මනුෂ්‍යයා පළමුවෙන් මෙලොව උපදිනුයේ දින ගණනක්වත් ස්වශක්තියෙන් ජීවත් විය හැකි ශක්තියක් ඇතිව නො වේ. මාපියන්ගේ උපකාරය නො ලද හොත් හේ වහා මෙලොවින් තුරන් වන්නේ ය. දරුවකු ස්වශක්තියෙන් ජීවත් විය හැකි තත්ත්වයට පැමිණවීමට මාපියනට බොහෝ කලක් වෙහෙසෙන්නට දුක් ගන්නට සිදු වේ. මාපියෝ දරුවන් කෙරෙහි අප්‍රමාණ කරුණාව ඇත්තෝ ය. තම තමාගේ ශරීරයේ කොටසක් වූ කිරි, දරුවාට පොවන්නී ය. තමාගේ ශරීරයේ උණුසුමින් දරුවාගේ ශරීරය උණුසුම් කරවන්නී ය. පිළිකුල් නො කොට සෙම්, සොටු, මල, මුත්‍රා ආදිය පහකොට දරුවා පවිත්‍ර කරන්නී ය. මා පියෝ රෑ නිදි නො ලබා දරුවා රක්නාහ. තමන් සාගින්නෙන් පෙළෙමින් වුව ද දරුවාට ආහාර පාන අඩුවක් නැති වන ලෙස සපයා දීමෙන් ද දරුවාට රෝගාදි අන්තරායයක් ඇති වූ කල්හි තමන් සතු ධනය සියල්ල ම වුව ද වියදම් කිරීමෙන් ද තමන්ගේ ධනය අවසන් වූ කල්හි ණයට පවා ගෙන වියදම් කිරීමෙන් ද දරුවාට සංග්‍රහ කරන්නාහ. මඳක් වැඩුණු දරුවෝ නොයෙක් විට මාපියනට වරද කරති. ඔවුන් සතු ධනයට හානි කරති. අකීකරු වෙති. එහෙත් කාරුණික වූ මාපියෝ ඔවුන්ගේ වරද කොතෙක් මහත් වුව ද ඉවසා තමන්ගේ අමාරුකම් නො බලා දරුවන් සුවපත් කරනු පිණිස බොහෝ වෙහෙසී ධනය සපයා ආහාර පාන වස්ත්‍රාදියෙන් ඔවුනට සංග්‍රහ කරති. ශිල්ප ශාස්ත්‍ර උගන්වති. තමන් සියල්ල ම ඉතා පිරිමසා කරගෙන සපයන ධනය දරුවන්ගේ මතු ප්‍රයෝජනය සඳහා තබති. මෙසේ දීර්ඝ කාලයක් මාපියන් විසින් දරුවනට කරන ගුණය මෙතෙකැ යි පමණ කළ නොහේ. ඔවුන්ගේ ගුණ අනන්ත ය. මාපියන් ගුණ දක්වන්නා වූ තථාගතයන් වහන්සේ -
“බ්‍රහ්මාති භික්ඛවෙ, මාතාපිතුන්නමෙතං අධිවචනං පුබ්බදෙවාති භික්ඛවෙ, මාතාපිතුන්නමෙතං අධිවචනං, පුබ්බාචරියාති භික්ඛවෙ, මාතාපිතුන්නමෙතං අධිවචනං, ආහුණෙය්‍යාති භික්ඛවෙ, මාතාපිතුන්නමෙතං අධිවචනං, තං කිස්ස හේතු? බහූපකාරා භික්ඛවේ, මාතාපිතරෝ පුත්තානං. ආපාදකා පොසකා ඉමස්ස ලොකස්ස දස්සෙතාරො” යනු වදාළ සේක.
මහණෙනි, බ්‍රහ්මයා යනු මාපියනට නමෙකි. පූර්වදේවයෝ ය යනු මාපියනට නමෙකි. පූර්වාචර්‍ය්‍යයෝ ය යනු මාපියනට නමෙකි. ආයුණෙය්‍යයෝය යනු මාපියනට නමෙකි. කුමක් හෙයින් ද යත්? මාපියෝ දරුවන්ට බොහෝ උපකාර ඇතියෝ ය. දරුවන්ගේ දිවි රක්නෝ ය. කවා පොවා දරුවන් වැඩි දියුණු කරන්නෝ ය. දරුවනට මේ ලෝකය දක්වන්නෝ ය, යනු එහි තේරුම ය.
