14. පිණ්ඩපාතික තිස්ස මහතෙර

(කාවන්තිස්ස රජු කල.)

අම්බරියවිහාරවාස පිණ්ඩපාතිකතිස්ස ස්ථවිරතුමා තිස්ස මහාවිහාරයේ චෛත්‍යය වඳිනු කැමතිව දිනක් එහි යන්ට පිටත් වය. මාගම වල්ලිවීථියෙහි දාරුභණ්ඩකතිස්ස නම් උපාසකයෙක් විය. දර විකිණීමෙන් ජීවිකාව කළ දුගියෙක් වූ හෙතෙම දන්දීමේ අනුසස් අසා බිරිඳ හා කථාකොට ශක්ති ප්‍ර‍මාණයෙන් පාක්‍ෂික බතක් [1] සති දෙකකට වරක් දෙන දානයයි. පිළියෙල කොට දන් දුණි. එකල සංඝයාට ප්‍ර‍ණීතාහාරයෙන් අඩුවක් නොවූ බැවින් අන් තැන්වලින් ලත් රසවත් බොජුන් වැළඳූ සාමණේරවරුත් තරුණ භික්‍ෂූහුත් මොවුන් දුන් රූක්‍ෂාහාරය ඉවත දමා ගියහ. එය දුටු ස්ත්‍රිය ශෝකයට පත්ව සැමියාට දැනුම් දී “තම දුව උකසට තබා කහවණු දොළසක් ගෙන එයින් කිරිදෙනක් ගෙනායුතුය”යි යෝජනා කළාය. හිමියත් ඊට එකඟව එසේ කෙළේය. ඉන්පසු ගිතෙල් මිශ්‍ර‍කිරිබත් පිළියෙල කොට දන් දුන්හ. පසු කලක දියණියන් නිදහස් කරගනු කැමතිව පිටපලාතකට ගොස් උක්මෝලක හමසක් වැඩකොට කහවණු 12 ක් ඉතිරි කොට ගෙන ගමට යන්නේ තිස්ස මහාවිහාරයට වඩින යථෝක්ත තෙරුන් දැක එතුමන් හා කථා කරමින් ගමන් කෙළේය. දාවල් දන් වේලාව ළං වූ විට “තෙරුන්ට කෙසේ දන් දෙන්නෙම් දැ”යි සිතමින් යන විට බ ත් මුලක් ගෙන යන මිනිසකු දැක “කහවණුවක් ගෙන බත්මුල දෙව”යි ඉල්වීය. ඔහු දෙන්ට නො කැමති වූ විට ක්‍ර‍මයෙන් ගණන වැඩි කොට කහවණු දොළසම දී එය රැගෙන තෙරුන්ට දුණි. එය වළඳා නැවත ගමන් ඇරඹූ තෙරනම උපාසකයාගේ තොරතුරු විචාරා සංවේගයට පත්ව තිස්ස මහාවිහාරයට ගොස් සෙනසුනක් ලැබ එහි හිඳගෙන කමටහන් වැඩුවේය. පසුදා පිඬු පිණිස නො හැසිරම භාවනා කෙළේය. මෙසේ ගෙයින් පිටට නෑවිත් සත්දිනක් භාවනා කොට සත් වෙනිදා උදය රහත් විය. සත් දිනක් ආහාර නොගත් බැවන් තමාගේ ජීවිතය නො පවත්නා බව දැන ගත් එතුමා සෙනසුන තැන්පත් කොට පාත්‍ර‍ සිවුරු රැගෙන විහාරය මැදට පැමිණ බෙරය ගස්වා සංඝයා රැස්කරවා තමා හා උපාසකයා පිළිබඳ සියලු පුවත් සංඝයාට දැනුම් දී “මාගේ මෘතදේහය තැබූ කුළුගෙය දාරුභණ්ඩකතිස්සයන් අතගැසූ විට පමණක් සෙලවේවා, අන්‍යයකු විසින් නො සෙල්විය හැකිවේවා” යි අධිෂ්ඨාන කොට පිරිනිවියේ ය. කාවන්තිස්ස රජ මේ පිරිනිවීම අසා එහි අවුත් සිවිගෙයක් තනවා මෘතදේහය එහි තබ්බවා ඔසවන්ට උත්සාහ කළ නමුත් නොහැකි විය. ඉක්බිති සංඝයාගේ කීම පරිදි යථෝක්ත උපාසකයා ගෙන්වා “මින් සත්දිනකට පෙර තා විසින් තෙරනමකට දනක් දෙන ලදදැ”යි විචාරා එසේ යයි කීවිට “මේ අපවත් වූ තෙරනම තොප දන් දුන් තෙරනමද, නැද්දැයි බලව”යි නියම කෙළේය. සිවිගෙය වෙත ගොස් තෙරුන්ගේ මෘතදේහය බැලූ උපාසකයා මහත් ශෝකයට පැමිණ දෙ අතින් පපුව බදාගෙන “මහරජ, ඒ මාගේ ආර්‍ය්‍යයන් වහන්සේ ය”යි කී විට රජතෙම ඔහුට මහාපසාධන නම් ආභරණය පළඳවා “සිවි ගෙය ඔසවව”යි කීය. උපාසකයා ගොස් තෙරුන් ගේ පාදෙක රැගෙන හිසමත තබාගත් කෙණෙහි එය අහසට නැගීගොස් දරසෑය මත්තෙහි තැන්පත් විය. එකෙණෙහි දරසෑයේ සිවු කොණින් ඉබේම ගිනිදැල් මතු වී ආදාහනය විය. (= මේ කථාව අංගුත්තරඒකකනිපාත අටුවාහි (276) විස්තර ලෙස පෙනේ.)

මෙය රසවාහිනී - සද්ධර්‍මාලංකාර දෙක්හි එන්නේ “නකුල උපාසකයාගේ වස්තුව” වශයෙනි. එහි ඇතැම් වෙනස්කම් ද පෙනෙත්. ඒ තෙරනම පිණ්ඩපාතය වළඳා සත් දිනකින් අපවත් වූ බවක් ඒ පොත් දෙකේ නො කියවේ. එදාම රහත් බවට පැමිණ තිස්සමහාරාමයට අවුත් එහි සංඝයාට උපාසකයා පිළිබඳ පුවතත් තමන් පිරිනිවෙන කලක කරන අධිෂ්ඨානයත් දැනුම් දී ස්වභාව වශයෙන් ආයුසංස්කාරය ගෙවී පිරිනිවෙන විට එසේ අධිෂ්ඨාන කළ බවත් රජු විසින් හා රැස් වූ ජනයා විසින් උපාසකයාට බොහෝ පරිත්‍යාගයන් කරන ලද බවත් ඔහු විසූගම ඔහුට නින්දගමක් වශයෙන් ලැබුණු බවත් එහි කියවේ. ඒ ගම ඔහුට ලැබුණු තැන් සිට ඔහුගේ නම මුල් කොට “නකුලකණ්ණිකා” යයි ප්‍ර‍කට වූ බවත් කියවේ. මේ නම නකුලනගරකණ්ණිකා යයි මහාවංශාදියෙහි පෙනේ. “බැමිණිතියාසාය” කාලයේදී මහා විප්ලවයකට මුල් වූ තීය - බ්‍රාහ්මණයා උපන්නේ මේ නකුල නගරයෙහි ය. මෙය වර්‍තමාන “නාකුලුගමුව” විය හැක. “නකුලගම” පහසුවෙන් “නාකුලුගමුව” යයි ව්‍යවහාරයට පත්විය හැකිය.

  1. සති දෙකකට වරක් දෙන දානයයි.