89. ඛණ්ඩචෙලවිහාරයේ පධානියමහතෙර

මැදුම්සඟි අටුවාහි සබ්බාසවසූත්‍ර‍වර්‍ණනාවෙහි මේ කථාව පෙනේ. ඛණ්ඩවෙල විහාරයේ කණිකාරපධානඝරයෙහි අරිය වංස සූත්‍රදේශනාව අසමින් සිටි මේ තෙරුන් සර්පයෙක් දෂ්ට කෙළේය. තෙරනම එය නො සලකා පැහැදුණු සිතින් බණ ඇසී. විෂවේගය දරුණු වූ විට තෙරනම උපසම්පදාව ලැබූ තැන් පටන් ශීලය බලා පිරිසිදු සිල් ඇති බව දැක මහත් ප්‍රීතියක් උපදවා ගත්තේ ය. එකෙණෙහි විෂය සිරුරෙන් පිටතට නික්ම ගියේ ය. තෙරනම සිතේ එකඟ බව ලබා විදසුන් වඩා එතැන දී ම රහත් විය. (පධානිය යන්න සංඥානාමයක් නොවේ. සමථභාවනාවෙහි යෙදුණ පුද්ගලයෙක් එයින් කියවේ.)