බ්‍රහ්මයෝ සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා යන සතර ධර්මය පවත්වති. මාපියෝ ද සිය දරුවන් කෙරෙහි ඒ සතර ධර්මය පවත්වති. එබැවින් ඔවුහු දරුවන්ගේ බ්‍රහ්මයෝ ය. දරුවා මවුකුස වසත් ම ඔවුනට අපගේ දරුවා කවදා දක්නමෝ දැයි මෙත්සිත උපදී. උපන් දරුවා හඬන කල්හි ඔවුනට දරුවා කෙරෙහි කරුණාව උපදී. දරුවා වැඩී සුරතල් බස් තෙපලමින් සෙල්ලම් කරන කල්හි ඔවුනට මුදිතාව උපදී. දරුවා ස්වශක්තියෙන් ජීවත්වන කල්හි ඔවුනට උපේක්ෂාව උපදී. මෙසේ මාපියෝ සිය දරුවන් කෙරෙහි මෛත්‍රී කරුණා මුදිතෝ පේක්ෂාවන් පවත්වන්නාහ.
උත්පත්තිදේවය, සංවෘතිදේවය, විශුද්ධිදේවය යි දෙවි තුන් කොටසෙකි. උත්පත්තියෙන් දෙවි වූ දෙව්ලෝ වැසියෝ උත්පත්ති දේව නම් වෙති. දේවය යි මහජනයා විසින් සම්මත කළ රාජාදීහු සංවෘතිදේව නම් වෙති. කෙලෙස් කිලුටෙන් පිරිසිදු වූ බුද්ධාදීහු විශුද්ධිදේව නම් වෙති. විසුද්ධිදේව වූ බුදු පසේබුදු මහරහතන් වහන්සේලා තමන්ට අපරාධ කරන්නවුන්ට ද නො කිපී ඔවුන්ට ද යහපතක් ම කරන සේක. මාපියෝ ද සිය දරුවන් තමන්ට කරන වරද ගණන් නො ගෙන ඔවුනට යහපත ම කරන්නාහ. ඒ කාරණයෙන් විශුද්ධි දේවයන් වැනි බැවින් මාපියෝ ද දේව නම් වෙති. මනුෂ්‍යයන් විසින්න උත්පත්තිදේවාදීන් හැඳින ගන්නේ පසුව ය. ඔවුන් පළමුවෙන් හැඳින ගන්නා වූ ද පිහිට ලබා ගන්නා වූ ද දෙවියෝ මාපියෝ ය. එබැවින් මාපියෝ දරුවන්ගේ පූර්වදේවයෝ ය.
මනුෂ්‍යයන් නොයෙක් ඇදුරන් කරා ගොස් ශිල්ප ශාස්ත්‍ර උගන්නේ පසුව ය. පළමු ඉගෙනීම ලබන්නේ මාපියන් ගෙනි. එබැවින් මාපියෝ දරුවන්ගේ පූර්වාචාර්යයෝ ය.
වැඩිවියට පැමිණි දරුවන් විසින් තමන් බාල කාලයේ දී බොහෝ දුක් ගෙන කරුණාවෙන් පෝෂණය කළා වූ මාපියන් කොතෙක් දුර සිටියත් සිටිනා තැනකට ආහාර පාන වස්ත්‍රාදිය ගෙන ගොස් පුදා සත්කාර කළ යුතු ය. ඔවුන් දරුවන්ගෙන් පූජා සත්කාර ලැබීමට සුදුස්සෝ ය. එබැවින් ඔවුහු ආහුණෙය්‍යයෝ යයි කියනු ලැබෙත්. අනන්ත ගුණ ඇත්තා වූ මාපියන් කෙරෙහි දරුවන් විසින් පිළිපැදිය යුතු සැටි.
“තස්මාහි තෙ නමස්සෙය්‍ය - සක්කරෙය්‍යාථ පණ්ඩිතො
අන්නෙන අථ පානෙන - වත්ථෙන සයනේන ච
උච්ඡාදනෙන නහාපනෙන - පාදානං ධොවනෙන ච”
යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් වදාළ සේක. “එසේ බ්‍රහ්මාදීන් වන බැවින් නුවණැති දරුවා ඒ මාපියනට නමස්කාර කරන්නේ ය. ආහාරයෙන් ද පානයෙන් ද වස්ත්‍රයෙන් ද ශයනයෙන් ද ඇඟ ඉලීමෙන් ද නෑවීමෙන් ද පා සේදීමෙන් ද සත්කාර කරන්නේ ය” යනු එහි තේරුම ය.
