06විශුද්ධිමාර්ගය, අප රටේ ප්‍රචලිත භාවනා ක්‍රම, ඒ පිළිබඳ ඇති දුර්මත හා ඊට පිළිතුරු විශුද්ධිමාර්ගය

බුද්ධකාලයේ පටන් අඛණ්ඩව පැවතුනා වූ ද මහාවිහාරීය මහරහත් පරම්පරාවෙන් සුරැකුණා වූ ද ඉපැරණි භාවනා මාර්ගය දක්වමින් මහාවිහාරවාසී මහාසඞ්ඝරත්නයේ අධීක්‍ෂණය යටතේ අනුබුද්ධ බුද්ධඝෝස මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අතිප්‍රශස්ත ග්‍රන්ථය විශුද්ධිමාර්ගයයි. ත්‍රිපිටකය පුරා විසිරී ඇති නිවන් මග දක්වන බුද්ධදේශනාවන්ගේ සාරය අනුපිළිවෙලින් සකසා, ත්‍රිපිටකයේ ඇතුලත් නොවූ නමුත් පැරණි හෙළ අටුවාවන්හි දැක්වූ ප්‍රායෝගික භාවනා උපදෙස් ද ඇතුලත් කරමින් රචිත විශුද්ධිමාර්ගය යනු නිවන් මග අනුපිළිවෙලින් ඉතා පැහැදිළිව දක්වන ප්‍රමුඛම ග්‍රන්ථය බව බහුශ්‍රැත ප්‍රතිපත්තිකාමී ථේරවාදී සංඝපීතෘන් වහන්සේලා සෑම දෙනාම පාහේ අවිවාදයෙන්ම පිළිගනිති. දැනට ලෝකයේ ප්‍රචලිත භාවනා ක්‍රම සෑම එකකම පාහේ විශුද්ධිමාර්ගයේ දැක්වෙන කරුණු ඉතා ගරුතැන්හි ලා දක්වා ඇත.

මෙම නිවන් මාර්ගය ඉතා ලෙහෙසි පහසු යැයි ලහු කොට නොසිතිය යුතුය. එය සෑම දෙනාටම විෂය වූවක් ද නොවේ. භාවිත චිත්තසන්තාන ඇති වීර්යවන්ත වූ ප්‍රඥාවන්ත වූ එහි මැනවින් යෙදෙන්නා වූ අයටම පමණක් විෂය වූවකි. මෙකල බොහෝ දෙනා නිවැරදි නිවන් මග යැයි සලකා නොයෙක් වැරදි ක්‍රම අනුගමනය කරති, වැරදි ක්‍රම දක්වා නිවැරදි මාර්ගයට පහර ගසමින් ලාභ සත්කාර ලැබීමට මාන බලන කෛරාටිකයින්ට හසුව ඒ අනුව ගොස් බොහෝ පව් සිදුකර ගෙන තමන්ගේ සුගති මාර්ගය ද අහුරා ගනිති. එසේ වීමට හේතු කීපයක් මෙසේය.

එය ඉතාමත්ම වීර්යයෙන් ඉතාමත් ක්‍රමාණුකූලව වැඩිය යුතු මාර්ගයක් බවත් ඉතා අපහසුවෙන් අවබෝධ කළයුත්තක් බවත් බුද්ධදේශනාවේ දක්වා ඇත. ඊට උදාහරණ කීපයක් මෙසේ දක්වමු.

i.

‘‘කිච්‌ඡෙන මෙ අධිගතං, හලං දානි පකාසිතුං; රාගදොසපරෙතෙහි, නායං ධම්‌මො සුසම්‌බුධො.

‘‘පටිසොතගාමිං නිපුණං, ගම්‌භීරං දුද්‌දසං අණුං; රාගරත්‌තා න දක්‌ඛන්‌ති, තමොඛන්‌ධෙන ආවුටා

(මා විසින් දුකසේ අවබෝධ කළ චතුරාර්ය සත්‍ය ධර්මය දැන් ප්‍රකාශ කිරීමෙන් වැඩක් නැත්තේය. රාගද්වේෂයන්ගෙන් පෙළුණවුන් විසින් මේ ධර්මය අවබෝධ කළ නොහැක.

