33. කන්ථකසාල පිරිවෙන් වැසි මහතෙර.

(සද්ධාතිස්ස රජු කල බු.ව. 407 - 425)

සැදැහැතිස් රජුට වටුමස් කෑමට ආශාවක් උපණි. එය අනුන්ට කීවහොත් දහස් ගණන් වටුවන් මරති යි සිතා අවුරුදු තුනක් ගතවනතුරු කිසිවකුට නොකියා ආශාව මැඩගෙන සිටියේය. මේ නිසා රජුගේ කන්වලින් සැරව වැගිරෙන්නට විය. මින්පසු රජ තමාගේ දිවි යතත් සතුන් නොමරන අයකු සොයවා තමාගේ ආශාව ඔහුට දන්වා “ත්‍රිකෝටිපරිශුද්ධ වටුමසක් සොයා ගෙනව”යි කීය. ඒ ඇමති පුත්‍ර‍යා උදෑසනම නුවර දොර සමීපයට ගොස් විකිණීමට වටුවන් ගෙනෙන මිනිසකු දැක වටුවන් මිලදී ගෙන රජගෙට ගෙන ගොස් කුළු බඩු යොදා අඟුරුමත තබා පලහා වටුමස් රජුට පිළිගැන්වීය. රජු මස් ටිකක් කඩා මුවෙහි තැබූ කෙණෙහි රසය සියලු රසහරණින් පැතිර ගියේ ය. එවිට “මා වැනි රජෙක් වටුමස් කනුකැමතිව අවුරුදු තුනක් ගතවෙනතුරුත් නො ලැබී නම් සංඝයාට කොහෙන් ලැබේදැ”යි සලකා සංඝයා සිහිකොට කටට ගත් මස් ටිකත් අනුභව නොකොට ඉවත දැම්මේය. එවට ළඟසිටි අමාත්‍ය පුත්‍ර‍යා දණින් වැටී ඒ ඉවත දැමූ මස්කෑල්ල තමාගේ කටට ගත්තේ ය. රජතෙම “තාගේ නිර්දෝෂත්‍වය දනිමි”යි කියා ඔහු සනසා ඒ මස් පසු දා වනතෙක් සුරැකිව තබන්ට නියම කෙළේය.

පසුදා කන්‍ථකසාල පිරිවෙණේ මහාස්ථවිර නම් පිඬු පිණිස රජගෙට ඇතුල්විය. මහලුවී පැවිදි වූ තවත් නමක් තෙරුන් සමග එහි ඇතුල් විය. ඒ ආගන්තුක නම රජු විසින් ගෙන්වන ලදැ යි තෙරනම සිතීය. හෙතෙම තෙරුන්ගේ අතවැසියෙකැ යි රජ සිතීය. දෙනම ම වඩාහිඳුවා කැඳ පිළිගැන්වූ පසු වටුමස් ගෙනාවේය. තෙරනම එක් වටුවකුත් අනික්නම තවත් එකකුත් පිළිගත්තේය. ඉතිරි වටුවා නොවිචාරා අනුභව කිරීම සුදුසු නැතැයි සිතූ රජු මහතෙරුන්ට දෙන්ට ගියවිට එතුමා අතින් පාත්‍ර‍ය වැසීය. අනික්නම ඌද පිළිගත්තේය. මේ නිසා තුන් අවුරුද්දකින් කන්ට සැරසුණු වටුමස රජුට එදා අනුභව නොකළහැකි විය. නො සතුටු සිතැති රජ වළඳා අවසන්හි තෙරුන්ගේ පාත්‍ර‍ය ගෙන පසු ගමන්කරන්නේ “ස්වාමීනි, කුලගෙයකට එන්නන් විසින් වත් උගත් භික්‍ෂුනමක් සමග ඒම වටී”යයි කීය. ආගන්තුක නම රජු විසින් ගෙන්වන ලද්දෙක් නොවේ යයි තෙරනම දැනගත්තේ එවිටය. පසුදා තෙරණුවෝ අතවැසි සාමණේර නමක් සමඟ රජ ගෙට පිවිසියහ. එදා කැඳ දී අවසන්හි වටුමස් ගෙනාවිට තෙරණුවෝ එකකු පිළිගත්හ. සාමණෙරනම ඇඟිල්ල සොලවා වටුවකුගෙන් භාගයක් පිළිගත්තේය. ඉතිරිභාගය නැවත බෙදන්ට ගිය විට දෙනම ම අත්වැසූහ. ඉක්බිති රජ නුදුරුතැන හිඳගෙන වටුමස් අනුභව කොට “වත් උගත් පැවිද්දන් නිසා වටුවන් එකහමාරකගේ මස් කන්ට ලදිමි”යි කීය. මස් අනුභවකළ කෙනෙහි රජුගේ රෝගය සංසිඳුණි.

