18. පිඞ්ගල බුද්ධරක්ඛිත මහතෙර

මැඳුම්සඟිඅටුවාහි අරණවිභංග සූත්‍ර‍ වර්‍ණනාවෙහි මේ ප්‍ර‍වෘත්තිය පෙනේ:- මෙලක්දිව උත්තරගම විසූ පිඞ්ගල බුද්ධරක්ඛිත ස්ථවිරතුමා පිඬු පිණිස ඒ ඒ ගෙය ඉදිරියෙහි සිට පිණ්ඩපාතය ලැබෙන තෙක් යම් කිසි සමවතකට සමවැදුණි. උත්තරගම පිහිටි ගෙවල් සියයෙන් එකක්වත් ඒ සමවත් සමවැදීමෙන් අත් නොහැරිණි.

අට්ඨසාලින අටුවාවේ චිත්තුප්පාදකණ්ඩ කුසලකම්මපථකථාවෙහි පහත පෙනෙන කථාවස්තුව එයි:- උතුරුවඩමන් පව් වැසි උපාසකයෙක් පිඞ්ගලබුද්ධරක්ඛිත තෙරුන්ගෙන් ශික්‍ෂාපද (පන්සිල්) රැගෙන ගොස් තමාගේ කෙත සී සෑවේය. දාවල් ගොණුන් ලිහායැවූ විට ඔහුගේ ගොණෙක් කැලයට වැදුණි. ගොණා සොයමින් වනයෙහි ඇවිදින හෙතෙම පිඹුරකු විසින් වෙළාගන්නා ලදි. තමා අතේ තිබුණු කැත්තෙන් පිඹුරාගේ හිස කපාදැමිය යුතු යයි ඔහුට සිතුණු නමුත් “ගරුකටයුතු මහතෙර නමක් වෙත සිල්සමාදන් වී එය කඩ කිරීම මට සුදුසු නැතැ”යි සිතා නොකපා නැවතුණේය. නැවතත් කැපීමට සිත උපන් නමුත් නැවත එසේ සිතා නැවතුණි. තෙවෙනි වරත් කැපීමට සිත උපන් විට “මාගේ ජීවිතය නැතිවෙතත් ශික්‍ෂාපදය බිඳීම අයෝග්‍ය”යි සිතා අතේ තිබුණු කැත්ත ඉවත වීසිකෙළේය. එකෙණෙහි පිඹුරා වෙළුම ලිහා ඔහු නිදහස් කොට ඉවත ගියේ ය. මේ කථාවෙහි ඒ තෙරනම අම්බරියවිහාරවාසියෙකැයි කියවේ. රුහුණෙහි කුටුම්බරිය නම් විහාරයක් තිබුනේ යයි අංගුත්තරඒකකනිපාත අටුවාහි (262) පෙනේ. මින් පෙර දැක් වූ පිණ්ඩපාතිකතිස්ස තෙරුන්ගේ කථාවෙහි ඒ තෙරනම විසූයේත් අම්බරියවිහාරයෙහි යයි පෙනේ. එබැවින් “අම්බරිය - කුටුම්බරිය” යන විහාර දෙක ම රුහුණෙහි වූහයි සැලකිය යුතු. මේ නම් දෙකම එක් විහාරයක් සඳහා ද යන්නත් විමසිය යුතුය.

සංයුත් අටුවාහි ධාතුසංයුත්තවණ්ණනාවෙහි (ii 113) ද මේ කථාව පෙනේ. එහි උපාසකයාගේ ගම “අන්තරවඩ්ඪමාන පබ්බත”යයි දැක්වේ.