නේම, ඇතුලත හරය ඇත්තේ, බිම පිහිටියේ, අවම තරමින් උසින් අංගුල අටක් වූයේ, වට ප්‍රමාණයෙන් පන්හිඳක මිටක් (මෙය සුලැඟිල්ලේ පමණට සමය) පමණ වූයේ ද නිමිත්තට සුදුසු වේ.” යනුවෙන් විය යුතුය.

නමුත් මෙහි සිංහළ පරිවර්තනයක මෙම කලු අකුරින් දැක්වූ පාඨය “වටින් ඉඳිකටුවක් පමණ වූයේ ද” යනුවෙන් පරිවර්තනය කර ඇත. එම පාඨයේ අරුත ප්‍රායෝගිකව ද නොගැලපේ, ඉඳිකටුවක වටප්‍රමාණ ඇති අංගුල අටක් උස ඇති ඇතුලත අරටුව හටගන්නා වර්ගයේ පැළ විද්‍යමාන නොවන බැවිනි. ටීකාවන්හි දැක්වූ අරුත හා ද නොගැලපේ. “සූචිදණ්ඩ” යන පාළි පාඨයට “ඉඳිකටුව” යන පරිවර්තනය කිසිසේත් නොගැලපේ. ඉඳිකටුවට පාළියෙන් කියනුයේ “සූචි” යනුවෙනි. මීට අදාල ටීකාපාඨය වන්නේ “සූචිදණ්‌ඩකප්‌පමාණොති සීහළදීපෙ ලෙඛනිදණ්‌ඩප්‌පමාණොති වදන්‌ති, සො ච කනිට්‌ඨඞ්‌ගුලිපරිමාණොති දට්‌ඨබ්‌බං” (සූචිදණ්ඩප්පමාණො යනු හෙළදිව පන්හිද් දණ්ඩක පමණ යැයි කියත්. එය ද කුඩා ඇඟිල්ලේ පමණ යැයි දත යුතුයි) යනුවෙනි. “කඞ්ඛාවිතරණී පිටපොත” නමැති පැරණි ග්‍රන්ථයේද මෙම පාඨය “සූචිදණ්‌ඩප්‌පමාණොපි - හෙළදිවැහි පන්හිද්දඬක් සා ද වූ” යැයි පැහැදිලිව දක්වා ඇත. මෙවැනි පැහැදිලි කිරීම් තිබියදී එම ටීකා සන්න ග්‍රන්ථ භාවිතා නොකර පරිවර්තනය කිරීම නිසා මෙවැනි වැරදි පරිවර්තන සිදුවේ. එබැවින් ධර්මග්‍රන්ථ පරිශීලනය කළ යුතු පිළිවෙල දැන එම දහම් පාඨ වල නිවැරදි අරුත් ගැනීමට සැවොම උත්සුක වෙත්වා.

4. සචෙ හි ඡල්‌ලිම්‌පි අනපනෙත්‌වා සකලෙනෙව නාළිකෙරඵලෙන සද්‌ධිං පානකං පටිග්‌ගහිතං හොති, නාළිකෙරං අපනෙත්‌වා තං විකාලෙපි කප්‌පති.[3]

මෙය භේසජ්ජක්ඛන්ධකයෙහි දැක්වෙන කාලිකමිශ්‍රවීම පිළිබඳ පාඨයක් විස්තර කිරීම සඳහා විනය අටුවාවේ පැමිණි පාඨයකි. මෙයින් අදහස් කරන්නේ යාවකාලික දෙයක් සමග වෙනත් කාලිකයක් මිශ්‍ර වීමේදී මිශ්‍ර රසයක් ඇති වුවොත් එම මිශ්‍රණය අඩුකාලයක් ඇති කාලිකයට පැමිණෙන බවයි. එබැවින් ඉහත පාඨයේ පරිවර්තනය “ඉඳින් පොත්ත ද ඉවත් නොකර සම්පූර්ණ පොල් ගෙඩියක් සමග (අඹ යුෂ ආදී) පානකයක් පිළිගන්නා ලද්දේ වේ ද, එම පොල් ගෙඩිය ඉවත්කර එම පානකය විකාලයෙහි ද කැප වේ.” ලෙස විය යුතුය.

