සෝණ පර්වතපාදයෙහි වූ පඤ්චල විහාරයෙහ[1] සෝණ නමැති ධර්ම කථික තෙරනමක් විය. එතුමාගේ පියා බලු වැද්දෙකි. තෙරනම ඔහුට අවවාද කරන්නේ ඔහු එයින් වළක්වන්ට නොහැකි විය. මහලු වූ කල නො කැමති වූ ම හෙතෙම තෙරුන් විසින් පැවිදි කරන ලදි. මරණ මඤ්චකයෙහි හොත් ඒ මහලු නමට ගතිනිමිත්ත වශයෙන් විශාල බල්ලන් අවුත් සපා කෑමට සිටින්නා සේ පෙනුණි. භයපත් වූ හෙතෙමේ “පුත්‍ර සෝණය, මොවුන් වළක්වව”යි කෑගැසීය. කුමක්දැයි ඇසූවිට “මේ බල්ලන් නො දක්නෙහි දැ”යි කීය. තෙරනම “මා වැන්නකුගේ පියා නරකයෙහි ඉපදීම නොගැළපේය”යි සිතා සාමණේරයන් ලවා නොයෙක් මල් ගෙන්වා සෑමලු බෝමලුවලත් මලසුන්වලත් අතුරා පූජා කරවා “මේ ඔබ සඳහා කළ පූජාවකි; බුදුන් වැඳ සිත පහදාගත මැනවැ”යි කීය. මහලුනම එය බලා සිත පහදා ගත්තේය. එකෙණෙහි ගතිනිමිත්ත වශයෙන් දෙව්ලොව නන්දනවනාදීහු ද දෙව්විමන් ද පෙනුණාහ. දිව්‍ය ස්ත්‍රීන් තමා පිරිවරා සිටින්නාසේ දුටු හෙතෙම “සෝණය, ඉවත් වෙව”යි කීය. “කුමක් සඳහා දැ”යි තෙරුන් ඇසූවිට “මේ ඔබගේ මව්වරු එති”යි මහලුනම කීය. ඕහට ස්වර්ගය එළඹ සිටිබව තෙරනම එයින් වටහා ගත්තේ ය. (මේ කථාව අංගුත්තර ඒකනිපාත අටුවාහි (256) ද මැඳුම්සඟි අටුවාහි බහුධාතුකසුත්තවණ්ණනා (887) වෙහිද පෙනේ.) විභාගඅටුවාහි ඤාණවිභංගවණ්ණනාවෙහිත් මේ කථාව එයි. එහි විහාරයේ නම පිප්ඵලි විහාරය යි පෙනේ. එහි ඇතැම් පිටපතක ඒ නම සබ්බගිරි විහාරය යි ද දැක්වේ.
-
පචෙලි විහාරයයි මැදුම්සඟි අටුවාහි පෙනේ. ↑