උඩුගං බලා එනම් නිවන කරා යන්නා වූ නිපුණ වූ ගැඹුරු වූ දුකසේ දැක්ක යුතු වූ සියුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය රාගයෙන් රත් වූ අවිද්‍යාස්කන්ධයෙන් වැසුනා වූ සත්වයෝ නොදකිති.)[1]

ii.

‘‘සුකරානි අසාධූනි, අත්‌තනො අහිතානි ච;

යං වෙ හිතඤ්‌ච සාධුඤ්‌ච, තං වෙ පරමදුක්‌කරං

(අපායට පමුණුවන්නා වූ ද එබැවින් තමාට අහිතවත් වූ ද වැරදි දේ කිරීම පහසුය. සුගතියටත් නිවනටත් පමුණුවන්නා වූ එබැවින්ම තමාට හිතවත් වූ යහපත් දේ කිරීම හරියට නැගෙනහිර දෙසට ගලන ගඟක් වලක්වා බටහිර දෙසට ආපසු හැරවීමක් මෙන් ඉතාමත් අපහසුය.)[2]

iii. වාල සූත්‍රයෙහි දැක්වෙන පරිදි, කුඩා සිදුරකින් දුරසිට නොවරදවා ඊතළ විදින ලිච්ඡවී කුමාරවරුන්ව දිනක් පිඬුසිඟා වඩින ආනන්ද මාහිමියෝ දුටු සේක. පසුව බුදුරජුන් හමුවී මෙම කරුණ දන්වා ඔවුහු මනාව හික්මුණු පිරිසකැයි දැක්වූ විට භාග්‍යවතුන් වහන්සේ ‘‘තං කිං මඤ්‌ඤසි, ආනන්‌ද, කතමං නු ඛො දුක්‌කරතරං වා දුරභිසම්‌භවතරං වා – යො දූරතොව සුඛුමෙන තාළච්‌ඡිග්‌ගළෙන අසනං අතිපාතෙය්‍ය පොඞ්‌ඛානුපොඞ්‌ඛං අවිරාධිතං, යො වා සත්‌තධා භින්‌නස්‌ස වාලස්‌ස කොටියා කොටිං පටිවිජ්‌ඣෙය්‍යා’’ති?

(ආනන්දයෙනි එසේ ඊතල විදීමද දුෂ්කර, නැතිනම් අස් ලෝමයක් හතට පලා එයින් එකක් උෂභයක් (රියන් 140ක්) දුරින් එල්වා තවත් එකක් ඊතලයක යොදා නොවරදවා විදීම දුෂ්කරදැයි විචාල සේක)

‘‘එතදෙව, භන්‌තෙ, දුක්‌කරතරඤ්‌චෙව දුරභිසම්‌භවතරඤ්‌ච යො වා සත්‌තධා භින්‌නස්‌ස වාලස්‌ස කොටියා කොටිං පටිවිජ්‌ඣෙය්‍යා’’ති.

(එසේ අස්ලොම් පලුවෙන් විදීම දුෂ්කරයැයි ආනන්ද හිමියෝ පිළිතුරු දුන් සේක.)

‘‘අථ ඛො, ආනන්‌ද, දුප්‌පටිවිජ්‌ඣතරං පටිවිජ්‌ඣන්‌ති, යෙ ‘ඉදං දුක්‌ඛ’න්‌ති යථාභූතං පටිවිජ්‌ඣන්‌ති…පෙ.… ‘අයං දුක්‌ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පටිවිජ්‌ඣන්‌ති’’.

(යමෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ නම් ඔහු අර අස් ලොම් පලුවෙන් විදීමටත් වඩා ඉතා දුෂ්කර වූවක් කරන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.)[3]

නිවන් අවබෝධය යනු පහසු දෙයක් නොවන බව ඉහත දේශනා අනුව පසක් වන්නට ඇත. රට්ඨපාල, මහාසීව,සෝණ ආදී මහරහත් උතුමන් වහන්සේලාගේ උත්සාහයන් සලකා බැලීමෙන් ද එය ප්‍රකට වේ. මේ කරුණු දැක්වූයේ මෙය අපහසු යැයි කියා අන්‍යයන්ව අධෛර්යයට පත් කිරීමට නොව දහමේ ඇති සැබෑ ගැඹුර පෙන්වීමට හා අලස නොවී උනන්දුවෙන් එහි යෙදීමට පෙළඹවීම පිණිසය. එබැවින් ලෙහෙසි ක්‍රම සොයනවා වෙනුවට විසුද්ධිමග්ගාදී ග්‍රන්ථයන්හි දැක්වෙන අනුපිළිවෙල නොයික්ම මැනවින් පිළිවෙත් පුරන්නේ නම් නිවැරදි ප්‍රතිඵල ලැබෙනු ඇත. ඒ පිළිබඳ සාක්‍ෂි කීපයක් මෙසේ දක්වමු.