නමුත් මෙහි සිංහළ පරිවර්තනයක මෙම පාඨය “ලෙලි හැරදමා මුළුමනින්ම පොල්ඵලය සමග පැන් පිළිගන්නා වේද, ඒ පැන් පොල් ඵලය බැහැර කොට විකාලයෙහි ද කැප වේ.” ලෙස දක්වා ඇත. මෙහි අරුත නිවැරදි අරුතට බොහෝ සෙයින් වෙනස්ය. බොහෝ දෙනෙක් මෙම පාඨය නිසා “හවසට පොල් වතුර කැපය” යන වැරදි නිගමනයකට ද පැමිණ ඇත. ඊට හේතුව වන්නේ මෙම පාඨයේ කළු අකුරින් දක්වා ඇති වචන වැරදි ලෙස පරිවර්තනය කර තිබීමයි. “ඡල්‌ලිම්‌පි අනපනෙත්‌වා” යන තැන “ලෙලි හැරදමා” යයි පරිවර්තනය වැරදිය. එය “ලෙලි ඉවත් නොකර” යන අර්ථය ලබා දෙයි. මීලඟට “පානකං” යන පදය “පැන්” යැයි පරිවර්තනය වැරදිය. පැන් යැයි ගත්විට පොල්වතුර යන අරුත ද ලැබේ. පොල් වතුර හවසට අකැපය. ඒ බව ටීකාදී ග්‍රන්ථයන්හි පැහැදිලිව සකාරණව දක්වා ඇත. “උදකං, පානීයං” යන වචන සඳහා “පැන්” යන පරිවර්තනය ගැලපේ. නමුත් “පානකං” යනුවෙන් මෙහිදී අදහස් කර ඇත්තේ “අඹයුෂ ආදී” පානකයකි. මේ බව සාරත්ථදීපනී ටීකාවේ “පානකං පටිග්‌ගහිතං හොතීති අම්‌බපානාදිපානකං පටිග්‌ගහිතං හොති, තං විකාලෙපි කප්‌පති අසම්‌භින්‌නරසත්‌තා.” (පානකං පටිග්‌ගහිතං හොති යනු අඹයුෂ ආදී පානකයක් පිළිගන්නා ලද්දේ වෙයි. එම පානකය පොල් ගෙඩියේ රසය (යුෂ) හා මිශ්‍ර නොවූ බැවින් විකාලයෙහි ද කැපය.) යැයි ඉතා පැහැදිලිව දක්වා ඇත. එබැවින් මෙවැනි විනය කරුණු විනිශ්චයේදී ටීකාදී ප්‍රාමාණික ග්‍රන්ථ ද භාවිතා කොට ම විනිශ්චයන්ට පැමිණෙන්නේ නම් මෙවැනි වැරදි සිදු නොවනු ඇත.

5. ධුතඞ්‌ගතෙචීවරිකස්‌ස පන චතුත්‌ථං වත්‌තමානං අංසකාසාවමෙව වට්‌ටති. තඤ්‌ච ඛො විත්‌ථාරතො විදත්‌ථි, දීඝතො තිහත්‌ථමෙව වට්‌ටති.[4]

මේ දක්වා ඇත්තේ විසුද්ධිමග්ගයේ ධුතංගනිද්දේසයේ තිචීවරිකාංගය දක්වන තැන ධුතංගතිචීවරික භික්‍ෂුවට ගැලපෙන අංසකඩයේ ප්‍රමාණයයි. එම පාඨය “ධුතංගතෙචීවරික භික්‍ෂුවට ගැලපෙන්නේ රියන් තුනක් දිග එක් වියතක් පළල අංසකඩයක් පමණි” යැයි පරිවර්තනය විය යුතුය. නමුත් සිංහල පරිවර්තන ග්‍රන්ථයක එම කළු අකුරින් දැක්වූ පාඨය “එක් රියන් පුළුල්” යැයි දක්වා ඇත. එය වැරදීමකි. “විත්‌ථාරතො විදත්‌ථි” යන පාඨය “පළලින් වියතක් වූ” යනාර්ථය ලබා දේ. පැරකුම්බා සන්නයේ මෙම පාඨය “තඤ්ච ඛො, හෙ ද; විත්ථාරතො, පළලින්; විදත්ථි, වියතෙක් ම”[5] යැයි දක්වා ඇත. මෙවැනි තැන් වලදී කියවන්නා නොමග යා හැකි බැවින් මූලාශ්‍ර පාළිග්‍රන්ථත්, පැරණි ටීකා හා සන්න ආදියත් කියැවීමට හුරුවීම නිවැරදි අර්ථ දැනගැනීමට මහෝපකාරී වේ.