ධන සැපයීම කරන වැඩිවිය පැමිණි දරුවන්ට මිස බාල දරුවන්ට මා පියනට ආහාරපානාදියෙන් සංග්‍රහ නො කළ හැකි ය. මාපියන්ගේ කටයුතුවලට ආධාර කිරීම වැඳීම යන මේවා බාල දරුවන් විසින් ද කළ හැකි ය. මාපියනට වැඳීම බාල දරුවන්ට මාපියන් විසින් ම පුරුදු කළ යුතු ය. ශ්‍රේෂ්ඨ වන්දනාව වූ පසඟ පිහිටුවා වැඳීම නිතර කළ හැකියක් නො වේ. දෙඅත් එක් කොට හිස නමා කරන වන්දනාව සෑම තැන දී ම කළ හැකි වන්දනාවෙකි. ගෙයින් පිට වී පාසල් ආදියට යන කල මාපියනට එසේ වැඳ අවසර ගෙන යෑමටත් මාපියන් පිටත ගොස් සිය නිවසට පැමිණෙන අවස්ථාවල දී එසේ වැඳ පිළිගැනීමටත් දරුවන්ට පුරුදු කරවිය යුතුය. සුදුසු අවස්ථාවල දී පසඟ පිහිටුවා වැඳීමට ද පුරුදු කරවිය යුතුය.
දරු වූ හැම දෙන ම මාපියන්ගෙන් ලත් උපකාර ගැන ඔවුනට ණය කාරයෝ ය. ඒ ණයින් නිදහස් වීමට ගිහියන් විසින් තබා පැවිදි වූ දරුවන් විසින් ද මා පිය උපස්ථානය කළ යුතු ය. පැවිද්දන් ගිහි කටයුතු හැර ධන සැපයීම හැර අනුන්ගෙන් යැපෙන නිර්ධන පුද්ගල කොටසක් බැවින් මාපියනට ජීවත් වීමට අපහසුවක් නොමැති නම් උපස්ථාන නො කළාට ද වරදක් නැත. ආහාරපානාදිය නො ලබා මාපියෝ දුක් විඳිත් නම් පිඬු සිඟා දීමෙන් වුව ද ඔවුනට උපස්ථාන කළ යුතු ය. මා පියනට කොතෙක් සම්පත් ඇතත් පැවිදි දරුවාගෙන් ද සත්කාර බලාපොරොත්තු වෙත් නම්, එසේ බලාපොරොත්තු වන මාපියනට පැවිද්දා විසින් ද සත්කාර කළ යුතුය. නො කරත හොත් වරදෙකි. මාපියන්ගේ බලාපොරොත්තුව ඇතත් නැතත් ගිහි දරුවන් විසින් මාපිය උපස්ථානය කළ යුතු ම ය. නො කිරීම වරදෙකි.
මාපියන්ගෙන් කිසි ධනයක් නො ලබා තමන් විසින් ම ධනය සපයා පොහොසත් ව සිටින ඇතැම් දරුවෝ “තමනට මාපියන්ගෙන් ලැබුණු දෙයක් නැත”යි ඔවුන් ගැන නො සලකති. එය බලවත් වරදෙකි. කෙනකුට ස්වශක්තියෙන් ධනය සැපයිය හැකි වන්නේ ද බාල කාලයේ දී මාපියන් විසින් පෝෂණය කළ නිසා ය. එබැවින් ස්වශක්තියෙන් ලබන ධනය ද මාපියන්ගේ ආධාරයෙන් තොරව ලබන්නක් නො වන බව දැන ශක්ති පමණින් මාපිය උපස්ථානය කළ යුතු ය. මාපියන්ගේ ධනයෙන් මාපිය උපස්ථානය කිරීම පැසසිය යුත්තක් නො වේ. ධනය දිය හැකි නම් දරුවන් නැත ද උපස්ථායකයන් හිඟ නැත. කුලීකාරයකුගෙන් ද ඒ උපස්ථානය ලබා ගත හැකි ය. තමන් විසින් ම ධනය සපයා එයින් මාපිය උපස්ථානය කිරීම ම උසස් උපස්ථානය ය. පැසසිය යුතු උපස්ථානය ය. මා පිය උපස්ථානයට ඔවුන්ගෙන් ධනය බලාපොරොත්තු නොවිය යුතු ය. මාපියන්ගෙන් කිසි ධනයක් නො ලැබුවත් බාල කාලයේ දී ඔවුන් විසින් කළ උපකාරය ඉතා මහත් බැවින් කළ හැකි නම් තමන්ගේ මුළු කාලය ම වුව ද එය ගැන ගත කොට ඔවුනට උපස්ථාන කිරීමට වටනේ ය. සියවසක් මා පියන්ට උපස්ථාන කළත් මාපියන්ගේ ණය නො ගෙවන බව “මාතෘපිතෘ ගුණ” සූත්‍රයේ දක්වා තිබේ.