මිනිස් ලොව ය, චාතුර් මහා රාජිකය, තාවතිංසය, යාමය, තුෂිතය, නිර්මාන රතිය, පරනිර්මිත වශවර්තිය යන මේ ස්ථාන සත දානාදි පින් කම් කළවුන් උපදනා සප්ත කාම ස්වර්ගය ය. එහි සයක් දිව්‍ය ලෝකයෝ ය. දිව්‍යලෝක වනාහි මිනිස් ඇසින් දැකිය නොහෙන, මිනිස් කයින් ස්පර්ශ කළ නොහෙන, ධාතු වර්ගයකින් නිර්මිත, ශෝභන විමානයන් හා මරණ බිය පවා අමතක වන තරමේ ප්‍රියංකර භාවයක් ඇති උයන් පොකුණු ආදියෙන් යුක්ත වූ පරම රමණීය ස්ථානයෝ ය. ඒවායින් ප්‍රයෝජන ලැබිය හැක්කේ දෙවියන්ට ම ය. දිව්‍යලෝකවල උපදනා දෙවියෝ වනාහි මිනිසුන් මෙන් කලක් මව් කුසයේ වැස හඬ හඬා දුකින් ඉපිද ක්‍රමයෙන් වැඩෙන්නා වූ සත්ත්ව කොටසක් නොව සර්වාංග ප්‍රත්‍යඞ්ගයන්ගෙන් සම්පූර්ණ ව පහළවීම් වශයෙන් උපදනා සත්ත්ව කොට්ඨසයකි. ඔවුන්ගේ ජරාවක් ද නැත්තේ ය. ඔවුන්ගේ ආයුෂ ද ඉතා දිගය. ඔවුන්ගේ වස්ත්‍රාභරණ පරණ වන්නේ ද කිලිටි වන්නේ ද නො වේ. ඔවුනට ආහාරපාන සැපයීමට වෙහෙසීමක් ද නැත. දිව්‍ය ස්ත්‍රීහු දරුවන් නො වදති. දරුවන් වැදීමේ, දරුවන් පෝෂණය කිරීමේ කරදරය ඔවුනට නැැැත. ඔවුහු සෑම කල්හි ම නැටුම් ගැයුම් ආදියෙන් සිත් පිනවමින් වෙසෙති. අපාය සතරය, මිනිස් ලොවය, දිව්‍ය ලෝක සයය යන මේ එකොළොස් භූමියට කාම භූමිය යි කියනු ලැබේ.