1. රුවන්ගිරිකන්ද ආරණ්‍යයේ වැඩසිටි අතිපූජනීය මාතලේ සීලරක්ඛිත මාහිමිපාණන් වහන්සේ යනු ඉතා උත්කෘෂ්ට අයුරින් ධුතංගාදී පිළිවෙත් පිරුවා වූ අතිෂය සිල්වත් උතුමෙකි. අහසින් ගමන්කිරීම, වැසි වැස්සවීම, යම් යම් දේ මවා ගැනීම ආදී ඍද්ධිවිධ ඤාණයන් ලබාසිටියා වූ ද නාඋයනේ අරියධම්ම මාහිමියන් වැනි ශිෂ්‍යයන්ට එම ක්‍රම කියාදුන්නා වූ ද ශ්‍රේෂ්ට යෝගීවරයෙකි. ඉතා අල්පේච්ඡ වූ එතුමන් වහන්සේ එම ආරණ්‍යයට පැමිණෙන විට රැගෙන ආවේ පරිෂ්කාර කීපයක් පමණි. එනම් තුන් සිවුරත්, පාත්‍රයත්, ගොටු අත්තත්, විශුද්ධිමාර්ගය පොතත් පමණක් බව කියැවේ. එතුමන් වහන්සේ මෙසේ විසුද්ධිමග්ගය භාවිතයෙන් අභිඤ්ඤා දක්වා සමථයත් උසස් අයුරින් විදර්ශනාවත් දියුණු කළ බව අසන්නට ලැබේ.

2. ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවීමට මූළිකත්වය ගෙන කටයුතු කළ උතුමන් වහන්සේ නමක් වන අතිපූජනීය මාතර ඤාණාරාම මාහිමිපාණන් වහන්සේ යනු මෑත කාලයේ වැඩසිටි ඉතා ශ්‍රේෂ්ඨ භාවනා ගුරුවරයෙකි, ජීවිතපරිත්‍යාගයෙන් පිළිවෙතෙහි යෙදුණු උතුමෙකි, මගඵල ලාභී උතුමෙකැයි ප්‍රසිද්ධ වූ යතිවරයෙකි. එතුමන් පිළිබඳව අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රි මාහිමිපාණෝ දක්වන්නේ “මෙකී සියලු පැවිදි උතුමන් අතුරෙහි විශේෂයෙන් කැපී පෙණුන උතුමෙකි, නොබෝදා අපවත් වී වදාළ මාතර ඥාණාරාම හිමිපාණෝ......... මෑතෙක මෙරටැ වැඩ හුන් ගුණවෘද්ධ තපෝවෘද්ධ මහතෙරුන් අතරැ උන් වහන්සේ අග්‍රම තැන ගෙන සිටියහයි මගේ හැඟීමයි. අද මේ හෙළදිවෙහි භාවනා මධ්‍යස්ථාන බොහෝ තැන ඇත. ඒ අතින් සස්නෙහි දියුණුවක් පෙනේ. භාවනානුයෝගී ගිහි පැවිදි පිරිස ද වසක් පාසා ගණනින් නැගෙත්. එය සුභ ලකුණෙකි. මේ යෝගාවචරයන් අතර මාර්ගඵල ලාභීහු ද ඇතැයි සිතමි. අපවත් වූ ඥානාරාම හිමියන් ගැන මා සලකනුයේ අනාගාමී ඵලයට පැමිණි කෙනකු හැටියට ය.[4] යනුවෙනි. මාතර මාහිමිපාණන් වහන්සේ රචනා කළ ග්‍රන්ථ හා උන් වහන්සේගේ දිනපොත් සටහන් කියැවීමෙන් මේ කරුණු තවත් පසක් වනු ඇත.