ඉක්බිති රජ සාමණේරනම වෙත ගොස් “ස්වාමීනි, දිනපතා බත් අටක් බැගින් ඔබට දෙන්නෙමි”යි කීය. “ඒවා මාගේ උපාධ්‍යායයන් වහන්සේට දුනමැනවැ”යි කීවිට “තවත් අටක් දෙමි”යි රජ කීය. ඒවා ස්වකීයාචාර්‍ය්‍ය තෙරුන්ට දෙවීමට සාමණෙර තැන කැමති විය. “තවත් අටක් දෙමි”යි කීවිට ඒවා උපාධ්‍යායයන් හා සමාන තෙරවරුන්ට දෙවීය. ඉන් පසු දුන් අට තෙමේ පිළිගත්තේය. මේ කථාව සළායතන සංයුත්තට්ඨකථාවේ එයි. අංගුත්තරඑකනිපාත අටුවාහි (262) සංක්‍ෂිප්තව පෙනේ.

මින්පසු වසභරජුගේ කාලයේ දී (බු. ව. 608 - 652) මේ පිරිවෙණේ අධිපති වූ සැටවස් පිරි මහතෙරනමක් විය. අවසන් කාලයේදී ඇතිවූ බලවත් ව්‍යාධියකින් හටගත් වේදනාව නිසා ඒ තෙරුන් කෙඳිරිගාමින් මරණමඤ්චකයෙහි හොවිනවිට වසභරජ තෙරුන් බලන්ට ආයේ කෙඳිරිගෑම ඇසී එය කුමක් දැ යි විචාරා තෙරුන්ගේ කෙඳිරිගෑමය යි දැනගත් විට “පැවිද්දෙන් සැට වසක් ගතවීත් වේදනාපරිග්‍ර‍හය පුරුදු නොකරනලදැ”යි කලකිරී තෙරුන් නො වැඳම මහබෝ වැඳීමට ගියේ ය. ඉක්බිති උපස්ථායක භික්‍ෂුනම “ස්වාමීනි, කුමක් හෙයින් අපට ලැජ්ජා උපදවනසේක් ද? ඔබගේ කෙඳිරිගෑම අසා ශ්‍ර‍ද්ධාවත් රජ නො වැඳම හැරී ගියේ ය”යි කීය. “එසේ නම් මට අවකාශ දුනමැනයැ”යි කියා තෙරණුවෝ වේදනා යටපත් කොට රහත්බවට පැමිණ අතැවැසි භික්‍ෂුව අමතා “දැන් රජු ලවා වැන්දවුව මැනවැ”යි කීහ. භික්‍ෂුනම ගොස් රජුට එකරුණ දැන්නූවිට රජ එහි අවුත් සම්පූර්‍ණයෙන් බිම දිග ඇදී තෙරුන් වඳිමින් “මම ඔබගේ රහත් බවට නොවඳිමි; පෘථග්ජන භූමියෙහි සිට රැකි ශීලයට වඳිමි”යි කීය.

කන්‍ථකසාල පිරිවෙණ අනුරාධපුරයේ මහාබෝධියට නුදුරු තැනක පිහිටි බව මේ කථාවලින් ඔප්පු වේ.