6. එදිසා ච භික්‌ඛූ යාගුං පිවිත්‌වා විපස්‌සනං ආරභිත්‌වා බුද්‌ධසාසනෙ අරහත්‌තප්‌පත්‌තා නාම ගණනපථං වීතිවත්‌තා. සීහළදීපෙයෙව තෙසු තෙසු ගාමෙසු ආසනසාලායං වා න තං ආසනමත්‌ථි, යත්‌ථ යාගුං පිවිත්‌වා අරහත්‌තප්‌පත්‌තා භික්‌ඛූ නත්‌ථීති.[6]

මේ දක්වා ඇත්තේ දීඝනිකාය සාමඤ්ඤඵල සූත්‍ර අටුවාවේ පාඨයකි. “සතිසම්පජඤ්ඤකථා” යන මාතෘකාව යටතේ පුරාණයේ ලක්දිව වැඩසිටි ප්‍රතිපත්තිගරුක භික්‍ෂූන් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩම කළ අයුරු මෙහි දැක්වේ. මෙම පාඨයේ සිංහල පරිවර්තනය “මෙබඳු (සිහිනුවණින් කමටහන් මනසිකාරයෙන් පිඬුසිඟා වඩින) භික්‍ෂූන් වහන්සේලා කැඳ වළඳා විදර්ශනාව අරඹා බුදු සසුනෙහිදී අර්හත්වයට පැමිණි උතුමන් වහන්සේලා ගණන්පථය ඉක්මවා සිටියාහුය. සිංහල දීපයෙහිම පමණක් ඒ ඒ ග්‍රාමයන්හි ආසනශාලාවෙහි යම් අසුනකදී කැඳ වළඳා අරහත්වයට පත් භික්‍ෂූන් වහන්සේලා නැතැයි දැක්වීමට එබඳු අසුනක් නැත. (සෑම අසුනකම එසේ අවම වශයෙන් එක් භික්‍ෂුවක් හෝ අර්හත්වය ලබා ඇත.)” ලෙස විය යුතුය.

නමුත් සිංහල පරිවර්තනයක මෙය “මෙබඳු භික්‍ෂූහු කැඳ බී විදර්ශනා අරඹා බුදු සසුනෙහි රහත් බවට පත් වූවෝ ගණනපථය ඉක්මවා ගියෝය. සිංහල ද්වීපයෙහි ද ඒ ඒ ගම්වල අසුන් හලෙහි ඒ ආසනය නැත. කැඳ බී රහත් බවට පත් භික්‍ෂූහුද නැත.” යැයි අර්ථය උඩු යටිකුරු කරමින් සම්පූර්ණ වැරදි පරිවර්තනයක් දී තිබේ. මෙය සිදු වී තිබෙන්නේ එකට සම්බන්ධ වාක්‍යකණ්ඩ දෙකක් වාක්‍ය දෙකක් වශයෙන් සලකා පරිවර්තනය කිරීම නිසයි. පූර්ව අපර සම්බන්ධයත් වැකියේ අරුතත් හරිහැටි නොසලකා මෙම පරිවර්තනය සිදුකර ඇත. එබැවින් මෙවැනි තැන් කියවන්නෝ ද හොඳ විමසීමකින් යුතුව පූර්ව අපරයන් ගලපමින් අරුත් ගැනීමට දක්‍ෂ විය යුතුය.

කරුණු මෙසේ හෙයින් නිවැරදිව දහම් අර්ථ දැනගනු කැමැති නම් පාළිභාෂාවම ප්‍රගුණ කළ යුතුය. පාළි භාෂාව දැනගැනීමේ වටිනාකම පිළිබඳව මෑත කාලයේ වැඩසිටි ශ්‍රේෂ්ඨ මහතෙරවරුන් කීපදෙනෙකුන්ගේ අදහස් පාඨකයින්ගේ දැනගැනීම පිණිස මෙසේ දක්වමු.

