83. කුටුම්බියපුත්තතිස්ස මහතෙර

සැවැත්නුවර හතළිස්කෝටියක් ධනය ඇති කෙළෙඹිපුත්‍ර‍යෙක් ඒ සියල්ල හැර පැවිදිව වනයක විසී. ඒ තෙරනමගේ බාල සොහොයුරා ගේ භාර්‍ය්‍යාව තෙරනම මැරීම සඳහා පන්සියයක් සොරුන් යැවීය. ඔවුන් එහි ගොස් තෙරුන් වටකරගත් විට තෙරනම “කුමක් සඳහා අවුදැ”යි විචාළේ ය. “ඔබගේ ජීවිතය නසන්ටය”යි කී විට “පින්වත්නි, ඇපයක් ගෙන අද එක් රැයක් ජීවත් වීමට මට අවකාශ දුන මැනවැ”යි කීය. “මෙතැන්හි ඔබට ඇප දෙන්නේ කවරෙක්දැ”යි ඇසූ විට තෙරනම ලොකු ගලක් ගෙන තමාගේ කලවා ඇට දෙක බිඳ “උපාසකවරුනි, මේ ඇපය සෑහේ දැ”යි ඇසීය. සොරු සක්මන් කෙළවර ගිනි ගොඩක් ගසාගෙන උන්හ. වේදනාව යටපත් කොට ගෙන තමාගේ ශීලය විමසා බලන ඕහට පිරිසිදු ශීලය නිසා ප්‍රීතියක් හටගති. ඉක්බිති විදසුන් වඩා අරුණ නැගෙන්ට කල්හි රහත්ඵලයට පැමිණියේ මේ ප්‍රීති වාක්‍යය ප්‍ර‍කාශ කෙළේය.

“උභො පාදානි භින්‍දිත්‍වා සඤ්ඤමිස්සාමි වො අහං;

අට්ටියාමි හරායාමි සරාග මරණං අහං

-

එවාහං චින්තයිත්‍වාන යථාභූතං විපස්සිසං

සම්පත්තෙ අරුණුග්ගම්හි අරහත්තමපාපුණිං”

(පා දෙක බිඳ මම තොපට යටත් වෙමි. මම රාග සහිත මරණය පිළිකුල් කරමි. මෙසේ සිතූ මම යථාතත්‍වය විදර්ශනා කොට අරුණ නැගෙන කල්හි රහත් බවට පැමිණියෙමි.)

(මේ කථාව මැඳුම් සඟි අටුවාවේ මූලපණ්ණාසයේ (210 වෙනි පිට) සතිපට්ඨානවණ්ණාවෙහි ද දික්සඟි අටුවාවේ මහාසතිපට්ඨාන වණ්ණනාවෙහි (537) ද දක්වන ලදි.) විශුද්ධිමග්ගගණ්ඨි නමැති පාළිපොතෙහි වනාහි මේ තෙරනම ලක්දිව විසූවෙකැ යි කියා තිබේ. එහි දැක්වෙන කථාව මෙසේයි :- සිංහලද්වීපයෙහි සොහොයුරෝ දෙදෙනෙක් එකම පවුලක් තබාගෙන විසූහ. එයින් එක් සොහොයුරකු කලුරිය කළ විට අනිකා කලකිරී පවුල හැරදමා ගොස් පැවිදි වී වනයෙහි විසී ය. ඔහුගේ භාර්‍ය්‍යාව නැවත පුරුෂයකු පාවාගන්ට කැමැත්තී “මේ භික්‍ෂුව ජීවත්ව සිටියදී මට පුරුෂයකු පාවාගත නොහැක. එබැවින් මොහු මරවා මාගේ අදහස ඉටු කරගන්නෙමැ යි සිතා අල්ලස් දී වධකයන් පිටත්කර යැවීය. ඔවුන් එහි ගිය විට තෙරනම කුමක් සඳහා කොහි සිට අවුදැයි විචාරා “ඔබ මරන්ට” ආවෙමු යි කීවිට තමාට එක් රැයක් ජීවිතදානය සඳහා ඇපයක් වශයෙන් තමාගේ පා දෙක බිඳිව් යයි කීය. සොරු පා දෙක බිඳ ඉවතට ගියහ. තෙරනම විදසුන් වඩා රහත් වූ පසු සොරු එතුමන් මරා ගියහ.

(මේ විසුද්ධිමග්ගගණ්ඨිය වනාහි බුරුම රටේ ලියන ලද්දකැයි සැලකිය හැක. බුරුම ග්‍ර‍න්ථ වංශවල එය ඡප්පට තෙරුන්ගේ කෘතියකැයි කියන ලදී. නමුත් එහි භාෂාව ඡප්පට තෙරුන්ගේ භාෂාවට වඩා පහත් ය. නොයෙක් තැන ව්‍යාකරණ දෝෂ ද දක්නා ලැබේ. මේ පොත ගැන ලක්වැසි අපට දැනුමක් නැතිව තිබෙන අතර 1950 දී ලෝක බෞද්ධ සම්මේලනය සඳහා මෙහි පැමිණි පූනානුවර පාළිමහාචාර්‍ය්‍ය පී.වී. බාපාත් (එම්.ඒ.පී.එච්.ඩී.) මහතා මෙහි දී එයින් පිටපතක් ලබාගත්තේ ය. ඒ පිටපත වනාහි බුරුම රටේ දී ඒ අකුරෙන් ලියා ලක්දිවට ගෙනෙන ලද්දකි. මාගේ උපකාරය ඇතිව බූස්සේ සුදර්ශනාරාමයෙහි තිබී එය සොයා ගන්නා ලදි. ඉන්පසු පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙනේ ද අම්බලම්ගොඩ අසල උස්මුදුලාවේ නිග්‍රොධාරාමයේ ද සිංහලයෙන් ලියූ පිටපත් දෙකක් ඇති බව දැනගන්ට ලැබී ඒවා ද ලබා ගෙන පොත් තුන සසඳා බලා ශුද්ධ කෙළෙමි.)