මෙම මාතර මාහිමියන් රචනා කළ භාවනා ග්‍රන්ථයන්හි ද විසුද්ධිමග්ගයට ලබා දී ඇත්තේ ඉතා ප්‍රමුඛස්ථානයකි. උපුටා ගැනීම් දැක්වීමේදී මෙය ඉතා ප්‍රාමාණික ග්‍රන්ථයක් සේ දැක්වේ. ඒ බව එම ග්‍රන්ථ හා ඒවායේ උදෘත පාඨත් ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියත් කියැවීමෙන් දත හැකිය.

එතුමන් වහන්සේගේ අපවත් වීමට ආසන්න කාලයේදී එක් ශිෂ්‍ය ස්වාමින් වහන්සේ නමක් පැමිණ “අවසරයි ස්වාමින් වහන්ස! ස්වාමින් වහන්සේ වැඩූ භාවනා මාර්ගය කුමක්දැයි අපි දැනගන්න කැමතියි” යැයි විචාල විට “අපි වැඩුවේ විශුද්ධිමාර්ග භාවනා ක්‍රමයයි” යනුවෙන් වදාළ බව ද පැවසේ.

3. මෑත කාලයේ ලක්දිව බුදුසසුනේ මුදුන් මල්කඩ සේ වැඩසිටි අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ යනු සීල සමාධි ප්‍රඥා ගුණධර්ම ඉතා උසස් අයුරින් දියුණු කළ උතුමෙකි, ලොවපුරා ප්‍රචලිත වූ භාවනා ගුරුවරයෙකි, ත්‍රිපිටකධර උතුමෙකි. එතුමන් වහන්සේගේ ග්‍රන්ථයන්හි ද විශුද්ධිමාර්ගයට ලබා දී ඇත්තේ විශේෂ ගරුත්වයකි. ඒ බව එතුමන් වහන්සේ රචනා කළ ග්‍රන්ථත් ඒවායේ උදෘතපාඨත් ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලීන් හා ලියූ පෙරවදන් ආදියත් කියැවීමෙන් දත හැකිය. එබඳු උදෘත කීපයක් ඉදිරියේදී දැක්වේ.

විසුද්ධිමග්ගය පිළිබඳ මෙතරම් කරුණු දැක්වූයේ මෙකළ ඇතැම්හු හරිහැටි කරුණු නොදැන එයට දොස් පවරන බැවිනි. මෙකළ ලොවපුරා ප්‍රචලිත භාවනා ක්‍රමයන් දක්වන පොත් වලට උදෘතපාඨ ලබා ගත් පොත් අතර විසුද්ධිමග්ගයට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයකි. මෙකළ ශ්‍රී ලංකාවේ ද භාවනා ක්‍රම කීපයක්ම ප්‍රචලිතව පවතී. ඒ ක්‍රම විස්තර කරන බොහෝමයක් ග්‍රන්ථයන්ට ද විසුද්ධිමග්ගය ගුරුපොතක් වී ඇත. ඇතැමෙක් මේවා අත්හදා නොබලා නොවිමසා තමාගේ අදහසට නොගැලපෙන හෙයින් ප්‍රතික්‍ෂේප කරති. ඇතැම්හු බුදුදහමේ කිසිසේත් දක්වා නැති වැරදි ක්‍රම නිවැරදි ක්‍රම සේ දක්වති. යම් භාවනා ක්‍රමයක් නිවැරදි දැයි දැන ගැනීමට එය බුද්ධ දේශනාව හා සසඳා බැලිය යුතුය. ඒ සැසඳීම ද ඉතා ප්‍රතිබල උතුමන් විසින්ම කළ යුතුය. එසේ නොකර නිවැරදි මාර්ග ප්‍රතික්‍ෂේප කිරීමත් වැරදි ක්‍රම ප්‍රචලිත කිරීමත් ඉතා භයානක ප්‍රතිඵල ඇතිකරන බව සලකා විමසිලිමත්ව කටයුතු කරත්වා යනු අපගේ මෛත්‍රී පූර්වාංගම දැන්වීමයි. දැනගැනීම පිණිස දැනට ප්‍රචලිත භාවනා ක්‍රම කීපයක් ගැන මෙසේ කරුණු ස්වල්පයක් දක්වමු.

  1. විනය මහාවග්ග 10-11 පිටු (බ්‍රහ්මායාචනකථා)

  2. ධම්මපද 163 ගාථාව (අත්තවග්ග)

  3. සංයුත්තනිකාය 5 හි 2 කොටස 316 පිටුව වාලසූත්‍රය

  4. අමාබින්දු 3 පිටුව