අතිපූජනීය රේරුකානේ චන්දවිමල මාහිමිපාණන් වහන්සේ

i. මාගධභාෂාවෙන් ඇති ත්‍රිපිටක පොත් හා අටුවා පොත් අන්බසකට පෙරළූ කල්හි එහි රසය බොහෝ දුරට හීන වේ. දැනට සිංහලට පෙරලා ඇති ත්‍රිපිටක පොත් කියවීමට ප්‍රිය නැත්තේ ඒවායේ රසය හීන නිසාය. නියම රසය ඇතිවන ලෙස ත්‍රිපිටක පොත් අන් බසකට පෙරළිය නොහැකිය. ........ විමතිවිනෝදනීටීකාවය, සාරත්ථදීපනීටීකාවය, වජිරබුද්ධිටීකාවය කියා සමන්තපාසාදිකාවේ දුර්බෝධ තැන් විස්තර කරන ටීකාග්‍රන්ථ තුනක් ඇත්තේය. සිංහල තෙරවරුන් විසින් ඒ පොත් සිංහලයෙන් නොකර පාළිභාෂාවෙන්ම සපයා ඇත්තේ විනය වර්ණනාවට යෝග්‍ය භාෂාව පාළිභාෂාව වන නිසාය.[7]

ii. සාමණේර සරණගමනය එක්තරා විනයකර්මයකි. එයින් සිදුවන්නේ සාමණේරභාවයට පැමිණීමය. පාලිභාෂාවෙන්ම මිස අන් බසකින් සිකපද කීමෙන් සාමණේරභාවය නොපිහිටන්නේය.[8]

අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ

i. ප්‍රශ්ණය: ස්වාමීන් වහන්ස දැන් ඔය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ප්‍රකාශයට පත් කරන (සිංහල) විශුද්ධි මාර්ගයත්, පරණ ඒවත් අතර වෙනස්කම් තියෙනවද? දැන් තියෙන එක විශ්වාසෙන් අපිට කියවන්න පුළුවන්ද?

පිළිතුර: මම නං ඒක කියවලා නෑ. මං අලුත් ඒවා කියවන්න කැමතිත් නෑ. බොහෝ වශයෙන් අර්ථ වෙනස්කම් තියෙනවා. සමහරවිට නිවැරදි තැන් ඇති. බොහෝ සෙයින් අර්ථ වෙනස්කම් ඇති කරනවා, අද කාලේ අලුත් අලුත් වචන දාන්න ගිහිල්ලා. කෙටි කරනකොට අර්ථය පැහැදිලි කරන්න බැරි වෙනවා. ඒ නිසා මං අලුත් පොත් වැඩිය කියවන්නෙ නෑ.

පාලි පොත් තමයි වැඩියෙන් කියවන්නෙ. තවතවත් පාලි දැනුමත් වැඩිවෙනවා. ඒකේ අර්ථය නිවැරදිව තේරුම් ගන්නව නම් නිවැරදියි. තේරෙන්නැති වචනයක් තිබුනොත් ඒක හොයනවා. නිඝණ්ඩුවේ තියෙනවා, තවත් තැන්වල තියෙනවා.

ඒ නිසා අලුත් පොත් සම්පාදනය එච්චර සාර්ථක බව මං නං හිතන්නෑ. අනික දැන් ඔය අට්ඨකතා ආදිය සිංහලටම නගනවා. කිසිම රසයක් නෑ. ඒක තියෙන්න ඕනි එහෙමනං අර ජයන්ති පොත්වල වාගේ (එක්පිටක) පාලිය, (එක්පිටක) සිංහල. එහෙම තියෙනව නම් යම්කිසි නිවැරදි තේරුමක් හදාගන්න පුළුවන්. එක පිටක පාලි. අනිත් පිටුවෙ සිංහල. ඒකෙ තියෙනවා සුදුසුකමක්. තනිකර සිංහලෙන් ලිව්වහම ඒක එච්චර සෝභමානත් නෑ. රස අතුරුදන් වෙනවා. පාලි දැනුම අත්හරිනවා, ඇයි සිංහල පොත් තියෙනවනෙ. බුද්ධ ධර්මය ඉතින් නිවැරදිව තියෙන්න ඕනෑ. බුදුරජාණන් වහන්සේ ම අර විනය පිටකයේ දේශනා කරලා තියෙන්නේ යමේළු, තේකුල කියන සහෝදර බ්‍රාහ්මණ පැවිද්දො දෙන්නෙක් ත්‍රිපිටකධාරී වෙලා අවසර ඉල්ලූවා බුද්ධ ධර්මය සංස්කෘත භාෂාවෙන් පරිවර්තනය කරලා ලියලා තියන්න ද කියලා. පස්සෙ බුදුරජාණන් වහන්සේ දොස් කිව්වා.

