22. ආලින්‍දකවාසී මහාඵුස්සදේව මහතෙර

මැඳුම්සඟි අටුවාවේ චුල්ලවෙදල්ල වණ්ණනාවෙහි හා සතිපට්ඨානවණ්ණනාවෙහි ද දික්සඟිඅටුවාවේ සාමඤ්ඤඵලසුත්තවණ්ණාවෙහි (131) ද මේ කථාව පෙනේ. මහාඵුස්සදෙව තෙරනම එකුන් විසි වර්‍ෂයක් ගතපච්චාගත වත පිරුවේය. (ගතපච්චාගත වත නම් කමටහන් යුත් සිතින් ගමන්කරන විට යම් අවස්ථාවක දී එය සිතින් බැහැරව ගියේ නම් එය දැනගත් විගස ආපසු හැරී ගොස් කමටහන ගිලිහුණු තැන සිට නැවත භාවනාව පටන්ගෙන ඉදිරියට යාමයි.) එසේ ආපසු හැරී යන තෙරුන් දැක වැපිරීම් සී සෑම් ආදිය කරන මිනිසුන් “මේ තෙරනම යමක් සිහිනැතිව වැටුණ නිසා යන්නේ ද? මග වැරදී හැරීයන්නේ ද?” යනාදිය කථාකළ නමුත් ඒ කථාගණණ් නො ගෙන එතුමා තමාගේ ප්‍ර‍තිපත්තිය පිරුවේය. මෙසේ කමටහන් වැඩූ ඒ තෙරනම විසිවෙනි වර්‍ෂයේ දී රහත්ඵලයට පැමිණියේ ය. එතුමන් රහත්වන දා, එතුමාගේ සක්මන කෙළවරේ ගසක අධිගෘහිත දේවතාවක් තමාගේ ඇඟිලි වලින් පහනක් දල්වාගෙන සිටියේ ය. සිව්වරම් රජවරු ද ශක්‍රදේවෙන්‍ද්‍ර‍යා ද සහම්පතී බ්‍ර‍හ්මයා ද උපස්ථාන පිණිස ආහ.