28. චූලසීව මහාස්ථවිර.

(බු.ව. 440 - 446 පමණ.)

“වළගම්බා” නමින් වට්ටගාමිණී අභය මහරජුගේ කාලයේ දී ලක්දිව අතිදරුණු දුර්භික්‍ෂයක් හා රාජ්‍ය විප්ලවයක් ඇති විය. බොහෝ භික්‍ෂූහු ලක්දිව අත්හැර දඹදිව ගොස් දිවි රැක ගත්හ. ස්වල්ප දෙනෙක් ඉතා දුකසේ මෙහිම ජීවත්වෙමින් ධර්‍මය රැකගත්හ. මේ දුර්භික්‍ෂය හා විප්ලවය චණ්ඩාලතිස්සභය, චණ්ඩාලතීය භය, බ්‍රාහ්මණතිස්ස භය, මහාභය, බැමිණිතියාසාය යන නම්වලින් අඳුන්වනු ලැබේ. දොළොස් අවුරුද්දක් වැසි අඩුවීමෙන් දුර්භික්‍ෂය ඇති වූවා සේම තීය හෝ තිස්ස බ්‍රාහ්මණයා වළගම්බා රජුට විරුද්ධව කැරලි ගැසීමක් ද මෙකල ඇති විය.

මේ කරුණු දෙකෙන් පීඩිත වූ සංඝතෙමේ සෑම පෙදෙසන් දඹකොළ පටුනට අවුත් පරතෙර යාම පිණිස

තට්ටු තුනකින් යුත් පහුරක් බැන්දවිය. මෙතැනට රැස්වූ සංඝයා අතුරෙන් (1) සංයුත්ත භාණක චූලසීව ස්ථවිර, (2) ඉසිදත්තස්ථවිර, (3) මහාසෝණ ස්ථවිර යන තුන්නම ගණප්‍ර‍ධානයෝ වූහ. භික්‍ෂූන් පහුරට නැගුණු විට ඉතිරි දෙනම මහාසෝණ තෙරුන් අමතා “පහුරට නැගෙනු මැනවැ”යි කීහ. ඒ දෙනම කුමක් කරන්ටදැ යි මහාසෝණ තෙරුන් විචාළ විට “ඇවැත්නි, දියේ මළත් ගොඩ මළත් එකසේමය. අපි නොයන්නෙමු. තා නිසා අනාගතයෙහි සස්න රැකෙන්නේ ය: එබැවින් පහුරට නැගෙව”යි කීහ. “ඔබ නොයන කල්හි මමත් නොයමි”යි කියා මහාසෝණ තෙරද නැවතුණේ ය.

ඉක්බිති චූලසීව තෙර මහාසෝණතෙරුන් අත්හැර නොයනසේ ඉසිදත්තතෙරුන්ට අවවාද කොට අනුරාධපුරය දෙසට ගියේය. එකල්හි මහාවිහාරයෙහි එක් භික්‍ෂු නමකුත් නොවීය. මහසෑ මලුවෙහි එරඬු ගස් වැවී තිබුණාහ. සෑය පැලෑටිවලින් ගැවසී පෙඳ බැඳී තිබුණි. තෙරණුවෝ මහත් සංවේගයෙන් මහ සෑය වැඳ බටහිර දෙසැ ශාලාවට ඇතුල්ව සිටියහ. එකෙණෙහි දේවතාවෙක් මගියකුගේ වෙසින් සහල් නැළියක් හා සකුරු පිඬක් ගෙන එහි පැමිණ “කොහාට වඩිනසේක්දැ”යි තෙරුන්ගෙන් විචාරා “දකුණු දෙසට යමි”යි කීවිට “මමත් එදෙසට යමි”යි කියා තෙරුන් සමග යන්නේ තිසාවැව ඉවුරට පැමිණ සකුරු වලින් පානයක් සාදා තෙරුන්ට දී ගමන්කොට වේණුනදිය සමීපයෙහි හැරගිය විහාරයට පැමිණවිය. පසු දා උදය කැඳ පිස දී දාවල දානයත් දී දැදුරුඔය සමීපයට කැඳවාගෙන ගොස් කොළ කමින් ජීවත්වන මිනිසුන් වසන තැනක් පෙන්වා තෙරුන් වැඳ අවසර ගෙන ගියේය. තෙරණුවෝ භය සංසිඳෙනතුරු එහි විසූහ. (මේ කථාව ඤාණවිභංග අටුවාහි එයි.)

චූලසීව නම් තෙරනමක් විවේකීව වසනු කැමතිව මාතොටින් නැව්නැගී දඹදිව් යන්නේ සමුද්‍ර‍ ජලය බලමින් සිට ආපොකසිණය උපදවා ගත්තේය යි විශුද්ධිමාර්‍ගයේ සෙසකසිණ නිද්දෙසයෙහි පෙනේ. (170)

විශුද්ධිමාර්‍ගයෙහිම බ්‍ර‍හ්මවිහාරනිද්දෙසයෙහි සංයුත්තභාණක චූලසීව තෙරුන්ට විෂ නොවැදුනාසේ මෛත්‍රිය වඩන්නහුට විෂ නොවැදේය යි දක්වා තිබේ. කථාප්‍ර‍වෘත්තිය එහි නැත. මේ නොබෝ දා ලැබුණු විසුද්ධිමග්ගගණ්ඨියෙහි ඒ කථාව මෙසේ දක්වා තිබේ:- සිංහල ද්වීපයෙහි සොහොයුරෝ දෙදෙනෙක් එකතුව ධනය රැස්කළහ. දෙටු සොහොයුරා කිසියම් රෝගයකින් මළේය. බාලයා ඒ සංවේගය නිසා ගිහිගෙය හැරදමා ගොස් පැවිදිව මෛත්‍රීවිහරණ ඇත්තෙක්ව විසී, සොහොයුරාගේ භාර්‍ය්‍යාව අන්පුරුෂයකු පතන්නී බූදලයේ අයිතිකාරයා වූ තෙරනම ජීවත්ව සිටින බැවින් අන්කසාදයක යාමට ලැජ්ජාවිය. ඕ තොමෝ තෙරුන් නසන්ට උපායක් සිතා විෂ යෙදූ පිණ්ඩපාතයක් එතුමන්ට දුණි. තෙරනම මෛත්‍රීකමටහනෙන් තොර නොවී. ඒ ආහාරය වැළඳූ බැවින් එතුමාට විෂයෙන් අනතුරක් නොවීය. පසුකලක එතුමා රහත්ඵලය ලැබීය.