“මෝඝ පුරුෂය , එහෙම හිතන්න එපා” කිව්වා. බුද්ධ ධර්මය “සකාය නිරුත්තියා ඨපෙතබ්බං” කිව්වා. ස්වකීය භාෂාවෙන් ම තියෙන්න ඕනි. ස්වකීය භාෂාව කියන්නේ පාලි භාෂාවට. බුදුරජාණන් වහන්සේ තමයි “සකාය නිරුත්ති” කිව්වේ. බුදුරජාණන් වහන්සේගේම භාෂාවෙන් තියෙන්න ඕනි. නැත්නම් පසු කාලෙකට හුඟාක් ඔය ව්‍යාකරණ ආකූල වෙනවා[9]

ii. ඒ නිසා සම්බුද්ධ ශාසනයෙහි අද පමණක් නෙමෙයි. අතීත, අනාගත, වර්තමාන තුන්කාලයෙම බුද්ධ ධර්මයෙහි නියම ආවේනිික භාෂාව පාලි භාෂාවයි, මූලභාෂාව. සිංහලත් නෙමෙයි. ඒකට වෙනම අකුරු විශේෂයක් ඇත්තේ නෑ. ඒ ඒ භාෂාවලින් පාලි භාෂාව හසුරුවනවා. ...... ඒ නිසා මේ චීන භාෂාව හෝ ජපන් භාෂාව හෝ පසුකාලෙක ඇතිවෙච්ච දේවල් විනා සර්වඥයන් වහන්සේගේ බුද්ධ ධර්මය නොවෙයි. බුද්ධ ධර්මය නම් සැබෑ පාලි භාෂාවයි. ඒ කියන්නේ සියලු බුදුවරයන් වහන්සේලාගේ භාෂාව පාලි භාෂාවයි.[10]

iii. බුදු රජාණන් වහන්සේගේ ධර්මය තම තමන්ගේ භාෂා වලින් අධ්‍යයනය කරන්නට පුළුවනි. ඒ කියන්නේ තේරුම් ගැනීමේ පහසුව පිණිස. හැමෝටම පාලි භාෂාව නොතේරෙන නිසා තමන්ගේ භාෂාවෙන් ඒ අර්ථ හදාරන්න පුළුවන්. නමුත් මේ පාලි භාෂාවෙන් තියෙන පිරිත් දේශනා සර්වඥයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශිත දේශනා. ඒවා සමහර විට ලොව පහළ වී වදාළ අසංඛ්‍යෙය, අප්‍රම්‍යෙය සර්වඥයන් වහන්සේලාගේ ශ්‍රී මුඛයෙන් නිකුත් වූ ශුද්ධ වූ බුද්ධ වචන. අපේ බුදු රජාණන් වහන්සේගෙන් පසුවත් කෝටි ප්‍රකෝටි අසංඛ්‍ය ගණන් නික්ලේශි රහතන් වහන්සේලා භාවිතා කළ වචන. ඒවා සිද්ධි බවට පත්වෙලා තියෙනවා. ඒ ශබ්ද වල තියෙනවා පුදුම විදියේ ආකර්ශන ශක්තියක්. ඒ නිසා පාලි භාෂාවෙන් තියෙන පිරිත් දේශනා, සූත්‍ර දේශනා ආදිය සජ්ඣායනා කිරීම පාලි භාෂාවෙන්ම කළ යුතුයි. තේරුම් ගැනීම සඳහා තමන්ගේ භාෂාවෙන් භාවිතාවට ගැනීම වරදක් නෑ.[11]

iv. “මේ පාළි වචනයෙන් තියෙන සූත්‍ර පාඨ, ගාථා දේශනා ඇහෙනකොට, කියනකොට අර්ථය නොදන්නා අයට ඥාන සම්ප්‍රයුත්ත සිත් පහළ වෙයිද? ” යනුවෙන් මාහෝ සුමේධ මාහිමියන් විසින් නාඋයනේ මාහිමියන් වෙත ලියා එවූ ප්‍රශ්ණයකට ලබාදුන් පිළිතුර

