දෘෂ්ට ධර්ම වේද්‍ය කර්මය,උපපද්‍ය වේද්‍ය කර්මය,අපරාපර්‍ය්‍ය වේද්‍ය කර්මය,අහෝසි කර්මය යි විපාක දෙන කාලයාගේ වශයෙන් කර්මය චතුර්විධ වේ.
දෘෂ්ට ධර්ම වේද්‍ය කර්මය
කළ ජාතියේ දී ම විපාක දෙන්නා වූ කර්ම දෘෂ්ට ධර්ම වේද්‍ය කර්ම නම් වේ. සතර සම්පත්තියෙන් යුක්ත වූ දානමය කුශලය ඒ ජාතියේ දී ම විපාක දෙන්නේ ය. ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට කරන්නා වූ අපරාධයෝ ද සමහර විට ඒ ජාතියේ දී ම විපාක දෙන්නේ ය. දෘෂ්ට ධර්ම වේද්‍ය කර්මය ඉතා බලවත් වූ කල්හි සත් දිනක් ඇතුළත විපාක දෙන්නේ ය. එපමණට බලවත් නො වන කල්හි ඒ ජාතියේ දී කවර අවස්ථාවක දී හෝ විපාක දෙන්නේ ය. බොහෝ කර්මයෝ කල ජාතියේ දී ම විපාක දෙන්නාහු නො වෙති.
උපපද්‍ය වේද්‍ය කර්මය
දෙවන ජාතියේ විපාක දෙන්නා වූ කර්මය උපපද්‍ය වේද්‍ය කර්ම නම් වේ. (ගරු කර්ම වශයෙන් කලින් විස්තර කර ඇත.)
අපරාපර්‍ය්‍ය වේද්‍ය කර්මය
කර්මය කළ ජාතියෙන් තුන්වන ජාතියේ පටන් අවකාශයක් පැමිණි කල කවදා හෝ විපාක දෙන කර්මය අපරාපර්‍ය්‍ය වේද්‍ය කර්මය නම් වේ.
අහෝසි කර්මය
අතීතයේ විපාකයන් නුදුන්නා වූ ද, මතු විපාකයන් නො දෙන්නා වූ ද කුශලාකුශල කර්මයෝ අහෝසි කර්ම නම් වෙති.
කුශල වූ අකුශල වූ හෝ ක්‍රියාවක් සිදු කිරීම් වශයෙන් සත්ත්ව සන්තානයෙහි ඇතිවන්නා වූ එක් එක් චිත්ත වීථියක ජවන නම් වූ බලවත් සිත් සත බැගින් ඇති වේ. ඒවායින් පළමුවන ජවන චිත්තය දෘෂ්ට ධර්මවේද්‍ය කර්ම වේ. සත්වන ජවනය උපපද්‍ය වේද්‍ය කර්මය නම් වේ. මධ්‍යයේ ජවන පස අපරාපර්‍ය්‍ය වේද්‍ය කර්ම නම් වේ. එක් ජාතියක දී එක් පුද්ගලයකුගේ සන්තානයෙහි එබඳු කුශලාකුශල චිත්ත වීථි ගණනක් ඇති වේ. ඒවායේ ඇති ඒ ජාතියේ දී විපාක නුදුන් ප්‍රථම ජවන චේතනා සියල්ල ම මරණින් පසු අහෝසි කර්ම භාවයට පැමිණේ. එක් ජාතියක දී ඇති වන්නා වූ ඒ වීථිවල ඇති වූ සප්තම ජවන චේතනාවින් දෙවන ජාතියේ දී විපාක දීමට අවකාශය නො ලබන සියල්ල ම ද අහෝසි කර්ම වේ. ඉතිරි චේතනාවෝ නිවනට පැමිණෙන තුරු අහෝසි කර්ම නො වෙති. කල්ප ලක්ෂ ගණනක් ගත වූවාට පසු ව වුව ද අවකාශයක් පැමිණිය හොත් ඒවා විපාක දෙන්නේ ය.