බුද්ධ ධර්මය කියන එක පාලි භාෂාවෙන් තිබුණට අර්ථය නොදැන හිටියත්, කරුණු ක්‍රම හතරකින් ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. ක්‍රම 04 කියන්නෙ සමහර කෙනෙක් මේකෙ අර්ථ දන්නෙ නෑ. මේක ඇහෙනකොට “අනේ.... සාධු සාධු මෙක නම් හරි වටිනා සෞම්‍ය සද්දයක්නේ. මේක හරි වටිනා දෙයක්නේ.” කියලා හිත පැහැදෙනවා. ඔහුට ධර්මය අරමුණු කරගෙන ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. බොහෝ සෙයින් තිරිසන් සතුන්ට වෙලා තියෙන්නේ එහෙමයි. සමහර කෙනෙකුට අර්ථයත් වැටහෙනවා. එතකොට ඔහුට අර්ථය අරමුණු කරගෙන ඥාන සම්ප්‍රයුක්ත වෙනවා ඔහුගෙ සිත. සමහර කෙනෙකුට ව්‍යාකරණෙත් වැටහෙනවා මේ පාඨයෙ. ඔහුට නිරුක්ති වශයෙනුත් ඥාන සම්ප්‍රයුක්ත ය වෙනවා. සමහර කෙනෙකුට තුනම වැටහෙනවා. අර්ථය, ධර්මය, නිරුක්තියයි තුනම වැටහෙනවා. කොටසක් ඒ තුන් ආකාරයෙන් ම ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. ඉතින් ඒකට නිදසුන් කරුණු මම කියා පෑවා. ඒ ස්වාමීන් වහන්සේ (මාහෝ සුමේධ මාහිමිපාණන් වහන්සේ) බොහෝම සතුටු වෙලා මට ස්තුති කළා. ඉතින් ඒකට සාධක වශයෙනුත් මං කිහිපයක් ලියලා යැව්වා. ඉතින් ඒ අනුව මං සලකාගන්නවා අද කාලෙ වුණත් ඕනම අර්ථය නොදන්නා කෙනෙකු පාලි භාෂාවට ඇහුම්කන් දීමෙන්, කියවීමෙන්, ප්‍රසාදයෙන් යුතුව සවන් දෙනවනම්, හිතනවානම් ඔහුගේ සිත ඥාන සම්ප්‍රයුක්ත වෙනවා ඒකෙ ආනිශංස අනිවාර්යෙන්ම ලැබෙනවා.[12]

ඉහත කරුණු සියල්ල සලකා බැලූ විට පාළි භාෂාව හැදෑරීමේ ඇති වටිනාකම පැහැදිළි වනු ඇත. එබැවින් මෙරට වැසියන්ට ලැබුණු වටිනාම උරුමයක් වන බුදුදහම නිවැරදිව භාවිතා කිරීමට අතිශය උපකාරී වන පාළි භාෂාව හැදෑරීමට විශේෂයෙන්ම භික්‍ෂූන් වහන්සේලාත් සියලු සිංහල ජනතාවත් උත්සුක වන්නේ නම් දැනට වඩා දහමින් ප්‍රයෝජන ලැබිය හැකි වනු ඇත.

  1. මජ්ඣිමනිකාය පාළි අටුවා 3 කොටස 85 පිටුව

  2. කඞ්ඛාවිතරණී මාතිකට්ඨකථාව 5 පිටුව

  3. විනයට්ඨකථා 819 පිටුව

  4. විසුද්ධිමග්ග ධුතඞ්ග නිද්දේස 49 පිටුව (හේවාවිතාරණ මුද්‍රණ)

  5. මහාසන්න සහිත විශුද්ධිමාර්ගය 161 පිටුව (බෙන්තර ශ්‍රද්ධාතිෂ්‍ය හිමි සංස්කරණ)

  6. දීඝනිකාය අටුවා 131 පිටුව (හේවාවිතාරණ මුද්‍රණ)

  7. උපසම්පදා සීලය 22 පිටුව (ප්‍රස්තාවනා)

  8. ශාසනාවතරණය 46 පිටුව

  9. 2010-6-12 දින නාඋයන සෙනසුනේ පැවති ධර්මසාකච්ඡාවක් ඇසුරින්

  10. මාහිමිපාණන් වහන්සේගේ ගුවන්විදුලි දේශනයක් ඇසුරින්

  11. මාහිමිපාණන් වහන්සේගේ ගුවන්විදුලි දේශනයක් ඇසුරින්

  12. මාහිමිපාණන් වහන්සේගේ ගුවන්විදුලි දේශනයක් ඇසුරින්